ජනාධිපතිවරණයට නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මාසයේ මැද වනවිට සිදුවී තිබිය යුතුය. ඒ කියන්නේ තව මාස දෙකහමාරක පමණ කාලයකි. ප්‍රධාන මැතිවරණයක දී මාස දෙකහමාරක් යනු සුළු කාලසීමාවකි. අනෙක් සියල්ලටම වඩා ප්‍රධාන අපේක්ෂකයන් සූදානම් කිරීම මේ කාලය තුළ සිදුවී අවසන් විය යුතුය. වෙනත් බොහෝමයක් රටවල නම් ප්‍රධාන මැතිවරණයක් ආසන්න වන වසරක පමණ කාලය තුළදී අපේක්ෂකයන් කවුදැයි මුළුරටම දැන සිටී. එසේ නොවන අවස්ථා ඇත්තේ ඉතාම කලාතුරකිනි. එහෙත් අපේ රටේ තත්ත්වය ඊට වඩා වෙනස්ය.
අපේ රටේ අවසන් වරට පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා බව මුළු රටම දැනසිටියේ බොහෝ කාලයකට පෙර සිටමය. එහි සැඟවීමට කිසිවක් නොතිබිණි. එහෙත් එවකට විපක්ෂයේ සිටි යූ.එන්.පී. ප්‍රමුඛ සන්ධානය තම අපේක්ෂකයා කවුදැයි කියන්න ඉක්මන් වූයේ නැත. ඔවුන් කළේ මහින්දත් ඔහුගේ මැතිවරණ උපදේශකයනුත් දැඩි අවිශ්වාසයක අනුමානයක රඳවා තිබීමය. එහෙත් ෂුවර් එකටම එන්නේ රනිල් බවට විශ්වාසයක් ඔවුන් තුළ තිබිණි. රනිල් හැසිරුණේද තමන් ජනාධිතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බව තහවුරැ වන ආකාරයටය. ඔහු සුළු ජනපක්ෂ සමඟ සාකච්ඡා කළේය. සිවිල් සංවිධාන සමඟ එකතු වී සිටියේය. ජාත්‍යන්තරය සමඟද සාකච්ඡා පවත්වා ගෙන ගියේය.
ජනාධිපතිවරණයට දිනය නියම වනවිටද තත්ත්වය එසේ වුවද ඉදිරිපත් වන්නේ රනිල් නොව පොදු අපේක්ෂයකු බවට කතා පැතිරෙන්න පටන්ගත්තේය. තවත් පැත්තකින් කියැවුණේ පොදු අපේක්ෂකයා වශයෙන් එන්නේද රනිල්ම බවය. මහින්දගේ පැත්තේ ඔක්කොම කැම්පේන් එක හැදුණේ ප්‍රතිවාදී අපේක්ෂකයා රනිල් වනු ඇතැයි බලාපොරොත්තුව ඇතුවය. මහින්දගේ ප්‍රචාරක ව්‍යාපාරයේ ඉලක්කය රනිල් විය. ඒ වුණත් අන්තිමට පොදු අපේක්ෂකයා වුණේ මහින්දගේ පක්ෂයේ මහලේකම් වූ මෛත්‍රීපාලය. ඔහු හොඳ ශක්තිමත් ප්‍රචාරක ව්‍යාපාරයෙන් දියත් කොට යූ.එන්.පී.යේ ඡන්ද පදනම මත මහින්දව පරාද කර ජනාධිපති විය. ඉන්පසුව සිදුවූ දේ ඉතිහාසයට එක්වී හමාරය. දැන් එළැඹ තිබෙන්නේ එදා 2014 වසරේ ඔක්තෝබර් නොවැම්බර් වැනි කාලසීමාවකට සමාන අවස්ථාවකි. පක්ෂ දෙකේ ක්‍රියාපිළිවෙළත් ඒ වගේම සමාන ද? ඒ බව දැනගන්න නම් දැන් පවතින තත්ත්වය සොයා බැලිය යුතුය.
