2017 මාර්තු 04 වන සෙනසුරාදා

අපිට තාම පෙරළිය කරගන්න බැරිවුණා

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 140

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක

යහපාලන රජය ජනවාරි 08 බලයට එන්නේ ජනතාවට නොයෙක් පොරොන්දු දීලා. හැබැයි අද වෙද්දි එදා ඔවුන් පාලනයට ගෙනාව ජනතාවම ඒ රජයට එරෙහිව හඬ නගනවා...?

ඉතාම පැහැදිලිව මේ රටේ ජනතාව ජනවාරි 08 වැනිදා ඔළුගෙඩි මාරුවක් නෙවෙයි බලාපොරොත්තු වුණේ, මහා පෙරළියක්. අපි තාම ඒ මහා පෙරළිය ඇති කරලා නෑ. මේ ගමන යන්නේ ඒ සඳහා තමයි.

දැන් අවුරුදු දෙකක් ඉවරයි ඇමැතිතුමා..?

අවුරුදු පහකටනේ ආණ්ඩුව පත් කළේ.

එදා ආණ්ඩුව හදන්න එකතු වුණ පාර්ශව, සිවිල් සංවිධාන, ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම මේ ළඟදි ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ස්වාධීන වෙනවා කිව්ව රතන හිමි මේ සියල්ලෝම කියනවා යහපාලන රජය යන්නේ යහපාලන පාරේ නම් නෙවෙයි කියලා..?

අපිත් මේ ආණ්ඩුව හදන්න එකතු වුණ පිරිස. අපි අපිටම ඇඟිල්ල දික් කරගන්න සූදානම් විය යුතුයි. ජනවාරි 08 වෙනකම් අපිට තිබුණේ එක බලාපොරොත්තුවයි. ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාව බලයෙන් පහ කිරීම. හැබැයි ජනවාරි 08 වැනිදාට පස්සේ අපිට වැඩපිළිවෙළක් තිබුණාද... ඔය කියන සියලුදෙනාත් 08 වැනිදාට පස්සේ නිහඬව, නිස්කලංකව වෙන්නේ මොනවද කියලා බලන් හිටියා මිසක් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා මේ ටික කළ යුතුයි කියන බලපෑම් කළාද? ජනවාරි 08 වැනිදා වෙනකම් එක අරමුණක හිටිය මේ පිරිසට 09 වැනිදා ඉඳලා අරමුණු ගොඩක් එනවා. 

ඔබ මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයක ඉහළම තනතුරක් දරන අයෙක්. ඇයි වටේට ඉන්න අය කියනකම් ඉන්නේ. ඔබට මේ තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද..?

ඔව්. අපි මේ තීරණය අරගෙන ඉදිරියට යනවා. ඔබ දකින්න ඇති ශ්‍රීලනිපය හා එජාපයේ නායකයන් මේ කියන මතවාදය තුළ ඉන්නවා. අපි ජනවාරි මාසේ 08 වැනිදා සමාජයේ මතය හැදුවා වගේම 08 වැනිදාට පස්සේ සමාජය මේ මතයට ගොනු කරන්න ඕන.

2015 ජනවාරි 08 හිතුවාද 2016 ජනවාරි 08 වෙද්දි බැඳුම්කර ගණුදෙනුව වගේ කාරණයක් නිසා ආණ්ඩුවට නාගන්න වේවි කියලා..?

ආණ්ඩුව නාගත්තාද නැද්ද කියලා අපිට ඉදිරියේදි බලාගන්න පුළුවන්කම තියෙනවා. අපි කවුරුවත් හොරු ආරක්ෂා කරන්නේ නෑ. වරදක් අපේ ආණ්ඩුව කාලයේ හරි වෙලා තියෙනවා නම් දඬුවම් ලැබිය යුතුයි. අපි එදා රටට පොරොන්දු වුණේ පහුගිය ආණ්ඩුවේ හොරු අල්ලනවා කියලා නෙවෙයි, අනාගතයේදී හොරකම් කරන්න බැරි වෙන විදියට නීති රීති, ක්‍රමවේදයන් ඇති කරනවා කියන එක. එහෙම නැතිව ගිය ආණ්ඩුවේ හොරු ටික මේ ආණ්ඩුවෙන් අල්ලලා හිරේ දාලා මේ ආණ්ඩුවේ හොරු ටික ඊළඟට එන ආණ්ඩුවෙන් අල්ලලා හිරේ දාන එක නෙවෙයි.

