මහ ඡන්දයක ඉව දැනෙන විට කහඹිලියා ගෑවුණු විටකදී මෙන් පුදුම කැසිල්ලක් හැදෙන පිරිසක් අපේ රටේ වෙසෙති. ඒ වෙන කවුරැවත් නොව අපේ මහජන මන්ත්‍රීවරැන්ය. මේ කැසිල්ල හටගත්තේ ඡන්දයේදී අල්ලා ගන්නා පැත්ත ගැන හරිහමං තීන්දුවක් ගැනීමට අවස්ථා එළඹෙන බැවිණි. එය තමන් නියෝජනය කරන පක්ෂය හෝ සන්ධානය හෝ පරදින ලකුණු පහළ වන විටදීත් එසේත් නැත්නම් ප්‍රධාන පක්ෂවල හැලහැප්පීම් හේතුවෙන් යනඑනමං නැති වන තත්ත්වයකදීත් සිදුවිය හැකිය. ඇතැම් විට පැහැදිලි හේතුවක් නොමැතිව විශේෂ වරදාන සහ වරප්‍රසාද බලාපොරොත්තුවෙන්ද කැසිල්ල හටගනී. මේ ලෙඩේට ඇත්තේ එකම බෙහෙතකි. එනම් කෙසේ හෝ පැත්ත මාරැකර තමන්ට වාසි හයිය අත්තේ එල්ලීමය. දැන් මේ පිල්මාරැවට කාලය එළඹෙමින් තිබෙන බව මෙවර අපගේ දේශය ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළිදරව් කර තිබේ.
මීළඟට නියමිතව තිබෙන ප්‍රධාන මැතිවරණය ජනාධිපතිවරණයයි. තවම ඊට දින නියම කිරීමක් සිදුවී නැත. ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුදැයි කියාවත් හරියට දන්නේ නැත. ඒ පිළිබඳ ඇත්තේ නාමමාත්‍රික සඳහනක් පමණි. එහෙත් වැල යන පැත්තට මැස්ස ගහන්න දක්ෂ මැතිඇමැතිලාට දැනුත් ප්‍රමාද වැඩි වී දැයි දැනෙනවා විය හැකිය. පිල්මාරු කිරීම් වෙනත් රටවල දේශපාලන ක්‍රියාවලිය තුළද දැකගතහැකි වුවත් අපේ රටේ තරම් නිර්ලජ්ජිත ආකාරයකට එය සිදුනොවන බව අතීත අත්දැකීම් පෙන්වා දෙයි. ඉදිරියේදී ද සිදුවීමට ඉඩඇත්තේ ඒ ක්‍රියා පිළිවෙළම විය හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ පක්ෂ දේශපාලනයේ පිල්මාරු කිරීම මහවිශාල වැරැද්දක් නොවේ. තමන්ගේ හෘද සාක්ෂියට අනුව තමන් සිටින දේශපාලන පක්ෂය තුළ කටයුතු කළ නොහැකි නම් හොඳම විසඳුම එම පක්ෂයෙන් ඉවත් වීමය. එසේ ඉවත් වී තවදුරටත් දේශපාලන ක්ෂේත්‍රය තුළ රැඳීසිටිමින් රටට සහ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය නම් තමන්ට ගැලපෙන දේශපාලන පක්ෂයකට හෝ සන්ධානයකට හෝ එකතු වී එම සමාජ වගකීම ඉටුකළ හැකිය. මෙසේ සිදුවූ අතීත උදාහරණ ඕනෑතරම් තිබේ. එහෙත් එය සිදුවිය යුත්තේ වරදාන, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් හෝ කොමිස් කුට්ටි කඩාගැනීමට තිබෙන අවස්ථා ඩැහැගැනීමේ හෝ චේතනාවෙන් නම් නොවන බව පෙන්වාදිය යුතුය. අපේ රටේ පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම දැනගන්නට ලැබුණේ පිල්මාරු කිරීම් පිටුපස විශාල මුදලක් දොළපිදේනි වශයෙන් ලබාදී ඇති බවය. එවැනි පිල්මාරැ කිරීම් ප්‍රතිපත්තිමය දේශපාලනයට සපුරා විරුද්ධය. එම ක්‍රමය තුළ ඇත්තේ ජනසමාජයට රටට සේවය කිරීමේ අව්‍යාජ උවමනාවක් නොව තමන්ගේ පරම්පරාව ගොඩදා ගැනීමේ උවමනාවකි. තමන් එතෙක් සිටි පක්ෂයට පමණක් නොව රටට ද මොකක් වුණත් මට මොකද මම ඉල්ලන දේ ලැබෙනවා නම් යන ආකල්පය පෙරදැරි කරගෙන සිදුකරන පිල්මාරැ කිරීම් ඕනෑම දේශපාලන පක්ෂයකට අවනම්බුවකි. මන්ත්‍රීවරැන්ගේ ගරැත්වය අවලස්සන කරන මන්ත්‍රී පදවියේ පිළිගැනීමට හානි සිදුකරන ක්‍රියාවකි. එවැනි පිල්මාරැ කිරීම්වල අවසානයක් දැකිය යුතුය. නැතහොත් පවතින මේ ක්‍රමය පිළිබඳව තරැණ පරපුරේ කලකිරීම උත්සන්න වී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් බැහැර වීමට ඉඩතිබේ.
