2019 ජුලි 20 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයේ කළු පැල්ලම් මකාදමමු

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 71

අද ජූලි මාසයේ 21 වැනිදාය. තවත් ආකාරයට එය මෙසේ පැවසිය හැකිය. මෙරට ඉතිහාසය උඩුයටිකුරු කළ පාස්කු ඉරිදා ප්‍රහාරයට තෙමසක් පිරෙන දවස අදයි වශයෙනි. සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ උණුසුම, සුවඳ ගිලිහී යන්නටත් මත්තෙන් අප්‍රේල් 21 වැනිදා සිදුවූ එම ප්‍රහාරය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූවෝ 263 දෙනෙක් වෙතියි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. තුවාල ලැබූ ජීවිත පිරිස 400කට වඩා අධිකය. ප්‍රහාරය හේතුවෙන් සියලුදෙනා මියගිය පවුල් 20ක් පමණ සිටින බවත් මියගිය පිරිස අතර විදේශිකයන් 43 දෙනකු සිටි බවත් සඳහන්ය. 

සිහිකිරීම පවා කොතරම් වේදනාත්මක වුවද මේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙන්නේ මේ රටේ ඉතිහාසයේ අඳුරැම දවසක යථාර්ථයයි. මියගිය පිරිස වෙනුවෙන් අප කොතරම් දුක්වුවද යළි ඔවුන්ට ජීවිතය ලබාදිය නොහැක. තුවාල ලැබූ පිරිස සැනසීමට අපට කොතරම් කරුණු කිවහැකි වුවද එයින් ලද වේදනාව විඳින්නේ ඔවුන්ය. තම පවුල්වල පිරිස් මරණයට පත්වීම නිසාත් බරපතළ ලෙස තුවාල ලැබීම නිසාත් දැඩි ලෙස සංවේගයට පත්ව සිටින සියලුදෙනා වෙනුවෙන් අපි යළිත් වාරයක් ශෝකය පළකිරීමට මෙය අවස්ථාවක් කරගන්නෙමු. වනේ වන හතුරකුටවත් මෙවන් විපතක් නොවේවා යැයි ඒ සමඟ ප්‍රාර්ථනා කරන්නෙමු. 

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙය වූ සහරාන් ඇතුළු මිලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිස මරණයට පත්වූ බව මේ වනවිට අපි දැන සිටිමු. ඔවුන්ට මෙවන් සාහසික, මිනිස් වර්ගයාට එරෙහි දරුණු අපරාධයක් කිරීම සඳහා ආධාර අනුබල ලබාදුන් පිරිසක් අත්අඩංගුවට ගනුලැබ සිටින බවද ඒ සමඟ සඳහන් වෙයි. මෙසේ මරාගෙන මැරුණු සහ අත්අඩංගුවට ගනුලැබූ පිරිසට අමතරව මේ සාහසික අපරාධයේ හවුල්කරුවන් වූ පිරිසක් එතෙර සිටින බවට ද තොරතුරු වාර්තා වී තිබිණි. ඒ සමහරුන් සිද්ධිය සම්බන්ධයෙන් නම කියවෙන දේශපාලන බලවතුන්ගේ සමීප ඥාතීන් බවද කියැවෙයි. එහෙත් ඒ අය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කිසිම තොරතුරක් වාර්තා වෙන්නේ නැත. අත්අඩංගුවට ගනු ලැබ සිටින පිරිස සම්බන්ධව සිදුකෙරෙන පරීක්ෂණ ගැනද රටේ ජනතාව දැනුවත් කෙරෙන්නේ නැත. වෙනත් අපරාධයක් මෙන් නොව මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාරයක සැකකරුවන් පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීම ආණ්ඩුවේ වගකීමක් බව මෙහිදී සඳහන් කළ යුතුය.

