විශ්වාසභංගයකින් මේ රටේ ආණ්ඩු වැටී නැත. එකම වතාවක පමණක් රාජාසන කතාවට ස්තූතිය පළ කිරීම සඳහා ආණ්ඩුව මගින් ගෙන එනු ලැබූ යෝජනාව එක ඡන්දයකින් පරාජය වීමෙන් 1964 දෙසැම්බරයේ දී සිරිමාවෝ රජයට ආණ්ඩු බලය අහිමි විය. ඇතැම් අවස්ථාවලදී විපක්ෂය විශ්වාසභංගයක් ඉදිරිපත් කළ විට ආණ්ඩුව එන පොට හොඳ නැති බව දැනුණොත් ඒ කියන්නේ තමන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයවත් නොලැබෙන බව ආරංචි වුණොත් කුමක් හෝ ඇස් බැන්දුමක් යොදා එයින් ගැලවීමට කටයුතු කරයි. මේ කොහොම වුණත් ආණ්ඩුවකට එරෙහිව හෝ ආණ්ඩුවේ ඇමතිවරයකුට හෝ එරෙහිව විශ්වාසභංග ගෙන ඒම නවතින්නේද නැත.
කොහොම වුණත් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව විශ්වාසභංග යෝජනාවලට තිබූ තැන නැති විය. ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් එකම පක්ෂයකින් පත් වූ විට පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුව වැට්ටීම කළ නොහැකිය. හේතුව විධායකය සතුව පවතින අසීමිත බලය හේතුවෙන් තමන්ගේ දේශපාලන අනාගතයට ආදරේ ඇති කිසිම මන්ත්‍රීවරයකු විපක්ෂය සමඟ එකතු වී ආණ්ඩුවට එරෙහිව කටයුතු නොකිරීමය. කළ හැකි එකම දේ ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමය. නමුත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයේ ප්‍රතිඵලය දන්නා කිසිම මන්ත්‍රීවරයකු යළිත් එවැනි ක්‍රියාවකට පොළොඹවා ගැනීම කළ නොහැක්කකි. එවැනි තත්ත්වයක් පැවතුණත් වත්මන් යහපාලන ආණ්ඩුවට සහ ඇමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංග ගණනාවක් ගෙන එනු ලැබීය. පසුගිය බ්‍රහස්පතින්දා (11) පාර්ලිමේන්තුවේදී ඉවර වුණේ එහි අලුත්ම එකයි. එළියෙන් බැලුවොත් කොයි වෙලේ වැටෙයිද කියන තත්ත්වයක සිටි ආණ්ඩුව වැඩි ඡන්ද 27කින් එම විශ්වාසභංගය පරාජය කළේය.
මේ විශ්වාසභංගයෙන් ගොඩ ගියේ විපක්ෂයද? ආණ්ඩුවද? ඒ ගැන අදහසක් ගැනීමට එහි වටපිටාව සැකසුණු ආකාරය ගැන සෙවිය යුතුය.
මේ යෝජනාව ඉදිරිපත් වුණේ පාර්ලිමේන්තුවේ ලොකුම විපක්ෂය වන මහින්ද නායකත්වය දෙන ඒකාබද්ධයෙන් නොවේ. ජනතා විමුක්ති පෙරමුණෙනි. විශ්වාසභංගය ඉදිරිපත් වුණේ ඇමැතිවරයකුට එරෙහිව නොව ආණ්ඩුවට එරෙහිවය. ආණ්ඩුව සමඟ එළියේ බැණගෙන ඇතුළේ එකට වැඩ කරන බවට ජවිපෙ පසුගිය කාලය පුරාම විපක්ෂයෙන් බැණුම් ඇහුවේය. ආණ්ඩුව සමඟ ඩීල් දාගෙන ඇති බවටද චෝදනා එල්ල විය. එහෙම වුණත් ජවිපෙ මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඇවිත් ආණ්ඩුව පතුරු ගසා තමන්ගේ ඇඟේ ගෑවී තිබූ කොළ පාට තීන්ත ටිකද සෝදා ගැනීමට උත්සාහ කළේය. ඒ අවස්ථාව උදාකර දුන්නේ වෙන කවුරැත් නොව ඒකාබද්ධ විපක්ෂයයි.