හැබැයි ඔබේ යහපාලන පාර්ශවය එදා නම් කිව්වේ රාජපක්ෂ පවුලේ ඉන්න හොරු ටික ඔක්කොම අල්ලනවා කියලා. අපිට මතකයි මෛත්‍රීපාල පොදු අපේක්ෂකයා කිව්වා රටේ ගුවන්තොටුපොළවල් වහනවා කියලා. එතකොට ඔය කියන කාරණය පරස්පරයි..?

මම ඒකෙන් කිව්වේ හොරු අල්ලන්නේ නෑ කියලාද..? නෑ.. මම කිව්වේ නීතිය අනුව හොරු ඇල්ලිය යුතුයි කියලා. මම කියන්නේ හොරු අල්ලලා නිකම් ඉන්නේ නැතිව ඉදිරි කිසිම දේශපාලකයෙකුට හොරකම් කරන්න බැරි වෙන්න නීතීරීති හදන්න ඕන කියන එක.

පුදුමේ කියන්නේ ඇමැතිතුමා, ඔබ පිරිස හොරු හොරු කිව්ව පහුගිය ආණ්ඩුවේ හිටිය පිරිස දැන් හොඳට සුදු ඇඳගෙන ඔබ පාර්ශවයට චෝදනා කරනවා හොරු හොරු කියලා..?

ඉතාමත් පැහැදිලිව ඒ ප්‍රශ්නය තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එදා මහින්ද රාජපක්ෂ එක්ක මහා පරිමාණ හොරකම් කළ කට්ටිය අදටත් මේ ආණ්ඩුවේ සියලු ව්‍යාපාරත් කරගෙන ෂෝක් එකට නිල් කමිසේ ගලවලා කොළ කමිසේ හරි නිල් කොළ දෙකම තියෙන කමිසේ හරි ඇඳගෙන තාමත් හොරකම් කරනවා.

ඔබ උඩ බලාගෙන කෙළ ගහගන්නවා නේද..?

ඇයි එහෙම කිව්වේ.

නෑ ඉතින් ගිය ආණ්ඩුවේ හිටිය රජ හොරු ටික මේ ආණ්ඩුවෙත් ඉන්නවා කියලා. මේ ඔබේ ආණ්ඩුව නේද.?

ඉතාමත් පැහැදිලිව අපි අපේ රජය තුළ යම් කෙනෙක් වැරදි දෙයක් කරනවා නම් ඒක වැරදියි කියලා කිවයුතු වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සමහරුන්ගේ වුවමනාවට බැඳුම්කර ගනුදෙනු සිදුවුණා කියන එක රටේ ජනතාව කතාවෙන කාරණයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේකට බෙල්ල තියන්නද යන්නේ..?

ඉතාමත් පැහැදිලිව එහෙම රටේ සමාජය හිතන එකේ යම් සාධාරණයක් තියෙනවා. හේතුව, මේ බැඳුම්කරයට සම්බන්ධ ඒ අදාළ පුද්ගලයාත් ඔහුගේ මාමණ්ඩියත් එක්සත් ජාතික පාක්ෂිකයන් කියන කාරණය හංගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන එක හංගන්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ කියන බැඳුම්කර ගනුදෙනුවේ හිටිය පිරිස පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් කියලා හැමෝම දන්නවා. හැබැයි අපි මතක් කරන්න ඕන ඔය බැඳුම්කර සිද්ධියේ ඉන්න පුද්ගලයා ජනවාරි 08 වැනිදා වෙනකම් හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා, නාමල් රාජපක්ෂ මහත්තයා එක්ක.

ඒක මේ ගැටලුවට අදාළ වෙනවද..?

මම ඉතාමත් හොඳින් දන්නවා ඔය කියන පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද වුණාම ඇඬුවා.

ඔබ ඔය, කියන පුද්ගලයා කියන්නේ අර්ජුන් ඇලෝෂියස් ද, අර්ජුන් මහේන්ද්‍රන් ද..?

බැඳුම්කරයට සම්බන්ධ පුද්ගලයා. බැඳුම්කරයට කෙළින්ම සම්බන්ධ පුද්ගලයෙක් ඉන්නවානේ. අන්න එයා. ඔය සිද්ධියේ උදවු කළ කෙනෙක් ඉන්නවා, කෙළින්ම සම්බන්ධ කෙනෙක් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂය හා පාර්ලිමේන්තුව කෝප් කමිටුවක් දැම්මා බැඳුම්කරය ගැන හොයන්න. හැබැයි ජනාධිපතිවරයා දාපු කමිටුවට තමයි දැන් දැඩි කතා බහට ලක්වෙලා තියෙන අමුතු ගැසට් වාර්තාවක් අහුවුණේ. මෙච්චර දවසක් ඕක හංඟලාද තිබුණේ..?

