මේ කවුද? මොනවද කරන්නේ? මේ වැකිය ලොකු රතු අකුරින් ලියැවුණු පෝස්ටරයක් 1988 දෙසැම්බර් 19 වැනිදාට නියමව තිබූ ජනාධිපතිවරණයට නාම යෝජනා ලබාදුන් දාට පසුවදා මුළු රටපුරාම ඇළ වී තිබුණේය. දකුණේ භීෂණයෙන් රටම හෙල්ලී තිබූ ඒ කාලයේ හැටියට මෙය විශ්වකර්ම වැඩක් විය. මේ පෝස්ටරයෙන් අරමුණු කරගත් දේ ඉටුකර දුන්නේ ඒ කාලයේ රටේ ලොකු අලෙවියක් තිබූ වාමාංශික පත්තරයකි. එහි මෙසේ සඳහන් විය.
මේ කවුද? ප්‍රේමදාස
මොනවද කරන්නේ? තවත් පුම්බන්නයි හදන්නේ.
දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ පුවත්පත ඉටුකරදී තිබුණේ ප්‍රේමදාස මහතාගේ කැම්පේන් එක භාරව සිටි පුද්ගලයන්ගේ අවශ්‍යතාවයයි. එම පෝස්ටරය සමඟ වැඩ ඇරුඹූ ප්‍රේමදාස මහතා අවසානයේ ජනාධිපතිවරණය ජයගෙන කොටින් විසින් ඝාතනය කරන තුරු රට පාලනය කළේය. ඔහු සමඟ කැම්පේන් එකට එක්ව සිටි යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් වූ ලලිත් සහ ගාමිණී ද පසුව කොටින් විසින්ම ඝාතනය කිරීම ද මෙරට දේශපාලනයේ ඉතාම සංවේදී අවස්ථා වශයෙන් ඉතිහාසයට එක් වී තිබේ. එම සිදුවීම හේතුවෙන් මෙරට ජාතික නායකයෝ තිදෙනෙක්ම රටට අහිමි වීම දැරිය නොහැකි පාඩුවක් විය.
දැන් එල්.ටී.ටී.ඊ. තර්ජනයක් නැත. එහෙත් මීළඟ ජනාධිපතිවරණයේදී යළිත් ජාතික ආරක්ෂාව ප්‍රධානම මාතෘකාව වන බවට ලකුණු පහළ වෙමින් තිබේ. එසේම ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරණ අපේක්ෂකයකු හැටියට ඉදිරියෙන්ම සිටින නමක් වන්නේ ආර්. ප්‍රේමදාස මහතාගේ පුතු සජිත් ප්‍රේමදාසය. ඒ සමඟ රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරියගේ නම් ද ප්‍රබල ලෙස මතුවෙමින් තිබේ. යූ.එන්.පී.ය සම්බන්ධයෙන් සලකන විට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුගේ සහ පක්ෂයට සහාය දක්වන ප්‍රබලයන් ගණනාවකගේ සහාය රනිල්ට සහ කරැට ලැබෙන බව පෙනෙන්නට තිබේ. සජිත් සම්බන්ධයෙන් යූ.එන්.පී.යේ පසුපෙළ මන්ත්‍රීන්ගේ සහ නාගරික නොවන ගම් මට්ටමේ - බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ දැඩි උනන්දුවක් පවතින බව පැහැදිලිය. මේ දෙපාර්ශ්වයම මැදින් සිටින හරීන් ප්‍රනාන්දු වැනි ඇමැතිවරු ද සජිත් ජනපතිවරණයේ අපේක්ෂකයා විය යුතු බවට වන සටනේ කොටස්කාරයකු වීම යූ.එන්.පී.ය ඇතුළේ බරපතළ මත ගැටුමකට පාර කපන බව පෙනෙන්නට තිබේ.
