2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

මහින්ද - මලික් හමුව

යූ. එන්. පී. ප්‍රමුඛව ගොඩනැංවෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (NDF) පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා පැවති කෘත්‍යාධිකාරී කමිටු රැස්වීමට තිබුණේ මතභේදාත්මක අවසානයකි. එය වැඩි ඡන්දයෙන් සම්මත වූ බව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් පවසන ප්‍රකාශ කරන බවත් එසේ නොවූ බව සජිත් ප්‍රේමදාසට සහාය දක්වන පිරිස පවසන බවත් මාධ්‍ය ගණනාවක සඳහන් විය.

මෙකී සන්ධානය පිහිටුවීමේදී එයට සංශෝධන එකතු කළ යුතු බවට පවසන පිරිසේ අගමැති රනිල් වික්‍රමසිංහට සමීප ජ්‍යෙෂ්ඨයන්ද සිටීම බොහෝදෙනකු තුළ මහත් කුකුසක් ඇති කර තිබේ. එයින් කැපී පෙනෙන්නේ යූ.එන්.පී. හිටපු සභාපතිවරයකු ද වන ආණ්ඩුවේ ප්‍රබල ඇමැති තනතුරක් දරණ මලික් සමරවික්‍රමයි. මීළඟ ජනාධිපතිවරණයේදී සජිත් අපේක්ෂකයා වියයුතු බවට මතයක් ගෙන යන යූ.එන්.පී. පිරිසට ඔහු ද එක් වී සිටියි.

පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මතභේදාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව පැවති ස්විට්සර්ලන්ත තානාපතිවරයාෙග් සාදයකදී මලික් සමරවික්‍රමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. මලික් සමඟ කතාබහක් ඇරුඹූ මහින්ද රාජපක්ෂ කොහොමද ඔයගොල්ලන්ගේ ලොක්කා. එයාට ඕන විදිහට වැඩේ කරගත්තා නේද?* යැයි විමසුවේ සිනහවක් ද පාමිනි. 

කෝ ඔයගොල්ලොවත් ලොක්කට සපෝට් කරේ නෑ නේද?

නෑ සර්.. එහෙම නැහැ. අපේ නායකතුමාට අපේ කිසිම විරැද්ධත්වයක් නෑ. ඒ වුණත් අපට ආණ්ඩුවක් ගන්න ඕනෑ. ඒකට අපිට දිනන්න පුළුවන් නායකයෙක් ඕනි. ඒක තමයි මම කිව්වේ.

දිනන්න පුළුවන් නායකයෙක්..... සජිත් ප්‍රේමදාසට තිස්සමහාරාම ආසනය දිනන්න බැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කය දිනන්න බෑ. අඩුම ගානේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවත් දිනාගන්න බෑ. ඉතින් කොහොමද සජිත් ජනාධිපතිවරණයක් දිනන්නේ..

හරි හරි සර්... අපි තාම තීන්දු කරලා නැහැනේ අපේක්ෂකයා කවුද කියලා.* මලික් සමරවික්‍රම ද සිනහවක් පා සංවාදය හමාර කළේය.

හදිසි නීතිය සහ  ඒකාබද්ධ විපක්ෂය

හදිසි නීතිය දීර්ඝ කිරීම සඳහා ඡන්දය ලබා දීම පිළිබඳව යළි සලකා බැලීමට සිදුවන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා මීළඟ පක්ෂ නායක රුස්වීමේදී සාකච්ඡා කරන බව ප්‍රකාශ කරන කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුව මහජන විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි යොදවාගන්නා බවට චෝදනා කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු (පොහොට්ටුව) පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි කරනු ලැබීය. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හදිසි නීතිය දීර්ඝ කිරීමට සහාය ලබාදුන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමේ අරමුණින් බවද ඔහු කීය. එහෙත් ආණ්ඩුව දිගින් දිගටම හදිසි නීති රෙගුලාසි අවභාවිත කරන්නේ නම් තමන්ගේ සහාය ලබාදීම පිළිබඳව යළි සිතා බැලීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය. අප දැක්කා ආණ්ඩුව මෑතකදී පැවැති විශ්ව විදයාල සිසු උද්ඝෝෂණ සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා මර්දනයට හදිසි නීතිය යොදවා ගන්නවා. ඒ වගේම හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදය සඳහා රජයේ මන්ත්‍රීවරැන්ගේ සහභාගීත්වය අඩු බවත් අප දැක තිබෙනවා. එයින් පෙනෙන්නේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන නොසැලකිල්ලයි.* යනුවෙන්ද කාංචන විජේසේකර මන්ත්‍රීවරයා කීය.

- ඩේලි එෆ්. ටී.

මහින්ද ටී.එන්.ඒ. එකට දෙහි කපයි

ඉකුත් සතියේ සිකුරාදා පාර්ලිමේන්තුවේ කළ කතාවකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ) ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. මේ කතාව ඔහු සිදු කළේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදීය.

ඔහු මෙසේ කීය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් සහ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් විසින්. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අගමැතිවරයා එම ලියැවිල්ලට තමන්ගේ සම්බන්ධයක් නැතැයි දිගින් දිගටම ප්‍රකාශ කළා.

අන්තිමට පෙනී යන්නේ මේ ආණ්ඩුව ටී.එන්.ඒ. එකත් රැවටිල්ලට ලක්කර තිබෙන බවයි. පසුගිය වසර හතරහමාරටම ටී.එන්.ඒ. එක ලබාගත් දෙයක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් නිරතුරැවම ව්‍යවස්ථා සංශෝධන  කෙටුම්පත් කරනවා නමක් නොකියන වෙනම රාජ්‍යයක් කරා යොමුවන ආකාරයට.

ටී.එන්.ඒ. එක කඩදාසිය මත ඉතා පැහැදිලිව තම මතය සඳහන් කරනවා. නමුත් බිම් මට්ටමේදී උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කිරීමට සෘජුවම වගකිව යුතු වෙනවා. නැගෙනහිර පළාත් සභාව විසුරැවා හැර වසර දෙකක් වෙනවා. උතුරු පළාත් සභාවත් වසරකට පෙර අක්‍රීය වුණා. මේවායේ මැතිවරණ පැවැත්විය නොහැක්කේ ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කළ නිසයි.

- සන්ඩේ ටයිම්ස්