ඒ පිළිබඳ මම හරියටම දන්නේ නෑ ඕක හංඟලාද නැද්ද තිබුණේ කියලා. අපි දන්න විධියට 2013 වෙනකම් මුදල් අමාත්‍යතුමාගේ අත්සනින් හා 2013ට පස්සේ මුදල් අමාත්‍යතුමාගේ නමින් තමයි මේ ගැසට් නිකුත් වුණේ. ඒ වගේම මුදල් අමාත්‍යවරයා වසර පුරාම ලබාදුන් සහනයන් ඇතුළු සියල්ලම වාර්ෂික, වර්ෂය අවසානයේ එක ගැසට් එකක තමයි ගහන්නේ. මේක තමයි සම්ප්‍රදාය. අපි බලාගෙන ඉමු, ඔය කියන ගැසට් එක ආණ්ඩුවේ ප්ලෑන් කරපු වැඩක් ද, පරණ සම්ප්‍රදායමද කියලා.

හැබැයි ඇමැතිතුමා 2015 ජනවාරි 08 වැනිදා තමයි හිටපු ජනාධිපතිවරයා ගෙදර යන්නේ. මේ ගැසට් එක ගහන්නේ 2016 මේ ගැසට් එක මහින්ද රාජපක්ෂගේ නම දාලා ගහන්නේ ආණ්ඩුවේ ඉල්ලීම මත කියලා රජයේ මුද්‍රණාලාධිපතිනිය කියනවා..?

ඔව්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නම් දාලා තියෙනවා කියන කාරණය ඇත්ත. 

ඔහු මාධ්‍ය නිවේදනයක් හරහා ඒක ප්‍රතික්ෂේප කරනවා..?

ඔහුට එහෙම කරන්න පුළුවන්. දින වකවානු එක්ක බැලුවාම ඔබ ඔය කියන කාරණය හා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන කාරණය සාධාරණයි. මොකද ජනවාරි 08 එයාට මුදල් ඇමැතිකම් නැති වෙනවා. 10 වැනිදා ඉඳලා මුදල් ඇමැති වෙන කෙනෙක්. හැබැයි මුදල් අමාත්‍යාංශයේ සම්ප්‍රදාය අනුව යම් මුදල් අමාත්‍යවරයෙක් පහුගිය වසරේ ගත්ත තීරණ තීන්දු සියල්ල එකතු කරලා වසර අවසානයේදි නම් ගැසට් එකක් ගහන්නේ. ඒ නිසා එයාටත් වගකීමක් තියනවා.

ඔබ දැනුම්වත්ද මහින්ද රාජපක්ෂ මහත්තයා ජනවාරි 08 ගෙදර යද්දි ඩොලර් බිලියන 8.5ක තිබුණ මහබැංකු සංචිතය මේ වෙද්දි ඩොලර් මිලියන 5.2කට අඩුවෙලා කියලා. කෝ අර රට ගොඩනගන්න ආපු යහපාලන ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයෝ..?

ඒ වගේම ඔබ ණයක් ගන්නවා. ඒ ණය ගෙවන්න ඔබට දෙනවා වසර 10ක සහන කාලයක්. ඔබ අවුරුදු 10ක් පොලිය විතරක් ගෙවනවා. 11වැනි අවුරුද්දේ ඉඳලා මූලික වාරිකයක් එක්ක පොලිය ගෙවනවා. හිටපු ආණ්ඩුව පහුගිය අවුරුදු 10 පුරාවට ගන්න ණයවල සහන කාලය දැන් ඉවරයි. අපි දැන් ණය වාරිකයත් එක්ක පොලිය ගෙවන්න ඕන. ඔය ගත්ත ණයවලින් අපි ආදායම් උපයලා තිබුණා නම් මේ ගෙවිල්ල අපහසු නෑ. අපි පිළිගන්න ඕන බිලියන ගණන් වියදම් කරලා හදපු වරායෙන්, ගුවන්තොටුපොළෙන් කිසිම ආදායමක් නෑ. 

ඔබ ඔය කියන්න සූදානම් වෙන්නේ මහ බැංකු සංචිතවලින් රටේ ණය ගෙව්වා කියලද..?

ඔය සියල්ලම එකට බැඳෙනවා. 

