දෙරටක් අතර ගිවිසුමක් ඇතිකරගත යුත්තේ දෙරටටම එම ගිවිසුමේ ප්‍රතිලාභ හිමිවන ආකාරයටය. එසේ නොවන ජාත්‍යන්තර ගිවිසුම්වලදී සිදුවන්නේ එක් රටක් අනෙක් රටේ කොන්දේසි සහ බලපෑම්වලට යට වීමය. එවිට එසේ බලපෑමට හසුවන රටේ ජනතාව එම ගිවිසුම් දකින්නේ තමන්ගේ රට පාවාදෙන, රටේ සම්පත් අනෙක් රටට කුණුකොල්ලෙට ලබාදෙන හොර ගිවිසුම් වශයෙනි. අපේ රටේ වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගෙවී ගිය වසර හතරක කාලය තුළදී අත්සන් තැබූ සහ අත්සන් තැබීමට යෝජිත ගිවිසුම් සම්බන්ධයෙන්ද රටේ ජනතාව තුළ තිබෙන්නේ එවැනි අදහසක් බව ඔවුන් කරන ප්‍රකාශවලින් පෙනේ. ඊට ආසන්නම උදාහරණය සෝෆා ගිවිසුමය.
ගිවිසුමක අරමුණ දෙපාර්ශ්වයටම යහපත සැලසීම නම් සෝෆා ගිවිසුම යනු එහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත බව එහි වගන්තිවලින් පැහැදිලි වෙයි. සෝෆා ගිවිසුමක් ගැන රටේ ජනතාව අසා තිබුණත් පසුගිය කාලය මුළුල්ලේම එහි වගන්ති, කොන්දේසි කළුද සුදුද කියාවත් දැකගන්නට හැකියාවක් නොතිබිණි. එකී ගිවිසුමේ සැබෑ පිටපත මේ වනතුරුද නිල වශයෙන් රට හමුවේ තැබීමට රජය ක්‍රියාකර නැත. එහි ඉංග්‍රීසි පිටපත පසුගියදා මාධ්‍ය හරහා එළියට පැමිණි අතර එහි අඩංගු වූ කරුණු අමෙරිකානු රජය හෝ ශ්‍රී ලංකා රජය හෝ ප්‍රතික්ෂේප කළේ නැත. ඒ අනුව එය සැබෑ ගිවිසුමේ පිටපතක් බව පිළිගැනීමට සිදුවෙයි. ඒ අනුව එහි සිංහල භාෂා පිටපතක්ද සැකසී තිබේ. මේවා අවශ්‍ය කෙනකුට අන්තර්ජාලය ඔස්සේ කියවාගත හැක. එහෙත් ආණ්ඩුවෙන් නම් මේ එකදු ගිවිසුමක් ගැන හෝ පිටපතක් ඉදිරිපත් නොකරන බව ස්ථීරය.
අපට කනගාටුව ඇත්තේ රටේ ස්වෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය විය හැකි වගන්ති ගණනාවක් එම ගිවිසුමේ අඩංගුව තිබුණත් අඩුම තරමින් එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තරම්වත් ඕනෑකමක් රජයට නොතිබීම ගැනය. මෙය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත්වූවා නම් ඒ ගැන කතා කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත. එහෙත් ඩියුටි ෆ්‍රී කාර් පර්මිට්, විදෙස් සංචාර, වඩ වඩාත් පහසුකම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරැන් දක්වන උනන්දුව රටට බරපතළ හානියක් විය හැකි මෙවැනි ගිවිසුමක් සම්බන්ධයෙන් දක්වයිද යන සැකයද ඒ සමඟ තිබේ. එසේ වුවත් තොරතුරු ලබාගැනීමට උනන්දුවෙන් පසුවන මන්ත්‍රීවරුන් කිහිප දෙනාට හෝ එමගින් ප්‍රයෝජනයක් ගත හැකිව තිබිණි. මේ කාරණාව සෝෆා ගිවිසුමට පමණක් නොව පසුගිය කාලසීමාව තුළදී ආණ්ඩුව එළඹුණු සියලු ජාත්‍යන්තර ගිවිසුම් සියල්ලටම අදාළ බව මෙහිදී පෙන්වා දීම අවශ්‍යය. වෙනත් වචනවලින් කියනවා නම් මේ රජය යටතේ අත්සන් කෙරුණු ජාත්‍යන්තර ගිවිසුම් සියල්ලම ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාවගෙන් හංගමිනි. ඔවුන්ට රහසිනි. ඇතැම් මන්ත්‍රීවරැන් පවා මේ ගිවිසුම්වල අඩංගු කරැණු මොනවාදැයි නොදැන සිටින බව ඔවුන් සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලි වෙයි.