මෙවර මහින්දට ඉදිරිපත් වෙන්න බැරිය. ඒ වෙනුවට ඉදිරිපත් වීමට සියලු සුදුසුකම් සපුරා ඇත්තේ ගෝඨාභය බව රට තුළ පවතින ඉල්ලුම සහ බලාපොරොත්තු අනුව සිතාගැනීම අපහසු නැත. අමෙරිකානු පුරවැසිකම හරහට නොහිටියොත් අපේක්ෂකයා ගෝඨාභයයි. එහෙත් ඔහු එන්නේ ශ්‍රීලපනිපයෙන් හෝ මහින්ද එදා අපේක්ෂකයා වූ එ.ජ.නි. සන්ධානයෙන් හෝ නොවේ. අලුත්ම පක්ෂයකින් සහ ලකුණකිනි. ජනාධිපතිවරණයේදී එයට නායකත්වය ලබාදෙන්නේ දැනට එම පක්ෂයේ නොනිල නායකයා වන මහින්දය.
මේ හේතුවෙන් මහින්දට දේශපාලන ජීවිතයේ ප්‍රථම වතාවට ශ්‍රීලනිප නොවන පක්ෂයක් වෙනුවෙන් ඡන්ද සටන මෙහෙයවීමට සිදුවී තිබෙයි. ඔහු නායකත්වය ලබාදීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ප්‍රමුඛ සන්ධානය තුළ ශ්‍රීලනිපය එක් පක්ෂයක් පමණක් වනු ඇත. එවැන්නක් සිදුවීමට නම් පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර සන්ධාන ගතවීමත් සිදුවිය යුතුය. තවමත් ඒ සන්ධාන ගතවීම පවතින්නේ සාකච්ඡා මට්ටමේය. ලබන අගෝස්තු 11 වැනිදා පෙර මේ සන්ධාන ගතවීම අවසන් වීම අවශ්‍යය. මහින්ද එම සන්ධානයට එකතුවන කුඩා පක්ෂ ගණනාවක් සමඟ පසුගිය (26) උදෑසන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීය. කෙසේ වුවත් එම අවස්ථාවට ඒකාබද්ධ පක්ෂයේ නායකයන් ගණනාවක් පැමිණ නොසිටීම කිසියම් සංඥාවක්දැයි කිව නොහැකි වුවත් ජනාධිපති අපේක්ෂකයකු වියහැකි බවට පැවැසෙන දිනේෂ් ගුණවර්ධනද පැමිණ නොසිටීම සැලකිය යුතු කරුණකි. කෙසේ වුවත් මේ එකඟතාව කුඩා පක්ෂ ගණනාවකට සීමාවීමත් සෙසු ප්‍රධාන පක්ෂ සමඟ ඉදිරි දිනවලදී වඩාත් පුළුල් සන්ධානයකට එළඹීමට සූදානමක් තිබෙන බවත් සඳහන් වේ.
මේ අනුව පෙනී යන්නේ මහින්දලා 2015ට වඩා වෙනස්ම මුහුණුවරකින් මෙවර ජනාධිපතිවරණයට මුහුණ දීමට සූදානම් වන බවය. ඔවුන්ගේ පක්ෂය වෙනස්ය. සන්ධානය අලුත්ය. අපේක්ෂකයා ගෝඨා නම් එය දේශපාලනයට නවකයකු සමඟ සිදුවන පෙළගැසීමකි. නොවෙනස් වන සාධකය නම් ඔහු තවත් රාජපක්ෂ කෙනකු වීමයි. එහෙම බැලුවොත් 2005 වසරේ සිට යූ.එන්.පී.ය ප්‍රමුඛ පෙරමුණුවලට එරෙහිව ඡන්ද සටන්වලට නායකත්වය දී ඇත්තේ රාජපක්ෂ කෙනෙකි. මේ ගෙවී ගිය වසර 15ක කාලය තුළ රාජපක්ෂලා පරාජය වූයේ එකම වතාවක් පමණි. ඒ 2015යි.