හැබැයි ඉතිහාසයේ කිසිම දිනෙක මහබැංකු සංචිතයක් භාවිත කරලා රටේ ණය ගෙවලා නෑ නේද..?

අපිට විවේචන කරන්න අවශ්‍ය නම් කාරණා වෙන වෙනම ගන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව ඔබට ලැබෙන වැටුප අනුවයි ඔබ ජීවත් වෙන්න ඕන. ඔබේ ආර්ථික පරිපාලනයේ තියෙන දුර්වලතා නිසා ඔබ ණයවල හිර වුණොත් ඔබට සිද්ධ වෙනවා ඔබේ ඉතිරි කිරීම් පවා එළියට ගන්න.

ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා. මේ දැවැන්ත තනතුරේ බර දරන්න තරම් ඔබ ශක්තිමත් ද..?

ඒ ශක්තිමත් නිසානේ මේක දීලා තියෙන්නේ.

මහලේකම් පුටුවට ආවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපකාරයෙන්ලු..?

ඉතාමත් පැහැදිලිව. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ තමන්ගේ ඕනෑම පක්ෂයක ලේකම්ධූරයට පත් කරගන්න ඕන තමන්ට ඉතාම විශ්වාසවන්ත පුද්ගලයෙක්. ඒක එදා ඉඳන් මේ සියලු පක්ෂවල තිබුණා.

මහින්ද රාජපක්ෂ මහත්තයාට එතකොට ඒ කාරණයේදී වැරදුණාද..?

නෑ. වැරදිලා නෑ.

ඔබ කියනවා පක්ෂයේ මහලේකම් තනතුර දරන්න ඔබ ශක්තිමත් කියලා. හැබැයි ඔබට තමයි චෝදනාව එල්ල වෙන්නේ ඉතිහාසයේ නොවූ විරූ ආකාරයට පක්ෂය දෙකඩ වෙන්නේ ඔබේ ධූර කාලයේ කියලා..?

ඔව්. ඒකේ කොටසක් මටත් බාරගන්න සිද්ධ වෙනවානේ. මේ කාල සීමාව තුළ පක්ෂය දෙකඩ වුණාම ලේකම්වරයා විදිහට යම්කිසි කොටසක් බාරගත යුතු වෙනවා. හැබැයි ඇත්තටම මේක කඩන්නේ කවුද? මහින්ද රාජපක්ෂ.

හැබැයි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂය කරන චෝදනාව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ ප්‍රතිපත්ති පාවලා දීලා ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදන්න මුක්කුවක් වුණා කියන එක..?

මේක පටන් ගත්තේ කවුද? මේක පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එයා තමයි 2006දි එක්සත් ජාතික පක්ෂය එක්ක පළවෙනි ගිවිසුම ගැහුවේ. එදා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා එජාපයෙන් මලික් සමරවික්‍රම මැතිතුමා තමයි ගිවිසුම අත්සන් කළේ. එක්සත් ජාතික පක්ෂයට එකතුවෙලා රට සංවර්ධනය කරමු කියලා පළවෙනි ගිවිසුම අත්සන් කළේ මහින්ද රාජපක්ෂගේ කාලේ, එක්සත් ජාතික පක්ෂයේ පතාකයන්ගේ කොළ කමිස ගලවලා එළිවෙද්දි නිල් කමිස අන්දලා ආණ්ඩුවේ මැති ඇමැතිකම් දුන්නේ මහින්ද රාජපක්ෂගේ කාලේ, එජාපයේ පතාක යෝධයෝ තමන්ගේ ළඟ හිතවත්තු කරගත්තේ මහින්ද රාජපක්ෂ. එහෙම කරගෙන ශ්‍රීලනිප අයට කැපුවේ මහින්ද රාජපක්ෂ. කුරුණෑගල මතක් කරගන්න. එහේ ජොන්ස්ටන් ප්‍රනාන්දු තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හොඳම හිතවතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාවින්න, අනුර යාපා ඇමැතිතුමන්ලා සියල්ලන්ට කැපුවා.

ඔබ මහ ලේකම් විදිහට ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට පවත්තවපු විනය පරීක්ෂණ පෝලිමේ තත්ත්වය කොහොමද..?

නෑ. විනය පරීක්ෂණ පෝලිමක් තිබුණේ නෑ. විනය පරීක්ෂණයක් තිබ්බේ සනත් නිශාන්ත මන්ත්‍රීතුමාට විතරයි.

හැබැයි අපිට මතකයි ඔබ ඊට වඩා විනය පරීක්ෂණ රාශියක් තියන්න ලැහැස්ති වුණා...?