මේ කවුද.... මොනවද කරන්නේ සටන් පාඨය සමඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් වේදිකාවට ගොඩවීමට පෙර ආර්. ප්‍රේමදාස මහතාද මෙවැනිම ව්‍යාකූල අවස්ථාවකට මුහුණ දුන්නේය. ඔහුට අපේක්ෂකත්වය දෙනවාට යූ.එන්.පී.යේ ප්‍රබල පිරිසක් විරැද්ධ වූහ. එහිදී ප්‍රේමදාස මහතා සමඟ රැඳී සිටි දැවැන්තයන් වූයේ ලලිත් සහ ගාමිණීය. කෙසේ වුවද එවකට රටේ ජවිපෙ භීෂණය දකුණේත් කොටි භීෂණය උතුරේත් ක්‍රියාත්මක වෙමින් පැවැති වාතාවරණයක ආර්. ප්‍රේමදාස මහතා භාරගත් අභියෝගයට පොලු දැමීමට පක්ෂයේ කිසිවකුත් එළිපිට සිටියේ නැත. ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය පමණක් නොව ඡන්දය ප්‍රකාශ කිරීමද සිදුවූයේ දැඩි භීෂණකාරී වාතාවරණයක් මැදය. ප්‍රේමදාස මහතා ජයගත්තේ 50.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි.
එහෙත් අද තත්ත්වය එදාට වඩා හාත්පසින්ම වෙනස්ය. අද දකුණේ හෝ උතුරේ භීෂණයක් නැත. අප්‍රේල් 21දා ප්‍රහාරය සිදු නොවන්නට මේ වනවිටද ජනාධිපතිවරණ සටන් පාඨ වශයෙන් විපක්ෂයට තිබුණේ බැඳුම්කර මගඩිය, රටේ සම්පත් විකිණිම වැනි සිල්ලර සටන් පාඨයි. එහෙත් ඊට වඩා ශක්තිමත් රාජපක්ෂලාට දෝතින් වැළඳ ගත හැකි සටන් පාඨයක් පාස්කු ඉරිදා ප්‍රහාරය මගින් නිර්මාණය කරනු ලැබීය. එනම් රටේ ජාතික ආරක්ෂාව බින්දුවට බැහැලා යන්නයි. මහින්දලාගේ පොහොට්ටුව මගින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට නියමිතව සිටින ගෝඨාභයටද මේ තත්ත්වය අන් කවරකුටවත් වඩා සමීපය. රටේ ආරක්ෂාව ඔහුගේ ප්‍රියතම දේශපාලන මාතෘකාව බව නොදන්නා කෙනකු නැත. මේ බව යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන්ද හොඳින්ම දැන සිටිති.
එසේ වුවද යූ.එන්.පී.ය මේ අවස්ථාවේදී පවතින දේශපාලන පසුබිම පිළිබඳව පැහැදිලි අවබෝධයකින් තීරණ ගන්නා බවක් පෙනෙන්නේ නැත. එදා 1988 දෙසැම්බරයේදී ආර්. ප්‍රේමදාසට අපේක්ෂකත්වය නොදුන්නා නම් යූ.එන්.පී.යට අත්වෙන්නට තිබුණේ පරාජයයි. ඊට හේතුව ප්‍රේමදාස තම නිවාස වැඩපිළිවෙළ සහ උදාගම් හරහා රටේ පොඩි මිනිහාගේ කැමැත්ත දිනාගෙන සිටීමය. ඔහුට වැටුණු පෞද්ගලික ඡන්ද* ප්‍රමාණය විශාල විය. එයින් ප්‍රේමදාසත් දිනා යූ.එන්.පී.යත් දිනුවේය. ඊට පසුව සිදුවූ දේවල් වෙනම කතා කළ යුතුය.
