ගෝඨාභය රාජපක්ෂ පාලනය කෙසේ වෙයිද?
පසුගිය අප්‍රේල් මාසයේ අගදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ එළඹෙන 2019 ජනාධිපතිවරණයේදී තමා තරග කරන බවය. දි ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ස් යුනිට් විශ්වාස කරන්නේ එම තරගයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගැනීමට වැඩි ඉඩක් තිබෙන බවය. එසේ වූ විට බිහිවෙන ගෝඨාභය රාජපක්ෂගේ පාලනයේ සිදුවිය හැකි දේශපාලන සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් කෙසේ වනු ඇතිද? ඔවුන් ඒ පිළිබඳ ලිපියක් සකසා තිබේ. මේ එහි උපුටා ගැනීමකි. (එම ලිපිය දීර්ඝ එකක් බැවින් අප මෙහි පළ කරන්නේ උපුටාගත් කොටස් කිහිපයක් පමණි.)
ගෝඨාභය රාජපක්ෂ වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ රටේ පැවැති එල්.ටී.ටී.ඊ. සිවිල් යුද්ධය දිනාදුන් ආරක්ෂක ලේකම්වරයා වශයෙනි. එසේම රාජපක්ෂවරු සැලකෙන්නේ සිංහල ජාතිකත්වය මත පදනම් වූ ජනප්‍රිය ධාරාවේ දේශපාලනඥයන් වශයෙනි. මේ නිසා ගෝඨාභය ජයගැනීමෙන් පසුව රට තුළ සුළු ජන කොටස් විරෝධී දේශපාලනයක් ඇතිවීමට ඉඩ ඇතැයි බලාපොරොත්තු විය හැකිය. චීනය සමඟ පවතින සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇත.
එල්.ටී.ටී.ඊ.ය පරාජය කළ යුද්ධයේදී රාජපක්ෂවරුන් විසින් දැක්වූ ප්‍රමුඛ භූමිකාව හේතුවෙන් සිංහල බෞද්ධ ජනතාව අතර ඔවුන් මහත් සේ ජනප්‍රියය. එහෙත් ජනවාර්ගික සහ ආගමික වශයෙන් විශාල බෙදීමක් රටේ පැවතීම හේතුවෙන් සුළුතර ජනතාව යළිත් රාජපක්ෂවරයකු රටේ පාලනයට පැමිණීම සම්බන්ධයෙන් සැකමුසු වූ අදහස් දරණු ඇත.
අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය රටේ ආරක්ෂක සේවාවල කැපී පෙනෙන දුර්වලතා තිබූ බව හෙළි කළේය. එසේම විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර වර්තමානයේ පැන නැගී තිබෙන මතභේදකාරී තත්ත්වය විසින් රට කිසියම් අස්ථාවර තැනකට තල්ලුකර තිබේ. රාජපක්ෂවරැන්ගේ ජනාධිපතිවරණ වේදිකාවේදී රටේ දුර්වල වී තිබෙන ආරක්ෂක තත්ත්වය යළි ප්‍රතිස්ථාපනය කොට රටට ශක්තිමත් ආරක්ෂක සේවාවක් ලබාදීම ප්‍රධාන පොරොන්දුව වනු ඇත. ත්‍රස්තවාදයට එරෙහි රාජපක්ෂවරැන් දක්වන ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය එම පොරොන්දුවට ජවය ලබාදෙනු ඇත.
කෙසේ වුවද අප බලාපොරොත්තු වන ආකාරයට ඔහු ජයග්‍රහණය කොට යළි රාජපක්ෂ පාලනයක් පැමිණීමෙන් රටේ සමාජයීය ස්ථාවරභාවයට හානියක් සිදුවීමට ඉඩ තිබේ. සුළුජන දේශපාලනයට එරෙහිව ව්‍යාපාර ඇතිවීම සඳහා ඔහු බලයට පැමිණීම හේතුවක් කර ගැනීමට ඉඩක් පැවතීම ඊට හේතුවය. දැනටම රටේ පවතින දේශපාලන අස්ථාවර භාවයට එය විශාල අවදානමක් වීමටද ඉඩ තිබේ. සුළු ජන ප්‍රජාව සමඟ සබඳතා දුරස්වීම ඒ නිසා සිදුවිය හැකිය.
රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සහ සුළු ජනවර්ගවලට අගතිගාමී වන ලෙස ක්‍රියාකිරීම සම්බන්ධ චෝදනා හේතුවෙන් බටහිර සමඟ ශ්‍රී ලංකාව පවත්වන සබඳතාවලට පහර වැදීමට ඉඩ තිබේ. ගෝඨාභය මහතාට එරෙහිව දැනටමත් අමෙරිකාවේ නඩු ගණනාවක් පවරා තිබේ. ඔහු ජයග්‍රහණය ලැබීමෙන් පසුව එරට සංචාරයේ යෙදීමට ඔහුට බාධා පැමිණෙනු ඇත. එසේම එක්සත් ජාතීන් විසින් යළිත් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් නිල විමර්ශන අරඹන්නැයි පීඩනය එල්ල කරනු ඇත. එහෙත් රැසියාව සහ චීනය විසින් එවැනි කුමක් හෝ නිල ක්‍රියාමාර්ගයක් ගැනීමට තිබෙන ඉඩකඩ වසා දමනු ඇත.
චීනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංවර්ධන සහකරැවකු බැවින් දකුණු ආසියානු කලාපයේ ඔවුන්ගේ බලපෑම වැඩිවීමද බලාපොරොත්තු විය යුතුය. චීනය සමඟ සබඳතා ඉහළ යාම හේතුවෙන් ඉන්දියාව සමඟ පවතින සබඳතා යට යාමක්ද අපේක්ෂා කළ හැකිය. ගෝඨාභය රාජපක්ෂගේ පාලනය චීනය සමඟ ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමද කැපී පෙනෙනු ඇත. 2018 දී ඒකපුද්ගල ආදායමෙන් 79%ක ණය බරක් තිබූ ශ්‍රී ලංකාවට මේ තත්ත්වය හේතුවෙන් තවදුරටත් ණයබර ගැටලුවක් වීමට ඉඩ තිබේ.
කෙසේ වුවද ගෝඨාභයගේ පාලනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සිදුකළ හැකි හානිය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම අවශ්‍යය. ඔහු සමඟ බැඳී පවතින හමුදා පසුබිම එයට හේතුවය. පුවත්පත් ඇතුළු මාධ්‍ය සම්බන්ධයෙන් වඩාත් දැඩි රාජ්‍ය පාලනයක් ඇතිවීමටද ඉඩක් තිබෙන බව අපගේ අදහසය. මේ සම්බන්ධයෙන් තමන්ගේ සොහොයුරාට වඩා වෙනස් මඟක තමන් යන බවට ඔහු දැනටම ඉඟි කර තිබේ.
- දි ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ස් යුනිට්