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ දේශපාලනික බලපෑම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය අසමත් වීම එයට හේතුවය. පාස්කු ප්‍රහාරය හේතුවෙන් කඩා වැටුණේ රටේ ආර්ථිකය පමණක් නොවේ. ආණ්ඩුවේ පැටිකිරියම කඩා වැටුණි. ඒ වෙලාවෙදී දේශපාලනික වශයෙන් ආණ්ඩුව තනිකොට පහර එල්ල කිරීමට වඩා ඒකාබද්ධ විපක්ෂය කළේ තෝරාගත් මුස්ලිම් නායකයන්ට එරෙහිව පහර එල්ල කිරීමය. රටේ ජාතික ආරක්ෂාව බින්දුවට වැටීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුවූ බවත් තමන්ගේ කාලයේ නම් මේවා සිදුවීමට ඉඩ නොදුන් බව පමණක් නොව ජාතික ආරක්ෂාව යළි ඇති කිරීම සඳහා තමන් බලයට ඒමට සූදානම් බවත් වැනි ප්‍රකාශද නිකුත් විය. ඒ වෙනුවට එම රටම කම්පා කළ අවස්ථාවේ සියලු දෙනා එක්වී කටයුතු කොට පසුව ආණ්ඩුව තනිකර විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණේය. ආණ්ඩුවට නොව රිෂාඩ් බදියුදීන් ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙනැවිත් ඒ හරහා ආණ්ඩුව වැට්ටවීම අරමුණ වුවත් ආණ්ඩුව ඊට වඩා ඉස්සර විය. කරුණු සොයා බැලීමේ තේරීම් කාරක සභාවක් පත් කළ ආණ්ඩුව රිෂාඩ් ඇමැතිට ඉල්ලා අස්වීමට ඉඩ හැරියේය. රිෂාඩ් සමඟ සෙසු සියලුම මුස්ලිම් ඇමැතිවරැන්ද අස්වීම හේතුවෙන් සියල්ල වෙනත් අතකට හැරැණි. ජවිපෙ රිංගුවේ ඒ හිඩැසෙනි.
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් ආණ්ඩුව වැටෙන්නේ නැති බව ජවිපෙ නොදන්නවා නොවේ. එහෙම වුණත් තමන්ගේ පතුරැ අරින ඒකාබද්ධ විපක්ෂයටත් පාඩමක් උගන්වමින් ආණ්ඩුවටත් හිතේ හැටියට පහර ගැසීමට ජවිපෙ විශ්වාසභංගය ගෙන ආවේය. එයින් පාර්ලිමේන්තුව ඇතුළේ ආණ්ඩුවට තවමත් බහුතරය නොවෙනස්ව පවතින බව ඔප්පු විය. සුළුජන පක්ෂවල සහාය ද තමන් සමඟ බවද ආණ්ඩුවට පෙන්විය හැකි විය. ඊළඟට පැහැදිලිවම ශ්‍රීලනිපයේ පිරිසක් ආණ්ඩුව සමඟ රහසිගත මෙහෙයුමක සිටින බවද හෙළි විය. ඡන්දය දීමට නොපැමිණි මන්ත්‍රී පිරිස අතුරින් අවම වශයෙන් කිහිප දෙනකු මේ වනවිට ආණ්ඩුව සමඟ තීරණාත්මක එකඟත්වයකට පැමිණ සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට නම් හොඳ සිග්නල් එකක් වන්නේ නැත.
විශ්වාසභංග යෝජනාව සමඟ වීදි පිරෙන පාද යාත්‍රා නමින් දින දෙකක ජනතා පෙළගැස්මක්ද සංවිධානය කළ ජවිපෙ එය අවසන් කළේ නුගේගොඩ පැවැත්වූ මහජන රැලියකිනි. පාද යාත්‍රාවටත් රුලියටත් ජවිපෙට සෑහීමකට පත්විය හැකි ජනතාවක් සහභාගි වී සිටි බවත් පෙනෙන්නට තිබිණි. ජනාධිපතිවරණය ටිකින් ටික ආසන්න වනවිට ජවිපෙ සමඟ රුඳී සිටින ඡන්ද පදනමටද සෑහෙන වටිනාකමක් ලැබෙන බව පැහැදිලිය.
