2019 ජුනි 29 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

හෂීම් - හලීම් යළි දිව්රැම් දීමේ සජිත්ගේ භූමිකාව

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මතභේද රාශියකට මැදිවුණු හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ඉකුත් සතියේ බදාදා (19) හදිසියේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට ගියේය. එය සිදුවූයේ තනතුරු අත්හැර සිටි සෙසු මුස්ලිම් ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු සමඟ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වීමෙන් පසුවය.

රිෂාඩ් එහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන්නේ කබීර් හෂීම් සහ මොහොමඩ් හලීම් යන හිටපු ඇමැතිවරුන් දෙදෙනා යළි අමාත්‍ය ධූර භාරගැනීම සඳහා ජනාධිපති හමුවීමට සූදානමින් සිටින බවට තමන්ට තොරතුරැ ලැබුණු බවය. හෂීම් මහා මාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් හලීම් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ ඇමැති ලෙසත් දිව්රැම් දීමට නියමිත බවද ඔහු කීය.

රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනය ගෙන හෂීම්ට කතා කළේය. සාමාන්‍ය අන්දමින් අගමැතිට පිළිතුරැ දුන් හෂීම් පැවසුවේ ජනාධිපතිවරයා තමාට එන්නැයි කියා ඇති නමුත් ඒ කුමකටදැයි නොදන්නා බවය. එවිට අගමැති කිව්වේ එය අමාත්‍ය ධූර භාරගැනීමක් නම් එය සියලු දෙනා එකතු වී තීන්දුවක් ගෙන එකට සිදුකළ යුතු බවය. සංවාදය එතැනින් නිමවූ අතර වික්‍රමසිංහ මහතා සහ බදියුදීන් මහතා වෙන්නේ කුමක්දැයි බලා සිටියහ.

පසුදින බ්‍රහස්පතින්දා (20) උදෑසන යූ.එන්.පී. කෘත්‍යාධිකාරී කමිටුව අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබිණි. එහිදී තමන් කළ කතාවේදී මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව ද අගමැතිවරයා සඳහන් කළේය. මේ සියලු දෙනා ඉදිරියේදී එකට යළි අමාත්‍ය ධූරවල දිව්රැම් දෙනු ඇතැයි ඔහු කීය.

තව ටික වේලාවක් ගත විය. එතැන සිටි අයෙක් තමන්ගේ මොබයිල් ෆෝන් එකට ලැබුණු පුවත් ඇලර්ට් එකක් වෙත සියලු දෙනාගේ අවධානය යොමු කරමින් ප්‍රකාශ කළේ හෂීම් සහ හලීම් දෙදෙනා දැනටමත් දිව්රැම් දී අවසාන බවය. අඩුම තරමින් නිල වශයෙන් අගමැතිවරයා ඒ ගැන දැනුවත්ව සිටියේ නැත.

දිව්රැම් දීමට සැබැවින්ම නියමිතව සිටියේ හෂීම් පමණි. ජනාධිපතිට සමීප උපදේශකවරයකු විසින් හලීම්ගේද නම ඇතුළත් කිරීමට අවසර ඉල්ලා තිබූ අතර කටයුතු ඒ අනුව සිදුවිය. දෙදෙනාගේම දිව්රැම් දීම සිදුවූයේ එලෙසිනි.

ඔවුන් යළි ඇමැතිවරැන් වීමට පාර කැපුවේ යූ.එන්.පී. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසය. එම සතිය මුලදීම නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ රටේ සංවර්ධනය සඳහා හෂීම් වැනි පළපුරැදු, උගත්, වෘත්තීයවේදීන් අවශ්‍ය බවය.

යූ.එන්.පිය තුළ උද්ගත වෙමින් පවතින බරපතළ දෙදරීමක ලකුණු පහළ වූ බවට එය ඉඟියක් විය හැක්කේ හෂීම් පක්ෂයේ සභාපති ද වීම හේතුවෙනි. එය තවදුරටත් පෙන්නුම් කෙරැණේ ඊට පසු දින සිකුරාදා අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරළ ද සජිත් ප්‍රේමදාස පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට කළ ප්‍රකාශයෙනි.

කෙසේ වුවද හෂීම් කෑගල්ලේ දී පැවැති රුස්වීමකදී තමන් කළ වැරුද්දක් වසාගැනීමට මෙන් ප්‍රකාශ කර තිබුණේ තමාට බලය ලබාදීම සඳහා සිංහල ජනතාව විශාල වශයෙන් සහාය ලබාදුන්න ද අමාත්‍ය පදවිය අත්හැරීමේදී ඔවුන්ගෙන් විමසීමට නොහැකි වීම ගැන කනගාටු වන බවය. ඔහුගේ සෙසු සගයන් ඒ ගැන කෝපවීම ගැන පුදුම විය යුතු නැත.

- සන්ඩේ ටයිම්ස්

ගෝඨාට එරෙහිව අමෙරිකාවේ අලුතින් නඩු

තමන්ට වධ හිංසා පමුණුවන ලදැයි චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පිරිමි සහ කාන්තාවන් දස දෙනකු විසින් අමෙරිකානු අධිකරණයක නඩු පවරා තිබේ. ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන ගෝඨාභයට එරෙහිව ඔවුන් දේශපාලන විරුද්ධවාදීන්ට බරපතළ හිරිහැර කර ඇති බවට චෝදනා නගා ඇතැයි මේ පිළිබඳ ඒ.පී. වාර්තාව සඳහන් කරයි.

අප්‍රේල් මාසයේ දී කැලිෆෝනියාවේ නඩු පැවරීමකදීද මෙවැනි බහුවිධ චෝදනා ඔහුට එරෙහිව එල්ල කරනු ලැබීය.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ඒජන්සිය සමඟ සාකච්ඡාවකට සහභාගි වූ එම වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියකු වන ස්කොට් ගිල්මෝර් ප්‍රකාශ කළේ මෙය හුදෙකලා සිදුවීම් සම්බන්ධ නඩු පැවරීමක් නොවන බවත් ඒවා වරින් වර පමණක් සිදුවූ ඒවා නොවන බවත්ය. මේ සිදුවීම් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා ගණයට වැටෙන බවත් ඒවා ආයතනික මට්ටමින් සිදුවී ඇති බවත් එම ආයතනයේ ප්‍රධානියා වී සිටියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඔහු කීය.

- ඩේලි එෆ්.ටී.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00