ජනාධිපතිවරණය පැමිණෙන බවට ප්‍රථම කාහල නාදය පැවැත්වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු විසිනි. තම පක්ෂයට ඉදිරිපත් කළහැකි වඩාත් ප්‍රබලම අපේක්ෂකයා නම් කරමින් මෙරට දේශපාලන කරළියේ ලාබාලම පක්ෂය වශයෙන් පොදු ජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණය සඳහා තමන් හොඳ සූදානමක පසුවන බවට එහිදී රටට පණිවුඩයක් දීමට පක්ෂය සමත් විය. ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතුරින් ප්‍රථම වරට නම් කරනු ලැබූ තැනැත්තා වන අතර ජනතා විමුක්ති පෙරමුණ තම අපේක්ෂකයා කවුදැයි අද (18) හෙළිකිරීමට නියමිත විය. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන එජාපය තවත් අපේක්ෂකයා නම් කර නැත. මේ හැර නාගානන්ද කොඩිතුවක්කු ප්‍රකාශ කර තිබුණේ පිළිගත් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් බලාපොරොත්තු වන බවය.
මේ රටේ ජනාධිපතිවරණය සැලකෙන්නේ ප්‍රධාන මැතිවරණය වශයෙනි. ඊට පසුව පැවැත්වෙන මහ මැතිවරණය ඇතුළු සෙසු සියලු මැතිවරණවලට ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණාත්මක බලපෑමක් එල්ල කිරීම ඊට හේතුවයි. 19 A ව්‍යවස්ථා සංශෝධනය සමඟ විධායක ජනාධිපති ධුරය සතු බලතලවල තටු කැපීමක් සිදුවුවද ජනපතිවරයා යනු රාජ්‍ය නායකයා බවත් ඔහු සේනාධිනායකයා ද වන බවත් යන්න වෙනස් වී නැත. අලුත් ජනාධිපතිවරයා සතු වන බලතල සම්බන්ධයෙන් විවිධ මතවාද පවතින බව සත්‍යයක් වුවත් ඔහු ඉදිරි වසර 05ක කාලය තුළදී රටේ පාලනයේ භාරකාරයා වන බව යථාර්ථයයි.
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් කොතරම් සංඛ්‍යාවක් ඉදිරිපත් වුවද සටන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එජාපය ප්‍රමුඛ සන්ධානය මගින් නම් කරනු ලබන අපේක්ෂකයා අතර බව පැහැදිලිය. මෙවර වෙනසක් වශයෙන් දැකිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ ද අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීන්දු කර තිබීමයි. රට තුළ තමන්ගේ පක්ෂයට ඇති සැබෑ ශක්තිය හඳුනාගැනීමටත් රට පාලනය කළ සහ රටේ පාලනය භාරගැනීමට අපේක්ෂාවෙන් සිටින දෙපාර්ශවයේම වැරදි පිළිබඳව ජනතාවට වටහා දීමටත් ඔවුන්ගේ වේදිකාව විවෘත වනු ඇති බවත් බලාපොරොත්තු විය හැකිය. එසේ වනු ඇත්තේ ඔවුන් රටේ ජනතාවගේ පිළිගැනීමට ලක්වන අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළොත් පමණි.
ජනාධිපති අපේක්ෂකයන් මොන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළත් ඒ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට තරම් කැපවීමක් සහ අධිෂ්ඨානශීලීව බවක් නොතිබුණොත් අරමුණු ජයගැනීමට හැකියාවක් නැත. මේ පසුගිය දශක ගණනාව මුළුල්ලේම මේ රටේ ජනතාව අත්විඳි සැබෑ තත්ත්වයයි. මෙතෙක් බලයට පත් ජනාධිපතිවරුන් රටට කිසිදු සේවයක් නොකළ බවක් එයින් අදහස් නොකරමු. ඔවුන් රටේ තත්ත්වය ඉහළ දැමීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත් විවිධ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ බවත් සත්‍යයකි. එහෙත් අපේ රට අද පවතින තත්ත්වයට හේතුවූයේද එම පාලන යුගවලදී විවිධ නායකයන් විසින් ගනු ලැබූ අදූර්දර්ශී, අයහපත්, ආත්මාර්ථකාමී තීන්දු, තීරණ හේතුවෙනි. තමන් යටතේ සිටි මැති ඇමැතිවරුන් ඇතුළු වෙනත් දේශපාලන බලවතුන්, හිතවතුන් සහ ගජ මිතුරන් විසින් සිදුකරනු ලබන විවිධ වංචා සහ දූෂණ හේතුවෙන් රටේ ආර්ථිකය වළපල්ලටම ගොස් ඇති බව සැඟවිය නොහැකි යථාර්ථයයි. මේ තත්ත්වය රටේ බහුතර ජනතාවගේ ප්‍රබල විරෝධයට හේතුවී තිබෙන බවත් විශේෂයෙන් තරුණ වියේ පසුවන ඡන්දදායකයන් තුළ වත්මන් දේශපාලන රටාව පිළිබඳව දැඩි කලකිරිමක් තිබෙන බවත් මේ සියලු අපේක්ෂකයන් තේරැම් ගැනීම අත්‍යාවශ්‍ය සාධකයකි.
ගෝඨාභය රාජපක්ෂ සහ එජාපය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා මේ සම්බන්ධයෙන් වඩාත්ම අවධානය යොමුකළ යුත්තෝ වෙති. ගෝඨාභය මහතාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ කළ කථාව තුළ ඔහුගේ අනාගත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන මූලික සැලසුම් ගැබ් වී තිබිණි. දේශීය සමාගම් ප්‍රවර්ධනය, තරුණ පෙළට රුකියා, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සැලසීම, කාන්තාවන්ගේ රුකවරණය සහ ජාතික ආරක්ෂාව එහිදී සඳහන් වූ ප්‍රමුඛ කරැණු අතර විය. එය ප්‍රතිපත්ති ප්‍රකාශය නුවූවද ඔහුගේ අපේක්ෂිත අනාගත වැඩපිළිවෙළ ගැන ඉඟියක් එහි දැකගත හැකිවිය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු තුළ පවතින කෘතහස්තභාවය පිළිබඳ විවාදයක් නැත. එහෙත් සෙසු කාරණා සැබෑ ලෙසම ඉටුකරගැනීම සඳහා විශාල දේශපාලන ධෛර්යයක් අවශ්‍යය. එය කියන තරම් ලේසි නැත. තමන් බලයට පත් කිරීමට වෙහෙසෙන පිරිසට පෙරළා උපකාර කරන සිරිත අපේ රටේ දේශපාලනය මෙහෙයවන ප්‍රධාන තුරැම්පුවක් වී තිබේ. ඒවා බැලන්ස් කර ගැනීම කියන තරම් පහසු නැත. ඒ බව හරිහැටි දැනගැනීමට නම් ජනාධිපති පුටුවේ අසුන් ගත යුතුය. කියන දේ සහ කරන දේ අතර වෙනස වටහා ගතහැක්කේ එහිදී පමණි.
අප මෙතෙක් අත්දැක ඇත්තේ රටේ නායකයන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකර දීමට වඩා හිතමිතුරන් සහ ඥාතීන්ගේ අවශ්‍යතා කරදීමට ප්‍රමුඛත්වයක් දුන් බව පමණි. ඉදිරියේදී පත්වන කවර හෝ අපේක්ෂකයකුට එය වෙනස් කිරීමට හැකිවනු ඇතැයි ජනතාවට දැනුණොත් ඔහු ගොඩ යනු ඇත.