ජනාධිපතිවරණය පෙනි පෙනී තිබියදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව වෙනුවට මුස්ලිම් දේශපාලන නායකයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම දේශපාලන වශයෙන් අවාසි සහගත කරැණක් වීමටද ඉඩ තිබේ. මහින්ද මෙහිදී නිහඬව සිටියද ඒකාබද්ධයේ සෙසු පක්ෂ නායකයෝ මෙහිදී ලොකු කාර්යභාරයක් ඉටු කරති. ඔවුන් සමඟ දේශපාලනය කරන භික්ෂූන් වහන්සේ කිහිප දෙනකුද මුස්ලිම් දේශපාලනඥයන්ට එරෙහිව සිදුකරන ප්‍රකාශ ජනාධිපතිවරණයට තීරණාත්මක බලපෑමක් කරන බව පෙනෙන්නට තිබේ. ඥානසාර හාමුදුරැවන් සහ රතන හාමුදුරැවන් කරන කියන දේවලින් ඈත් වී සිටීමට මහින්දලා ක්‍රියා කළත් විමල්ලා උදයලා එසේ සිටින්නේ නැත. දිනේෂ් මීට වඩා වෙනස් මගක යන බවක්ද පෙනෙන්නට තිබේ. විවිධ චෝදනා එල්ල වන මුස්ලිම් දේශපාලනඥයන්ට එරෙහිව ඔහු කෑගැසුවත් සෙසු කරැණු සම්බන්ධයෙන් දරන්නේ නිහඬ බවකි. ජනාධිපතිවරණයේ උණුසුම හේතුවෙන් එසේ හැසිරෙනවාද විය හැකිය.
මේ අතර තම ධූර කාලය ආරම්භ වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා අදහස් කරන බවට කතාවක් පසුගිය සතියේ පැතිර ගියේය. කෙසේ වුවද ඒ සඳහා උසාවියට ලිපි ලේඛන ඉදිරිපත් කරනු ඇතැයි සඳහන් වූ දිනයේ ජනාධිපති සිරිසේන මහතා ලංකාවේ සිටියේ නැත. කෙසේ වුවද එම ආරංචිය සම්බන්ධයෙන් වඩාත්ම කලබල වූයේ පොහොට්ටුව බව පෙනෙන්නට තිබේ. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම අදහසට තරයේම විරෝධය පෑමෙන් එම කලබලය එළියට ආවේය. ඔහු ප්‍රකාශ කළේ මෙය මේ වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ලබන වසරට කල්දා ගැනීම සඳහා යොදන උප්පරවැට්ටියක් බවත් තමන් එයට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බවත්ය. අවශ්‍ය වුවොත් තමන් උසාවියට යාමට වුවද සූදානම් බවත් ඔහු කීය.
මෙයින් පෙනෙන්නේ පොහොට්ටුව දැන් එක එල්ලේම ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් තම න්‍යාය පත්‍රය සකස් කරන බවය. ශ්‍රීලනිපය සමඟ පවත්වන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කර ලබන මාසයේ 10 වැනිදාට පෙර එකඟත්වයකට පැමිණීමට අදහස් කරන බව දැන් පොහොට්ටුවේ දෙවැනි පෙළ නායකයෝ කියති. මෙය ඔවුන් මීට කලින් දැරූ දැඩි ස්ථාවරය තරමක් ලිහිල් කිරීමක් බව බැලූ බැල්මට පෙනේ. කලින් ඔවුන් සිටියේ ශ්‍රීලනිපය සමඟ එවැනි කතාබහක් නොපැවැත්වෙන ගාණටය. තමන්ට ශ්‍රීලනිපය සමඟ ගනුදෙනුවක් අවශ්‍ය නැතැයි යන මට්ටමට කතා කරමින් සිටි පොහොට්ටුව ඔවුන් සමඟ සංවාදයක් පවත්වාගෙන යන බව පිළිගනියි. එහෙත් තමන් කුමන සන්ධානයකට ගියත් ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ අගමැති අපේක්ෂකයා නම් කරන්නේ තමන්ගේ පක්ෂයෙන් යන මතය ඔවුන් තවම වෙනස් කර නැත.
කෙසේ වුවද ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස කියන්නේ තමන්ගේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවය. පොහොට්ටුව කියන්නේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බවත් එය ලබන අගෝස්තු 11 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කරනු ඇති බවත්ය. එහෙත් ශ්‍රීලනිපය දිගින් දිගටම කියන්නේ මෛත්‍රීපාල මහතා ජනාධිපති අපේක්ෂකයා නොවන්නේ නම් තම පක්ෂය සන්ධානය හදාගෙන මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවය. එහෙම වුණොත් මොකද වෙන්නේ?