විනය පරීක්ෂණයක් තියන්න ඕනෑකම තියෙන්නේ පක්ෂයේ තනතුරක් දරන කෙනෙක්ට පමණයි.

ඔබ කෘෂිකර්ම ඇමැතිවරයා. මැතිනියගේ යුගයෙන් පස්සේ හාල් පෝලිම් තිබුණේ ඔබේ යුගයේ. ඇයි රට මේ තරම් අගාධයකට ගියේ..?

වැස්ස නැති නිසා. මේ වගේම නියඟයක් ආවේ ඔය කියන 1974 කාලයේමයි. ඒ වගේ නියඟයක් තමයි අවුරුදු විසි තිස් ගාණකට පස්සේ මේ ඇවිල්ලා තියෙන්නේ.

ඔබ හදවතට එකඟවද කියන්නේ මැතිනියගේ යුගයේ ආපු නියඟයට සමාන නියඟයක් දැන් තියෙනවා කියලා..?

ඉතාමත් පැහැදිලිව එවැනි නියඟයක් තමයි එන්න ගියේ. හැබැයි අපේ රටේ ජනතාවගේ වාසනාවට ඒ නියඟය අපිට බලපෑවේ නෑ.

යහපාලනය ඇවිල්ල කෙටි කාලයකින් ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා මතකද වී වගාව තුනෙන් දෙකකට අඩු කරන්න කියලා. එදා එහෙම කියලා අද කියනවා රටේ හාල් නැත්තේ නියඟය නිසාලු..?

මම ඒ කළ ප්‍රකාශය එදත් මාධ්‍යවලින් වැරදියට ප්‍රචාරය කළේ, දැනුත් ඔබ ලජ්ජා නැතිව කරන්නේ ඒක. මම එදා කිව්වේ රටේ අවශ්‍යතාවයට සරිලන ඉඩම් ප්‍රමාණයක වී වගා කරලා ඉතිරි ඉඩම් ටිකේ අමතර භෝගයක් වගා කරන්න කියලා. ඒක වැරදිද. ජලය ප්‍රශ්නයක් තියෙන නිසා ජලය තියෙන තැන්වල වී වගා කරන්න, ජලය අඩුවෙන් තියෙන තැන්වල බඩඉරිඟු වගා කරන්න. මම ඕකයි කිව්වේ.

චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමයේ ඉතා ප්‍රබල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වූ ඔබේ පියා ඇයි මහින්ද රාජපක්ෂගෙ පස මිතුරෙක් වුණේ..?

මගේ පියා මහින්ද රාජපක්ෂගේ පසමිතුරෙක් වුණේ නෑ.

හැබැයි ඔබේ පියා හා මහින්ද රාජපක්ෂ අතර සීතල යුද්ධයක් පැවතුණේ නෑ කියන්න ඔබට බෑ..?

2005 මහින්ද රාජපක්ෂ මැතිතුමාව බලයට ගේන්න මගේ පියා විශාල කැපවීම් කළා. උතුරු මැද පළාතේ වැඩිම වැඩ කොටසක් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මගේ පියා. මේ කියන කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය අතර සීතල යුද්ධයක් තිබුණා කියන කාරණය හංගන්න ඕන නෑ. මගේ පියා චන්ද්‍රිකා මැතිනිය සමීපව ආශ්‍රය කළේ ඇය පක්ෂයේ සභාපතිතුමිය නිසා මිසක් වෙන කාරණාවකට නෙවෙයි. ඊළඟ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා නම් අපි මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරවන්න වැඩ කරන්න ඕන. අද මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක වුණාට දැන් ඔය එතුමා වටේ ඉන්න සමීප පිරිස ඔහුට 2005දි ඡන්දේවත් දුන්නේ නැති අය.

පියාගේ අවසන් කටයුතු මොහොතේ ඔබ ඉතාම ආවේගශීලී කතාවක් කළා. රටේ ඒ කාලේ කතාවක් ගියා ඔබ රාජපක්ෂවරු විවේචනය කරමින් ඒ කතාව කළේ හිටපු ජනාධිපතිනියගේ අවශ්‍යතාවයට කියලා..?

