2019 ජුලි 27 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

යූ.එන්.පී. - ශ්‍රී.ල.පො.පෙ. - ශ්‍රීලනිප තිරය පිටුපස කතා

පළාත් සභා ඡන්දයක් පැවැත්වීමට ඇති ඉඩකඩ ඇහිරී යමින් තිබියදී මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් පිළිබඳ විවිධ කතා පැතිර යමින් තිබේ.

මෙහිදී ප්‍රධානම පක්ෂ වන යූ.එන්.පී. සහ ශ්‍රී.ල.පො.පෙ. (පොහොට්ටුව) අනුමාන අපේක්ෂකයන් පිළිබඳ පැතිරෙන කතා වඩාත් කැපී පෙනෙයි. කාලයක් ශක්තිමත් පක්ෂයක් වූ ශ්‍රීලනිපය තම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබුණද එය සිදුවීමට තිබෙන ඉඩකඩ හීනවෙමින් පවතී. මේ හේතුවෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් යූ.එන්.පියට හෝ පොහොට්ටුවට සම්බන්ධ වීමට තිරය පසුපස කතා අරඹා තිබේ.

මෙහි නවතම නැම්ම වී ඇත්තේ යූ.එන්.පී. ඇතුළේය. යූ.එන්.පී. ප්‍රධාන පක්ෂය වශයෙන් නම් කරමින් ගොඩනැගෙන පුළුල් සන්ධානයක් සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. එහි එක් යෝජනාවක් වන්නේ එකී නව සන්ධානයේ නාමය යටතේ අලුත් ලකුණකින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමය. කතානායක කරැ ජයසූරිය මහතාගේ නම ඊට යෝජනා වී තිබේ.

මේ පියවර ගැනීමෙන් තේරැම් ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතා යූ.එන්.පී. නායකයා වශයෙන් දිගටම රැඳී සිටිනු ඇති බවය. යූ.එන්.පී. ආරංචි මාර්ග සඳහන් කළේ ගත හැකි පියවර ගණනාවක් පිළිබඳව සැලකිල්ලට භාජනය කරන ලද බවත් ඒ ගැන ස්ථිර තීන්දුවක් තවම නොගත් බවත්*ය. පක්ෂයේ ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ රටේ ජනාධිපතිවරයා හැමවිටම පක්ෂයේ නායකයා විය යුතු බවයි.

යූ.එන්.පී. ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළේ වරක් ජනාධිපති අපේක්ෂක වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද මෙවර අපේක්ෂකයා වීමට තිබෙන ඉඩකඩ ද බැහැර කළ නොහැකි බවය. කෙසේ වුවද ජනපති පොරයට පැමිණියද ඔහු තරග කරන්නේ කෙසේදැයි යන්න පැහැදිලි නැත.

සන්ඩේ ටයිම්ස්

ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිකම

අමෙරිකානු පුරවැසිභාවය අත්හළ පුද්ගලයන් පිළිබඳ තොරතුරැ දැක්වෙන අමෙරිකානු IRS ප්‍රකාශනයේ අගෝස්තුවේ නිකුත් වීමට නියමිත නාමලේඛනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් වීමට ඉඩ තිබේ. IRS (International Revenue Service) ප්‍රකාශනය මාස 03කට වරක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කෙරේ. අදාළ කාලසීමාව තුළ අමෙරිකානු පුරවැසිභාවය අත්හළ පුද්ගලයන්ගේ නම් එම ලැයිස්තුවේ සඳහන් වෙයි.

මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා තමා තවදුරටත් අමෙරිකානු පුරවැසියකු නොවන බව ඔප්පු කළ යුතු වෙයි.

පසුගිය මාර්තු 31 වැනිදා දක්වා කාලය වෙනුවෙන් නිකුත් කරන ලද IRS ප්‍රකාශනයේ ගෝඨාභයගේ නම ඇතුළත් වී නොතිබීම ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ පවතින සැලසුම් ගැන සැකයක් මතුකර තිබේ. අමෙරිකානු පුරවැසිභාවය අවසන් කර තිබුණා නම් ලැයිස්තුවේ එම නම ලේඛනගතව තිබිය යුතු විය.

පසුගිය මැයි 13 වැනිදා අමෙරිකානු දේශීය ආදායම් ඒජන්සිය (IRS) මගින් ලැයිස්තුගත කළ පුරවැසිභාවය අත්හැරීමට තීන්දු කළ පුද්ගලයන්ගේ මාස තුනේ ප්‍රකාශනයේ* රාජපක්ෂගේ නම සඳහන් නොවීම හේතුවෙන් ඔහු අමෙරිකානු පුරවැසියකු ද නැද්ද යන්න පිළිබඳ ව්‍යාකූල බවක් මතු විය. අමෙරිකානු ආදායම් බදු නීතිවලට අනුව පුරවැසිභාවය අත්හැරීම එහි ලේඛනගත වී තිබිය යුතුය.

ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය පිළිබඳ ව්‍යාකූලත්වයට ඔහු විසින් වරින් වර සිදුකළ ප්‍රකාශ ද හේතු වී තිබේ. 2015 ජූලි 15 වැනිදා රූපවාහිනී සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ අමෙරිකානු පුරවැසිකම අත්හැරීම සඳහා වන ලියකියැවිලි භාර දී ඇති බවයි. ඊළඟට 2018 පෙබරවාරි 13 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහු සඳහන් කළේ තමා තවමත් අමෙරිකානු පුරවැසියකු බැවින් අගමැති වශයෙන් දිව්රුම් දීමට තමන්ට නොහැකි බවය. 2018 ජූනි 25දා එෆ්.සී.අයි.ඩිය ඉදිරිපිටදී ඔහු සඳහන් කළේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ පියවර ගනිමින් සිටින බවය. එහි කිසිම ගැටලුවක් නැති බවත් අවශ්‍ය ඕනෑම මොහොතක තමාට එය අවලංගු කරගත හැකි බවත්ය.

මේ වසරේ මාර්තු 23දා ප්‍රකාශ කළේ අවශ්‍ය කටයුතු කර ඇති බවය. පසුගිය අප්‍රේල් 12 වැනිදා ඔහු යළිත් ප්‍රකාශ කළේ පුරවැසිභාවය අත්හැරීමේ ලියැවිලි භාරදීමට සූදානමින් සිටින බවයි. එහෙත් ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ අප්‍රේල් 19 වැනිදා කියා තිබුණේ මාර්තු මාසයේ එම ලියැවිලි භාරදුන් බවයි.

ඩේලි එෆ්.ටී.