ශ්‍රීලනිප සහ පොහොට්ටුව පැත්තෙන් එසේ වනවිට යූ.එන්.පී.ය පැත්තෙන් ඇසෙන කතාව ඊට වඩා වෙනස් එකකි. එහි ජ්‍යෙෂ්ඨයන් තුළ මෙවර පොදු අපේක්ෂකයකුට කිසිම මනාපයක් නැති බව පැහැදිලිය. ඔවුන් දැඩිව කියා සිටින්නේ මීළඟ ජනාධිපතිවරණයේදී කුමන සන්ධානයක් ගැහුවත් යූ.එන්.පී අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. රනිල් වික්‍රමසිංහට ද එයට එරෙහි වීමට හැකියාවක් නැත. පසුගිය වසර හතරහමාරක කාලය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යූ.එන්.පී. පොදු අපේක්ෂකයා වශයෙන් බලයට පැමිණ කළ කී දේ ගැන හොඳ වැටහීමක් තිබෙන කිසිම යූ.එන්.පී ජ්‍යෙෂ්ඨයකු යළිත් පොදු අපේක්ෂකයකු සමඟ ඊළඟ ඡන්දයට යමු කියා කියන්නේ නැත. මේ නිසා යූ.එන්.පී.යට සිදුවනු ඇත්තේ සෙසු පක්ෂ සමඟ කුමන සන්ධානයකට ගියත් අපේක්ෂකයා යූ.එන්.පී. වීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වශයෙන් තබා ගැනීමය. ඒ කොන්දේසිය අනුව අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වෙයිද?
මහින්ද නම් හිතනවා ඇත්තේ රනිල් එන තරමට හොඳ බවය. පසුගිය කාලය මුළුල්ලේම මහින්දගේ අනුගාමිකයෝ රනිල්ට එරෙහිව විවිධ සටන් පාඨ හදාගත්හ. ඒ සමඟම ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අතරද ආණ්ඩුව පිරිහුණේය. එහි සියලු දොස් යන්නේ අගමැති පිටින් නිසා ඡන්දයකදී එය ප්‍රබල අවාසියක් වීම වැළැක්විය නොහැක. සජිත්ගේ නම ඉදිරියට එන්නේ මේ පසුබිමේය.
සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා කළ යුතු බවට මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමට යෝජනා කරන්නේ පක්ෂයේ සභාපති කබීර් හෂීම්ය. යූ.එන්.පී. නායක රනිල් මුලසුන ගෙන සිටි රැස්වීමේදී සජිත්ගේ නම ප්‍රකාශ කරන කබීර් ඇතුළු සෙසු ජ්‍යෙෂ්ඨයන් පවසා තිබුණේ ඔහුට පක්ෂයේ ඡන්ද පදනම නම්මා ගැනීමට හැකියාව තිබෙන බවය. පක්ෂයේ වටා සිටින සාමාන්‍ය පාක්ෂිකයන්ගේ උද්‍යෝගය ඉහළ යාමද ප්‍රේමදාසට නාම යෝජනා ලබාදීම හරහා සිදුවනු ඇති බවට ඔවුන්ගේ විශ්වාසය පළ වී තිබේ.
කොතරම් පක්ෂයේ ඡන්ද පදනම ක්‍රියාත්මක වුවද ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා එය ප්‍රමාණවත් වන්නේ නැත. සීයට 12ක් වන දෙමළ ඡන්ද සහ 8%ක් වන මුස්ලිම් ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ලබාගැනීම මෙහිදී තීරණාත්මක සාධකය වෙයි. එහිදී ටී.එන්.ඒ., මුස්ලිම් කොංග්‍රස්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණු සහ රිෂාඩ්ගේ සමස්ත ලංකා මුස්ලිම් පක්ෂ ඡන්ද ඉතාම වැදගත් වෙයි. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වූයේද එම පක්ෂවල ඡන්ද එක එල්ලේ ලැබීමය. එම ඡන්ද ලබාදීමේ වැදගත්ම කාර්යභාරය ඉටුකළේ යූ.එන්.පී. නායකත්වයයි.