ප්‍රහාරයෙන් මාස 03ක් ගතවෙද්දීත් එහි පසුපස විදෙස් බලවේග සිටින බව කියද්දීත් එහි වගකිව යුත්තන් හරි හැටි හඳුනාගෙන සිටී ද යන්න පවා පැහැදිලි නැත. අප මෙසේ කියන්නේ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ ඇතැම් සැකකරුවන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන් හෝ සමඟ සබඳතා පැවැත් වූ බවට චෝදනා එල්ලවුණු ඇතැම් හිටපු මුස්ලිම් දේශපාලන බලවතුන්ට එරෙහිව රටේ ජනතාවට සෑහීමකට පත්විය හැකි විමර්ශන සිදුකෙරෙන බවක් පෙනෙන්නට නැති බැවිනි. කුමන ආකාරයක පරීක්ෂණ පැවැත් වූවත් ඒවායේ ප්‍රතිඵල පිළිබඳව රටේ ජනතාවට විශ්වාසයක් නැත්නම් එයින් පළක් නැත. මෙහිදී වඩාත්ම ප්‍රශ්න කිරීම්වලට ලක්වූ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු වී නැති බව රට හමුවේ කියන්නේ අග්‍රාමාත්‍යවරයාය. බදියුදීන් මහතාට එරෙහිව කිසිම චෝදනාවක් නැති හෙයින් ඔහුට සහ සෙසු මුස්ලිම් හිටපු මැතිඇමැතිවරුන්ට යළි ඇමැති ධුරවල දිව්රැම් දීමට බාධාවක් නැති බවද කියයි. එහෙත් ඔහුට එරෙහි පොලිස් පරීක්ෂණ සම්බන්ධ කිසිදු තොරතුරක් හෙළිදරව් කෙරෙන්නේ ද නැත.

එසේ සිදුවන විට පසුගිය මාස තුන ඇතුළත ආණ්ඩුවේ මුස්ලිම් දේශපාලනඥයන්ට එරෙහිව සිදුකෙරැණු සහ සිදු කෙරෙමින් පවතින විමර්ශන පිළිබඳව රටේ ජනතාව තුළ බලවත් සැකයක් හටගැනීම සාධාරණය. එසේම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින දේශපාලන මතගැටුම්වල බලපෑම මෙහි පරීක්ෂණ කටයුතුවලට බාධා පමුණවා ඇති බවද නොරහසකි. සියලු පරීක්ෂණ කටයුතු සාර්ථකව නිමකොට ඇති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන විට ජනාධිපතිවරයා කියන්නේ මරණ දඬුවම අහෝසි කිරීමෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වැරදිකරුවන් ද එල්ලුම් ගහෙන් බේරෙන බවය. ඇමැතිවරයා කිසිදු වරදක් කර නැතැයි අගමැතිවරයා ප්‍රකාශ කිරීමත් එල්ලුම් ගහට ත්‍රස්තප්‍රහාරය සම්බන්ධ කිරීමත් යන දෙකම රටේ ජනතාවට අදාළ නැත. ඔවුන් බලපොරොත්තු වන්නේ මේ දරුණු ත්‍රස්ත ක්‍රියාවට හවුල් වූ සියලු දෙනාටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වන දැකීමය. අඩුම තරමින් ප්‍රහාරයෙන් පීඩාවට පත් සියලු පවුල්වලට සාධාරණය ඉටුවනු දැකීමටය. ඒ සඳහා වන්දි ගෙවීම පමණක් ප්‍රමාණවත් නොවේ. යුක්තිය ඉටුවීමද අවශ්‍යය.

පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරීමේ චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබීමත් සිදුවූයේ පසුගිය සති දෙක තුළදීය. ඔවුන් නිදහස් කරමින් විනිසුරුවරිය සිදුකළ කරුණු දැක්වීම හොඳින් කියවා බලන ඕනෑම කෙනකුට පරීක්ෂණ සිදුවන ආකාරයේ පවතින අඩුපාඩු වටහා ගැනීම අසීරැ නැත. කවුරුන් හෝ අත්අඩංගුවට ගතයුතු නිසා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පමණක් ප්‍රශ්නයට විසඳුමක් නොවන බව එයින් තේරුම් ගත හැක. 

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම නිලධාරීන් කිහිපදෙනකු මත පමණක් රඳා පවතින්නක් නොවන බව රටේ ජනතාව හොඳින් දැනසිටිති. ජාතික ආරක්ෂාව සහ පක්ෂ දේශපාලනය එකිනෙක පටලවා ගත්විට පාස්කු ප්‍රහාරය වැනි දරුණු ත්‍රස්ත ක්‍රියා සඳහා අවශ්‍ය පසුබිම හැදෙයි. එවැනි සිද්ධියකට පසුව මොන විමර්ශන කෙරැවත් රටට සිදුවූ හානිය යළි සකස්කර ගැනීම පහසු නොවේ. ජනතාවගේ සිත් හැදීම ඊටත් වඩා අමාරුය. යළිත් එවැනි සිද්ධියක් ඇති නොවන සේ කටයුතු කිරීම රටේ පාලකයන්ගේ ද වගකීමය.