වර්තමානයේ පවතින්නේ එදා තත්ත්වය නොවේ. අද ලෝකයම වෙනස් වෙමින් තිබේ. මේ වෙනස්වීමේ ප්‍රවණතාවට ශ්‍රී ලංකාවට හසුවෙමින් සිටී. ජනතාවගේ සිතුම් පැතුම් බලාපොරොත්තු බොහෝදුරට වෙනස් වී තිබේ. විශේෂයෙන් තරැණ පරපුරේ ඕනෑ එපාකම් එදා සමඟ බලන විට අහසට පොළොව මෙනි. ඒ අනුව බැලුවොත් සජිත් තම පියා ගත් මග අනුගමනය කරමින් සිදුකරගෙන යන නිවාස හදාදීමේ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් තුරුම්පුවක් වනු ඇතිද යන ප්‍රශ්නය ඉතිරි වෙයි. එක් දේශපාලන විචාරකයකු මෑතකදී ප්‍රකාශ කර තිබුණේ සජිත්ගේ වැඩපිළිවෙළ අනුව මේ රටේ නිවාස ප්‍රශ්න විසඳීමට තව දශක ගණනක් ගියත් නොහැකි වන බවය. කළ යුත්තේ රටේ පොදු ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරදීමෙන් ඔවුන්ට තමන්ට කියා ගෙයක් හදාගැනීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම බවය. එසේම සජිත්ට එරෙහිව යූ.එන්.පී. ඇතුළෙන්ම ක්‍රියාත්මක ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කියන්නේද ගෙයක් හදාදීමෙන් ඡන්ද ගත් කාලය දැන් අවසන් වී ඇති බවත් තමන් අහවලාගේ පුතා යැයි කී පමණින් ඡන්ද ලැබෙන්නේ නැති බවත්ය. හැබැයි කවුරුන් කෙසේ කිව්වත් කිසිවක් කර කියා ගත නොහැකි කෙනෙකුට ගෙයක් සාදාදීම වැරදි බව කාටවත් කියන්න බැරිය. එසේම එම නිවාස වැඩපිළිවෙළ හරහා සජිත් රටේ අඩු වරප්‍රසාදලාභී පවුල් අතරේ ජනප්‍රියත්වය දිනා සිටින බවද එහි වාසිය යූ.එන්.පී.යට ලැබෙන බවද වසන් කළ නොහැකි සත්‍යයකි. ජනාධිපතිවරණයකදී අර්ධ නාගරික සහ ග්‍රාමීය මට්ටම්වල ඡන්දවලට තීරණාත්මක බලපෑමක් කළ හැකි බව යූ.එන්.පී.ය දැන සිටීම අවශ්‍යය.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමේ සටනේදී තම පියා මෙන් කටයුතු කළ නොහැකි බව සජිත් නොදන්නවා නොවේ. එය යුග දෙකක වෙනසකි. එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්ම වාතාවරණයකි. මේ නිසාම සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම පහසු වන්නේ නැත. එය කළ හැක්කේ පක්ෂයේ ඇතුළින්ම පැන නැගෙන ප්‍රබල බලවේගයකින් සහ ගමේ යූ.එන්.පී. පාක්ෂිකයා නැගිටීමෙන් පමණක් බව පැහැදිලිව පෙනෙන සත්‍යයයි. මේ බලවේගය කවදා කෙසේ හිස ඔසවනු ඇතිදැයි දැන්ම පැවැසීම නම් පහසු නැත. ඒ කොහොම වුවත් ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කර ලෙස යූ.එන්.පී. මන්ත්‍රීවරුන්ට පාක්ෂිකයන්ගෙන් කෙරෙන ඉල්ලීම් එන්න එන්නම වැඩිවෙන බව සඳහන් වෙයි. මේ නිසා වහාම කෘත්‍යාධිකාරී කමිටුවේ රුස්වීමක් කැඳවා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නැයි එම මන්ත්‍රීවරැන් යූ.එන්.පී. නායකත්වයට දැනුම් දී ඇතැයිද කියති. කෘත්‍යාධිකාරී කමිටුවේ වැඩිම බලය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහටය. සජිත්ගේ අපේක්ෂකත්වයට එරෙහිව දැඩි මතයක් ගෙන යන රවි කරැණානායකද රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ජ්‍යෙෂ්ඨයකු බවද ප්‍රකටය.
