එක එක කාලයට එක එක තාලයට විවිධ දේශපාලන පක්ෂවලට විවිධ අදහස් පහළ වෙයි. ඒ අදහස් තම ඡන්ද දායකයා ඉදිරියේ නොයෙකුත් මහප්‍රාණ කතා කියා අතහැර දමා ඔවුන්ගේ ඡන්දය ලබාගැනීම මේ වැඩපිළිවෙළේ ලොකුම අරමුණයි. වර්තමානයේ මේ ආකාරයේ කාලයට තාලයට ගැලපෙන අදහසක් වන්නේ ප්‍රධාන පක්ෂයක් සමඟ තව කුඩා පක්ෂ එකතු වී සිදු කරන සන්ධාන ගැහිල්ලය. කුමන හෝ පක්ෂ කිහිපයක් එකතු කරගෙන සන්ධානයක් අටවා ගන්නා ප්‍රධාන පක්ෂයක් දේශපාලන පොර පිටියට බහින්නේ දැනටමත් අපි දිනුම් කියාගෙන ඒ ඒ සන්ධාන පක්ෂවල නායක කාරකාදීන් කරටද අත් දමාගෙනය. ජනතාව ද විසිල් ගසා හුරේ දමා එයත් මදි නම් බල්ටි හා ගුස්තිද සමඟ සටනට උර දෙති. ඡන්දය දිනුවායින් පසුව සිදුවන්නේ හුරේ දැමූ ජනතාව බකංනිලාගෙන සිටීමත් සන්ධාන ගැසූ නායක කාරකාදීන්ගේ මල්ල පුරවා ගැනීමත්ය.
සන්ධාන ගැසීම අපේ රටට අලුත් දෙයක් නොවේ. රටට නිදහස ලබා වසර 72ක් ගතවෙද්දී මෙවැනි සන්ධාන ගැසීම් විශාල සංඛ්‍යාවක් අපි පසුකර ඇත්තෙමු. සාමාන්‍යයෙන් මේ සන්ධාන ඇතිවන්නේ මහ ඡන්දයක් ආසන්නයේය. ඒ කාලයේ මෙවැනි දේශපාලන පක්ෂ එකට එකතු වී පිහිටුවා ගන්නා සන්ධාන හැඳින්වුණේ ඒ නමින් නොවේ. 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රීලනිපය සමඟ තවත් පක්ෂ ගණනාවක් එකතු වී මහජන එක්සත් පෙරමුණ යටතේ තරග කළේය. ඒවාට ප්‍රසිද්ධියේ අත්සන් තැබූ නායකයන් අද මෙන්ම එදාත් සිටියාදැයි අපි නොදනිමු. එහෙත් එදා සන්ධාන නමින් හැඳින්වුණේ නැතත් එවැනි පක්ෂවලින් සැදුම්ලත් පෙරමුණුවල ප්‍රතිපත්තිමය වශයෙන් තදබල බැඳීමක් තිබිණි. තමන්ගේ ප්‍රතිපත්තියට පෙරමුණ තුළ ඉඩක් නැත්නම් ආණ්ඩුවේ මන්ත්‍රී පදවිවල, ඇමැති පදවිවල එල්ලී නොසිට ප්‍රතිපත්තිය මුලට ගෙන ඔවුහු රජයෙන් ඉවත් වූහ. මෙහිදී වාමාංශික නායකයන්ගේ අවංකභාවය කැපී පෙනුණු බවද සඳහන් කළ යුතුය. අද සන්ධාන ගැහීමේදී නම් ප්‍රතිපත්තිවලට කිසිම තැනක් නැත.
එදා එහෙම ආරම්භ වූ පෙරමුණ පසුව හවුල් වශයෙන් හඳුන්වනු ලැබිණි. ඩඩ්ලිගේ හත් හවුල, මැතිනිගේ තුන් හවුල මෙයට උදාහරණ දෙකකි. ඩඩ්ලිගේ හත් හවුල නම් එදා 1965 සිට 1970 දක්වා වසර පහම පැවැතියත් ^70 ඡන්දයේ දී ඔවුන්ට අයත් වූයේ දරැණු පරාජයකි. ඒ සමඟ තුනෙන් දෙකකින් ජයගෙන පිහිටවූ තුන් හවුල් රජය ^75 දී කැඩී ගියේ එයට සම්බන්ධව සිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් සහ ලංකා සමසමාජ යන පක්ෂ දෙකම ප්‍රතිපත්තිමය ගැටුම් මුල් කරගෙන රජයෙන් ඉවත්වීම හේතුවෙනි. අවසානයේ 1977 වන විට තනි කකුලෙන් සිටි නමට පමණක් තුන් හවුලක් වූ සන්ධානය එවර මැතිවරණයෙන් දරුණු ලෙස පරාජයට පත් විය. අපට අවශ්‍ය වන්නේ ඒ කාලයේ වුණත් හවුලක් හෝ සන්ධානයක් හෝ යන මොන නමකින් හැඳින්වූවත් එසේ එකතුවීම ඊළඟ මැතිවරණය ජය ගැනීමට හේතුවක් නොවන බව පෙන්වා දීමටය. මොන ආකාරයට සන්ධාන ගැහුවත් ජනතාව තීරණය කළොත් සියලු සන්ධාන නායකයන්ට සිදුවන්නේ ගෙදර යාමටය. නැතහොත් මන්ත්‍රීවරැන්ගෙන් දෙතුන් දෙනකු හෝ සමඟ තමන්ව පරාජය කොට බලයට පත්වූ ආණ්ඩුවට ජැක් ගැසීමටය.