සජිත්ට එරෙහිව යන එක් සාධකයක් වන්නේ එම සුළු ජන පක්ෂවල සහාය ලබාගැනීමේදීය. එයට හේතුව වශයෙන් පෙනෙන්නට තිබෙන්නේ සජිත් ජාතික ගැටලුව පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමය. ටී.එන්.ඒ. ප්‍රධානම ඉල්ලීම වන බලය බෙදාහැරීම පිළිබඳව සජිත් දක්වන්නේ නිහඬ පිළිවෙතකි. වඩාත් පුළුල් බලය බෙදීමක්, යුද සිරකරුවන් නිදහස් කිරීම සහ යුද අපරාධ විභාග කිරීම වැනි ටී.එන්.ඒ. පොදු ඉල්ලීම් පිළිබඳ සජිත් කිසිම අදහසක් ප්‍රකාශ කර නැත. මේ ගැන ඔහුගේ අදහස් දැනගැනීමකින් තොරව ටී.එන්.ඒ. නායකයන්ට උතුරට නැගෙනහිරට ගොස් සජිත්ට ඡන්දය ලබා දෙන්නැයි දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කිරීමට හැකියාවක් නැත.මේ ගැන තවම සජිත් සහ ටී.එන්.ඒ. අතර පුළුල් සංවාදයක් හෝ ඇතිවූ බවක් දැනගන්නට නැත. යූ.එන්.පී.ය නියෝජනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන තැනැත්තාට තිබෙන ලොකුම වාසිය වන්නේ සුළු ජන ඡන්ද ආකර්ෂණය කරගැනීමයි. එය ඉටුකරගත නොහැකි නම් ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තුද ඒ සමඟ අත්හැර දැමිය යුතු වෙයි.
ටී.එන්.ඒ එසේ වූවත් මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් දැනට කාලයකට පෙරදීම සජිත් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට අදහසක් ගෙන ආවේය. එය රනිල් වික්‍රමසිංහගේ නොකැමැත්තට හේතු වුවද හකීම් ඒ අදහස වෙනස් කරගත්තේ නැත. මේ නිසා යූ.එන්.පී.ය සමඟ අලුත් සන්ධානයකට එළඹීමට පෙර අපේක්ෂකයා කවුදැයි දැන සිටිය යුතු බවට හකීම් අදහස් කරන බවද කියයි. එහෙත් රිෂාඩ් බදියුදීන් එසේ නැත. ඔහු තමන්ගේ පක්ෂයේ කැමැත්ත ලබාදෙන්නේ කාටදැයි ප්‍රකාශ නොකරයි. නමුත් සමහරැන් කියන්නේ රිෂාඩ්ගේ මන්ත්‍රි කණ්ඩායමේ එක් අයකු හැර අන් සියලු දෙනාගේ සහාය රිෂාඩ්ට නැති බවය.
මේ තත්ත්වය හොඳින්ම ගණන් හදන්නේ රනිල් වික්‍රමසිංහ බව රහසක් නොවේ. සජිත් ජනාධිපතිවරණ අපේක්ෂකයා කිරීම ඔහුගේ න්‍යාය පත්‍රයේ කොතැනකවත් නැත. කරු ජයසූරිය හෝ තමන් ඒ සඳහා ඉදිරිපත් වන බව රනිල් දිගින් දිගටම කියයි. එහෙත් කබීර් හෂීම්, මලික්, මංගල, අජිත් පී., ඉරාන්, හරීන් පමණක් නොව ජ්‍යෙෂ්ඨම ඇමැතිවරයකු වන ගාමිණී ජයවික්‍රම පවා කියන්නේ සජිත් අපේක්ෂකයා කළ යුතු බවය. මේ පීඩනයෙන් මිදීමට රනිල් මේ දිනවල ඇලඩින්ගේ පුදුම පහනක් හෝ සොයන්නේ නැත්නම් එය පුදුමයකි. අපට පෙනෙන්නේ ලබන 05 වැනිදා අත්සන් කිරීමට නියමිත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එයට පිළිතුරක් විය හැකි බවය. එයට නායකයෙක් නැත. ඉන්නේ නායක මණ්ඩලයකි. අපේක්ෂකයා තෝරාගන්නේ නිසැකවම එම මණ්ඩලයෙන් විය යුතුය. එතැනදීත් එන්නේ සජිත්ගේම නම නම් මොන පහනකින් වුවද රනිල්ට නම් වැඩක් නොවනු ඇත.
ශශීන්ද්‍ර