යූ.එන්.පී.යේ ජනාධිපතිවරණ අපේක්ෂක අර්බුදය මෙසේ ටික ටික එළිපිටම කෙරෙන සටනක් බවට පත්වෙද්දී මහින්දලාගේ පාර්ශ්වය කටයුතු කරන්නේ නිහඬව බව පෙනෙන්නට තිබේ. ලබන 11 වැනිදා අපේක්ෂකයා කවුරුදැයි ප්‍රකාශයට පත් කිරීමටත් ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) පක්ෂ සමුළුවක් කැඳවන බවත් ප්‍රකාශ වී තිබේ. දැනට පොහොට්ටුවේ නොනිල නායකයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ එදින නිල වශයෙන් එහි නායක පදවිය ලබා ජනාධිපති අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත් කරන බව සඳහන් වෙයි. මෙහිදී ප්‍රකාශ වන නම ගෝඨාභය රාජපක්ෂගේ නම මිස වෙනත් නමක් නොවන බව මේ වනවිට සැකයකින් තොරවම ප්‍රසිද්ධියට පත්ව තිබේ. එහෙත් ඒ ගැන පක්ෂය ඇතුළේ මතභේද පවතින බවද කියැවෙයි. ජනාධිපතිත් රාජපක්ෂ, අගමැතිත් රාජපක්ෂ, තවත් ඇමැතිවරැත් රාජපක්ෂලා වනු ඇතැයි ගණන් හදන සමහරැ තමන්ට යන කලදසාව කුමක්දැයි විමසති. විශේෂයෙන් දිනේෂ් ගුණවර්ධන වැනි ජ්‍යෙෂ්ඨ නායකයන් තුළද ජනාධිපති ධුරයට හෝ අගමැති ධුරයට හෝ තරග කිරීමට තිබෙන කැමැත්ත සැඟවිය හැක්කක් නොවේ. ඒකාබද්ධ විපක්ෂයේ වෙනත් පක්ෂ නායකයන් තුළද එවැනි බලාපොරොත්තු නැතුවා විය නොහැක. මේ සියල්ල බැලන්ස් කිරීම පවතින්නේ මහින්දගේ අතේය.
ජනාධිපතිවරණයට ජවිපෙන්ද වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවද ප්‍රකාශයට පත් වී තිබේ. ඔවුන්ද දැන් සිටම ඒ සඳහා සූදානම් වන බවද පෙනෙයි. පරණ කට්ටිය පිළිබඳ දැඩි කලකිරීමකින් සිටින රටේ තරැණ පරපුරේ කැමැත්ත දිනාගත හැකි අපේක්ෂකයකු ඔවුන්ට ඉදිරිපත් කළ හැකි නම් එය යූ.එන්.පී. සහ පොහොට්ටුව යන දෙපක්ෂයටම අභියෝගයක් වෙයි. ජවිපෙ අපේක්ෂකයා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව මේ දෙපාර්ශ්වයටම 50% ඉක්මවා ඡන්ද ලබාගැනීමට බාධකයක් සේ ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ ඊට හේතුවෙයි. පොහොට්ටුවට ශ්‍රීලනිපයේ ඡන්ද වැදගත් වනු ඇත්තේ මෙවැනි අවස්ථාවකය. කලින් දැඩි ලෙස ශ්‍රීලනිපය සමඟ සන්ධානයක් අවශ්‍ය නැතැයි කිව් අය දැන් සන්ධානයකට අකැමැති නැති බව කියන්නේද එනිසා විය යුතුය.
මෙහිදී අනෙක් තීරණාත්මක සාධකය වන්නේ ටී.එන්.ඒ. ප්‍රමුඛ දෙමළ ඡන්ද සහ මුස්ලිම් ඡන්දයි. රාජපක්ෂවරයකු බලයට පැමිණීමට තමන් සහාය නොදක්වන බව ටී.එන්.ඒ. ඇතැම් ජ්‍යෙෂ්ඨයන් කියා තිබේ. එහෙත් මුස්ලිම් ඡන්ද තවමත් පවතින්නේ නිශ්ක්‍රීය වූ තත්ත්වයකිනි. ඡන්දයට දින ළං වනවිට මේ සියලු දේ කනපිට පෙරළී &මේ කවුද.... මොනවද කරන්නේ* කියා අසන අපේක්ෂකයකු බිහිවීමටද බැරිකමක් නැත.
- ශශීන්ද්‍ර