දැනට නම් එහෙම වෙන්න තිබෙන්නේ පුංචි ඉඩකඩකි. හැබැයි ඥානසාර හිමියන් නිදහස් කිරීමද ඉන්පසුව උන්වහන්සේ සිංහල ජාතික නායකයකු බිහිකර ගැනීමේ සටනක් අරඹා තිබීමද එහි ප්‍රධාන භූමිකාවක් ඉටුකිරීම සඳහා සිරිසේන මහතාට සමීප තිලංග සුමතිපාල මහනුවරට යාමද මේ කතාවේම කොටස් කිහිපයක් බව පෙනෙන්නට තිබේ. ඥානසාර හාමුදුරැවන්ගේ භූමිකාව මහින්දගේ පාර්ශ්වය විසින් මුළුමනින්ම අතහැර දමා ඇති තත්ත්වයක් තුළ හාමුදුරැවෝ මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීප වීමට ඇත්තේ ලොකු ඉඩකඩකි. එහෙත් එම සම්බන්ධය ජනාධිපතිවරණයේදී නම් වාසියකට වඩා අවාසියක් ගෙන දෙන බව පැහැදිලිය.
ජවිපෙ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිප මන්ත්‍රිවරැන්ගේ නොපැමිණීම වැදගත් වන්නේ මෙතැනදීය. පොහොට්ටුව දිගින් දිගටම තමන් නොසලකා හැරියොත් යූ.එන්.පී.යේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය දක්වන සන්ධානයක් හදාගෙන ඒ වේදිකාවට ගොඩවීමට ඔවුන්ගේ සැලැස්මක් තිබෙනවාද විය හැකිය. එවිට ඔවුන්ට ශ්‍රීලනිපයේ ඉඳගෙනම ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහාය දැක්වීමට අවස්ථාව තිබේ. රටේ තනිකරම සිංහල බෞද්ධ ඡන්ද පදනම කෙරේ පමණක් විශ්වාසය තබමින් ජනාධිපතිවරණයකට යනවා නම් පොහොට්ටුවට ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ගේ ඡන්දවල ඇති වැදගත්කම නොසලකා හැරිය නොහැක. ටී.එන්.ඒ. සහ මුස්ලිම් මැති ඇමැතින් තවමත් යූ.එන්.පී. අපේක්ෂකයා කෙරේ වැඩි විශ්වාසයක් තබා ඇති බව විශ්වාසභංග යෝජනාවෙන් පවා පෙනෙන තත්ත්වයක් තුළ දකුණේ සෑම ඡන්දයක්ම පොහොට්ටුවේ අපේක්ෂකයාට වැදගත් වනු ඇත.
කෙසේ වුවද මෙහිදී යූ.එන්.පී.යද දැන් සිටින්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හේතුවෙන් පක්ෂය කැළඹීමට ලක්ව සිටින අවස්ථාවකය. දැන් පෙනෙන්නේ කරැ ජයසූරිය ජනාධිපති අපේක්ෂක වශයෙන් සහ රනිල් වික්‍රමසිංහ අගමැති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වීමට පක්ෂයේ බලවත් කණ්ඩායමකගේ සැලැස්මක් ඇති බවය. නමුත් පක්ෂයේ වැඩි පිරිසකගේ ඉල්ලීම ඇත්තේ සජිත්ට බවත් එම ඉල්ලීම නිශ්ක්‍රීය කිරීම සඳහා රවි කරැණානායක ඉටුකරන කාර්යභාරයද වැඩක් නැති තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබේ. මේ වන විට රවී මංගලටද ප්‍රසිද්ධ සභාවල දොස් පවරමින් සිටී.
කොහොම වුණත් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනපති ධුරයට පත්වන තැනැත්තාගේ බලතලවලට වඩා අලුතින් පත්වන පාර්ලිමේන්තුවේ අගමැතිගේ බලතල වැඩිය. මේ බලතල ගැන අන් කවරකුටත් වඩා මහින්දත් රනිලුත් ගණං හදාගෙන සිටින බව නම් සහතිකය.
ශශීන්ද්‍ර