මෙරට පක්ෂ දේශපාලනය පිල්මාරු කිරීමේ කළු පැල්ලමින් වැසීයාමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ පවතින ඡන්ද ක්‍රමයේ අඩුපාඩු බව ඒ සමඟ පෙන්වා දීමට කැමැත්තෙමු. මන්ත්‍රීවරුන් එක් පක්ෂයකින් තවත් පක්ෂයකට මාරුවීම පාර්ලිමේන්තුව තුළ බල තුලනය කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන සාධකයකි. කිසියම් බල පොරයකදී මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට* පවතින හැකියාව නීතිමය වශයෙන් අභියෝගයට ලක්කිරීමට තිබෙන ඉඩකඩ ඉතාම පටුවීම හේතුවෙන් ජනතා පරමාධිපත්‍යය බරපතළ හෑල්ලුවීමකට ලක්වෙමින් තිබේ. අප මේ කියන්නේ රටේ ජාතික ප්‍රශ්නයකදී එකතු වී වැඩ කළ යුතු අවස්ථාවක දී මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම පිළිබඳව නොවේ. එසේම ප්‍රතිපත්තිමය හේතූන් මත වරදාන සහ වරප්‍රසාදවලට යටනොවී අවංකව සිදුකරන පිල්මාරැ කිරීම් ද නොවේ. යටින් නොයෙක් ඩීල් දාගෙන තමන් බලයට පත්කළ ජනතාවට ද කොකා පෙන්වා සිදුකරන දේශපාලන කරණම් ගැසීමය. ඒවා සිදුනොවිය යුතුය. එවැනි පිල්මාරැ කිරීම් නීතියෙන්ද තහනම් කළහැකි නම් මේ බඩගෝස්තරවාදී දේශපාලනයට තිතක් තැබීමට පාර කපාගත හැකිය. එහෙත් එවැන්නකට අපේ රටේ පවතින දේශපාලනය තුළ නම් ඉඩක් තිබෙන බවක් තවම පෙනෙන්නට නැත.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සෑහෙන තරමින් කැපීම් කෙටීම අවශ්‍ය බව මේ පසුබිමේ පවතින තිත්ත ඇත්තය. සැබෑ සංශෝධන ගෙනෙමින් ව්‍යවස්ථාව වෙනත් කෙරෙන්නේ නම් මේ නිර්ලජ්ජිත පිල්මාරැ දේශපාලනය තිත තැබීම සඳහා ද අලුත් නීති හඳුන්වාදිය හැකිය. අප මේ කියන්නේ ඡන්දයක් අභියසදී සිදුකෙරෙන සන්ධාන ගැසීම් සම්බන්ධයෙන් නොවන බව පැහැදිලිව සඳහන් කරමු. කිසියම් ප්‍රතිපත්තිමය එකඟතා අනුව විවිධ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සන්ධාන ගතවීම ස්වාභාවික දේශපාලන සංසිද්ධියක් මිස දේශපාලන කරණම් ගැසීමක් නොවේ. බඩ වඩාගැනීමේ පිල්මාරැවේ සහ ප්‍රතිපත්තිමය පිල් මාරුවේ වෙනස හරිහැටි හඳුනාගැනීම අවශ්‍යය.
දේශපාලන බලය ලබාගැනීමේදී සහ තිබෙන බලය රුකගැනීමේදී මේ රටේ ඇතැම් මන්ත්‍රීවරැන් ක්‍රියා කරන්නේ රටේ හෙට දවස සම්පූර්ණයෙන් අමතක කර දමමිනි. නැවැත්විය යුත්තේ එවැනි මන්ත්‍රී පිල්මාරැ කිරීම්ය. ඒ සමඟ කිවයුතු වන්නේ කොතරම් සිත් රිදීම්, මදි පාඩුකම් සිදුවුවද ඒ සියල්ල විඳ දරාගනිමින් තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති පාවානොදී එතැනම රුඳීසිටින අවංක දේශපාලනඥයන් ද මේ රටේ සිටින බවය. අපේ රටේ දේශපාලන සදාචාරය මේ තරම් හෝ රුඳී පවතින්නේ එවැනි මන්ත්‍රීවරැන් නිසා බව සඳහන් කරන්නේ ඔවුනට හරසර පිණිසය.