නෑ. මම කාගේවත් අතකොලුවක් වුණේ නෑ. ඉදිරියට වෙන්නෙත් නෑ. මම බර්ටි දිසානායකගේ පුතා මිසක් වෙන කාගේවත් පුතා නෙවෙයි. මට හිතෙන දේ මිසක් වෙන කාටවත් අවශ්‍ය දේ මම කියන්නේ නෑ. කවුරුත් මතක් කරගත්තොත් හොඳයි මම පාර්ලිමේන්තු ඇමැති කෙනෙක් වුණත් මට අම්මෙක් තාත්තෙක් ඉන්නවා. මටත් පවුලක් තියෙනවා. ඒ ගැන කැක්කුමක් තියෙනවා.

ඉදිරියේදී ඔබේ මැදිහත් වීමෙන් ග්ලයිෆොසේට් නැවත ලංකාවට ගේන්න සූදානමක් තියෙනවා කියලා රටේ හා හූවක් යනවා..?

පැහැදිලිවම ඒක බොරු. එහෙම වෙන්නේ නෑ.

සාමාන්‍යයෙන් දේශපාලකයෝ කේන්දර, විවිධ ග්‍රහයින්, තාරකා, දෙවි දේවතාවෝ විශ්වාස කරනවා. ඔබ එහෙම නෑලු. ඇත්තද කතාව..?

මම විශ්වාස කරනවා. හැබැයි ඒ මත්තේ යැපෙන්නේ නෑ.

ඔබට මහලේකම් පදවිය ලැබුණ කාලයේ ඔබ කැබැලිත්තේ දේවාලයට ගිය වීඩියෝවක් අන්තර්ජාලයේ ප්‍රචලිත වුණා මතකද..? කැබැලිත්තේ දේවාලයේ පුංචි සියඹලා ගහේ ඔබ ඔළුව ගහගන්නවාත් ඒ වීඩියෝවේ තිබුණා..?

දැන් ඒකේ නරකක් තියෙනවාද? වැරැද්දක් තියෙනවාද? අනිත් හැමෝටම තමන් අදහන ආගම හා දෙවියන් වඳින්න අයිතියක් තියෙනවා නම් මට මොකද්ද ඒකට තියෙන තහනම. ඇයි මාධ්‍යවේදීන් කියන අය මේ වගේ කුණු පස්සේ දුවන්නේ?

රටේ ජනතාවට කන්න හාල් නැතිව තියෙද්දි හතර මායිමේවත් ගිහින් නැති ගොඩනැගිල්ලකට කෝටි ගණනක් ගෙවන්න කෘෂිකර්ම අමාත්‍යාංශයට සිද්ධවෙලා තියෙනවා. යහපාලනයක් ගැන කියාගෙන ආපු ආණ්ඩුවක සිද්ධවෙන්න ඕන දේවල්ද මේ..?

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා පවත්වන්න යෝජනා වෙලා තියෙනවා. ඒකයි මට සිද්ධ වුණේ අමාත්‍යාංශයට වෙනත් ගොඩනැගිල්ලක් ගන්න. කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ ආයතන රැසක්. අපිට වර්ග අඩි 90,000කට වැඩි ගොඩනැගිල්ලක් ඕන වුණා. දැන් මට කොච්චර මඩ ගැහුවත් මම මේ ගත්ත ඉඩම තියෙන ගොඩනැගිල්ලක් රජයේ තැනකින් ගත්තත්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙන් ගත්තත් මීට වඩා ගාණ වැඩියි. මම හතර මායිමේ ගිහින් නැතිව මේකට සල්ලි ගෙව්වේ නෑ. ගොඩනැගිල්ල ගත්ත ගමන් හෙට ගිහිල්ලා ඒකේ හිටගෙන ඉන්නද ඔබ කියන්නේ. යන්න කලින් ඒක ලැහැස්ති කරන්න ඕන. අපි ගොඩනැගිල්ල සූදානම් කරන කාලයේ නිකම් ඒක අපිට දෙන්නේ නෑ ඒ මිනිස්සු.

2020 ජනාධිපතිවරණයේදී වැරදිලා හරි මෛත්‍රීපාල සිරිසේන මහතා නැතිව වෙන අයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා වුණොත් උපකාර කරනවාද..?

ඉතාම පැහැදිලිව ඔව්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂයා කවුද, ඔහුව ජයග්‍රහණය කරා රුගෙන යන්න සියල්ලම කරනවා.

හිටපු ශ්‍රී ලනිප මහලේකම්වරයා අවසානයේ රටේ ජනාධිපති වුණා. දැන් මහලේකම් පුටුව දරන්නේ  ඔබ. ජනාධිපති පුටුව ගැන ඉලක්කයක් තියෙනවාද..?

ඒක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට බාර කරනවා.

♦ විමුක්ති රත්නමලල