මීට පෙරද අමෙරිකාව සමඟ ඇක්සා යනුවෙන් නම්කෙරැණු ගිවිසුමක් 2017 වසරේදී අත්සන් කරනු ලැබීය. එම ගිවිසුම අමෙරිකාව බොහොමයක් රටවල් සමඟ අත්සන් කරන ගිවිසුමක් බවත් එයට ශ්‍රී ලංකාව මුලින්ම අත්සන් කර ඇත්තේ 2007 වසරේ බවත් සඳහන්ය. එහෙත් ඒ කාලයේ ගිවිසුමට ඇතුළත්ව තිබුණේ පිටු 8ක් පමණක් බවත් 2017 දී එයට අත්සන් තබන විට ඊට ඇමුණුම් පිටු 80ක්ද තිබූ බවත් දැන් හෙළිවී තිබේ. ඇක්සා ගිවිසුමේ මුලින් සඳහන් වූ කරුණු හෙළි වුවත් ඇමුණුම්වල අඩංගු කරුණු හෙළි කිරීමට ආණ්ඩුව ක්‍රියා කළේ නැත.
වත්මන් රජය ඉන්දියාව සහ සිංගප්පූරැව සමඟ ද වෙළෙඳ ගිවිසුම් දෙකකට අත්සන් තැබූ බවද මීට කලින් ප්‍රකාශයට පත් විය. ඊට ඇතුළත් කරැණු පිළිබඳ නොදැන විපක්ෂයත් රටේ ඇතැම් කණ්ඩායමුත් එය විවේචනය කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කර තිබිණි. ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සෑම රටකටම අවශ්‍ය බවත් ඒවා විවේචනය කරන්නේ රට හුදෙකලා කිරීමට උත්සාහ දරණ පිරිස් බවටත් ආණ්ඩුව චෝදනා කළේය. වත්මන් සෝෆා සහ ඇක්සා ගිවිසුම් සම්බන්ධයෙන්ද ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ එම මතයමය.
එහෙත් මෙහිදී පෙන්වා දිය යුත්තේ රටේ ජනතාව විරැද්ධ වන්නේ ජාත්‍යන්තර ගිවිසුම්වලට නොවන බවය. ඔවුන් විරෝධය දක්වන්නේ තමන්ට කරුණු සඟවා හොරෙන් මේ ගිවිසුම්වලට එළඹීම සම්බන්ධයෙනි. අඩුම තරමින් පාර්ලිමේන්තුව හෝ දැනුවත් නොකර ගිවිසුම්ගත කරැණු පිළිබඳව රට හමුවේ කතිකාවක් ඇතිකර ගැනීමකින් තොරව මෙවැනි ගිවිසුම්වලට එළඹෙන විට ජනතාව එය දකින්නේ තමන් රුවටීමක් හැටියටය. ආණ්ඩුව තමන්ට බොරැ කරමින් ඇත්ත සඟවන බවය. මේ නිසා ජාත්‍යන්තර ගිවිසුම් ගැන ඔවුන් සැක පහළ කිරීම සාධාරණය. ඔවුන්ගේ විරෝධය එවැනි ගිවිසුම්වලට එරෙහිව යාමක් වශයෙන් සැලකිය නොහැක. ඔවුන් විරැද්ධ වන්නේ ආණ්ඩුව තමන්ට කොළේ වසා ගහන වැඩේටය.
සිංගප්පූරැව සමඟ ගිවිසුමට එළඹෙද්දී මේ රටේ වෘත්තීය සංවිධාන සෑම එකක්ම පාහේ එයට විරෝධය දැක්වීය. එහෙත් ආණ්ඩුව කළේ හදිසියේ අටවාගත් තමන්ට හිතවත් සංවිධාන කිහිපයකින් අදහස් විමසා ගිවිසුම අත්සන් කිරීමය. එය නිවැරදි ක්‍රියාමාර්ගය නොවේ. දැන් හෙළිවී තිබෙන්නේ එම ගිවිසුමට අනුව අපේ රටේ වෙළෙඳාමට කිසිදු වාසියක් අත් නොවන බවත් සිංගප්පූරැවෙන් මෙරටට සිදුකෙරෙන වෙළෙඳාම පුළුල් වන බවත්ය. ඒ සමඟ සිංගප්පූරැවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකාව කුණු කූඩයක් වන බවද සඳහන්ය. එම කරැණු අසත්‍ය බව ප්‍රකාශ කිරීමට ආණ්ඩුව තවම ඉදිරිපත් වී නැත.
ජාත්‍යන්තරය සමඟ ගිවිසුම් එපා යැයි රටේ ජනතාව කියන්නේ නැත. එහෙත් මොන ගිවිසුමකට එළඹුණත් ඒවා විනිවිදභාවයකින් යුතුව සිදුවෙයි නම් මේ විරෝධතාවලට මුහුණදීමට ආණ්ඩුවට සිදුවන්නේ නැත. ඒවා හොර ගිවිසුම් හැටියට ජනතාව දකින්නේ ද නැත.