වර්තමානයේ ක්‍රියාත්මකව පවතින්නේ හවුල් ඇතිකර ගැනීම නොව සන්ධාන ගැසීමයි. අසූ ගණන්වල අග භාගයේ සිට මෙවැනි සන්ධාන බිහි විය. ඇතැම් සන්ධාන පරාජයට පත්වන විට ජය ගත්තේ එතරම් ලොකුවට සන්ධාන නොගැසූ පක්ෂයකි. 1989 මහ මැතිවරණය මීට උදාහරණයකි. නමුත් ඒ කාලය වන විට සන්ධාන ආණ්ඩුවලට වඩා රට ආණ්ඩු කළේ ත්‍රස්තවාදය විසිනි. එය උතුරේත් දකුණේත් එක ලෙස ක්‍රියාත්මක විය. රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් බැහැරව යමින් දේශපාලනය කිරීමේ අමිහිරි ප්‍රතිඵල එසේ විය. අද කාලයේත් සන්ධානවලින් තොරව පැවැත්මක් නැතැයි සිතන සියලුම දේශපාලන පක්ෂ නායකයන් මේ අතීතය යළි යළිත් සිහිපත් කර ගැනීම අවශ්‍යය. සන්ධාන තිබිය යුත්තේ ඒවාට අත්සන් තබන නායකයන්ගේ මල්ල පුරවා ගැනීමට නොව රටේ ජනතාවගේ ප්‍රශ්න දෙස පුළුල් දැක්මක් ඇතිව වැඩ කිරීමේ අරමුණ ජය ගැනීමටය. එසේ නොවන විට මොන අටමගුලක් අටවා ගත්තත් ඒවා ජනතාවගේ පිළිගැනීමට ලක්වන්නේ නැත. රටේ ප්‍රශ්න විසඳෙන්නේත් නැත.
ජනාධිපතිවරණය පෙනෙන තෙක් මානයකට පැමිණ සිටින අවධියක අපි දැන් පසුවන්නෙමු. සන්ධාන ගැසීම රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ නිතර කතාවෙන මාතෘකාවක් බවට පත්ව තිබේ. සමහර පක්ෂ විවිධ පක්ෂ සහ සංවිධාන සමඟ සන්ධාන ගතවීම ආරම්භ කර තිබේ. ඇතැම් විට ඒවාට අත්සන් තබන ඇතැම් පක්ෂයක් පැවැති බව දැනගන්නට ලැබෙන්නේ සන්ධානයකට අත්සන් තැබූ අවස්ථාවේදීය. තවත් සමහර ප්‍රධාන පක්ෂයකට සන්ධානයක් හදාගැනීමේ මූලික සාකච්ඡාවම අංජබජල් වී ඇති බවක් ද සඳහන් වෙයි. රටේ සැබෑ ප්‍රශ්න පිළිබඳව පුළුල් දැක්මක් ඇතිව වැඩ කිරීමේ අරමුණට වඩා වෙනත් පෞද්ගලික න්‍යාය පත්‍ර ඉදිරියට දමාගෙන කටයුතු කිරීමේදී මෙවැනි අකරතැබ්බ සිදුවීම බලාපොරොත්තු විය යුතුය.
ඡන්දයක් ආසන්න වන විට ප්‍රධාන පක්ෂවලට වැළඳෙන සන්ධාන ගාය සුව කිරීම පහසු නැත. එහෙත් රටේ ජනතාවට නම් තමන්ගේ ප්‍රශ්න විසඳීමක් මේ සන්ධාන හරහා සිදු නොවන බවත් එයින් සිදුවන්නේ සන්ධානගත නායකවරුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමක් බවත් වටහාගෙන සිටිති. ඊළඟට එන ඡන්දවලදී සන්ධාන යනු ධන සාධකයකට වඩා ඍණ සාධකයක් වීමට ද හොඳටම ඉඩ තිබේ.