ජනාධිපතිවරණයට අපේක්ෂකයකු තෝරාගැනීමේදී යූ.එන්.පී.ය මේ තරම් බරපතළ ගැටලුවකට මීට පෙර කවදාවත් මුහුණ දී නැත. තරමක හෝ ගැටලුවක් ඇතිවුණේ 1988 පැවැති ජනාධිපතිවරණයේදී ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබාදීමේදී ඇති වූ ඒ දිනවල බොහෝ දෙනා හැඳින්වූ කුරුඳුවත්ත සහ කෙසෙල්වත්ත අතර ගැටුමයි. එසේම ඒ කාලයේ රටේ තත්ත්වයද මීට වඩා ලොකු වෙනසක් තිබුණි. ජවිපෙ දෙවැනි කැරැල්ල හේතුවෙන් දකුණත් කොටි යුද්ධය හේතුවෙන් උතුරත් තිබුණේ වසා දැමූ පළාත් තරමටය. එහෙත් අවසානයේ පක්ෂය ඇතුළේ ඡන්ද විමසීමක් හෝ ප්‍රේමදාස ඉල්ලා ජනරුලියක් හෝ පැවැත්වීමකින් තොරවම ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලැබුණි. ඔහු ඡන්දය ඉල්ලා පැවැත්වූ රැලි අහන්න, බලන්න හිටියේ ඔහුගේ ආරක්ෂකයන් පිරිස සහ ඔහු සමඟ කොළඹින් ගිය කිහිප දෙනකු පමණි. හැබැයි ප්‍රේමදාස ජනාධිපතිවරණය දිනුවේය. වසර හතරකට පසුව කොටින් විසින් ඝාතනය කරන තුරු ප්‍රේමදාස රට පාලනය කළේය. බලයට පැමිණ අවුරැද්දක් ගතවීමට පෙර රෝහණ විජේවීර අල්ලාගෙන ජවිපෙ දෙවැනි සන්නද්ධ කැරැල්ල ඉවරකර දැමුවේය.
අද යූ.එන්.පී.ය ඇතුළේ කුරැඳුවත්ත - කෙසෙල්වත්ත සටනක් නැත. එහෙම වුණත් ආර්. ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්නැයි ඉල්ලා යූ.එන්.පී.ය ඇතුළේ ලොකු අරගලයක් ඇති වී තිබේ. එය කැරුල්ලක් දක්වා වර්ධනය වී නැති බව කිවහැක්කේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයට අභියෝග කිරීමක් නැති නිසාය. අරගලය ඇතිවී තිබෙන්නේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් පමණි. අඩු තරමින් පිටට පෙනෙන්න තිබෙන්නේ ඒ තත්ත්වයයි.
ඒ කෙසේ වුවත් සජිත්ට ජනාධිපති අපේක්ෂකකම බන්දේසියක තබා පිරිනැමීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුවක් නැති බව ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබේ. බන්දේසියක තබා නොව ඇතුළේ කොතරම් සටනක් දුන්නත් එය ලබාගත නොහැකි තත්ත්වයක් තිබෙන බව සමහරු කියති. පක්ෂය ඇතුළේ සටන දැන් එළියට ඇදී තිබේ. සජිත් ඉල්ලා කෘත්‍යාධිකාරී කමිටුවේ සහ මන්ත්‍රී කණ්ඩායම ඇතුළේ සටන් කළ පිරිස දැන් එළියට බැස සජිත් ඉල්ලන ජනතා රැලි සංවිධානය කිරීම අරඹා තිබේ. බදුල්ලෙන් ඇරුඹුණු රැලියේ සාර්ථකත්වය හේතුවෙන් එවැනි රැලි දිස්ත්‍රික්කයක් පාසා තබන තරමට ඉල්ලුමක් ඇතැයි සජිත්ට සහාය දක්වන මන්ත්‍රීවරු කියති. එහෙත් පවතින තත්ත්වය මත ඒ තරම් රුස්වීම් පවත්වන තුරු මේ ප්‍රශ්නය ඉදිරියට ඇදී යාමට ඉඩක් නැත. කාලය හරස් වීම ඊට හේතුවයි.
ජනතා විමුක්ති පෙරමුණද අද (18) තම අපේක්ෂකයා කවුදැයි නම් කරන තත්ත්වය තුළ යූ.එන්.පී. ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් කල්දැමීම දේශපාලන වශයෙන් ඔවුන්ට අවාසිදායක තීරණයක් වීමට ඉඩ තිබේ. ජවිපෙ ඉතිහාසයේ තුන්වැනි වතාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමද විශේෂයකි. පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර මුල්ම ජනාධිපතිවරණයට 1982 වසරේදී ඉදිරිපත් වී ඡන්ද දෙලක්ෂ පනස්දාහකට වඩා ලබා ගත්තේය. නන්දන ගුණතිලක 1999 වසරේදී ජවිපෙ අපේක්ෂකයා වශයෙන් තරග කර ඡන්ද තුන් ලක්ෂ හතළිස් හතරදාහක් ලබාගෙන තිබිණි. ඉන්පසුව ජවිපෙ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මෙවරය. පසුගිය සිකුරාදා (16) වනවිට දැනගන්නට තිබුණේ ජවිපෙ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක බවයි. එසේ නොවුණොත් එය ජවිපෙ තම ඉතිහාසය තුළ නායකත්ව මණ්ඩලයෙන් පරිභාහිර අපේක්ෂකයකු තරග කරවන මුල්ම අවස්ථාව වනු ඇත.
යූ.එන්.පී.ය තම අපේක්ෂකයා නම් නොකළද නායක රනිල් වික්‍රමසිංහ මහතා උතුරේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයද ඇරුඹුවේය. ඔහු පසුගිය බදාදා (15) යාපනයේ පැවැති උත්සවයකදී මහින්දලාගේ පක්ෂයේ අපේක්ෂක ගෝඨාභයට දැඩිව පහර දුන්නේ ගෝඨාභයගේ නම කෙළින්ම සඳහන් නොකරමිනි. තමන්ට විරුද්ධ අය මරණ සහ පක්ෂ අය පමණක් ජීවත්වන යුගයක් නැවත නිර්මාණය කරගත යුතුදැයි ප්‍රශ්න කළ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සාක්ෂි නැති මරණ සිදුවන යුගයක් නිර්මාණය කරගත යුතුදැයි ඇසුවේය. නඩරාජා රවිරාජ්, ටී. මශේෂ්වරන් ඝාතන ගැන අදටත් සාක්ෂි නැතැයි කී අග්‍රාමාත්‍යවරයා කොළඹ සෑම එල්.ටී.ටී.ඊ. නායකයකුම අල්ලා ගත්තා නම් මහේෂ්වරන් ඝාතකයා අල්ලාගන්න නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්න කළේය. අග්‍රාමාත්‍යවරයා මේ කතාව කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ රටේ ආරක්ෂාව තිබූ බවට පොහොට්ටුව සමුළුවේදී සිදුකළ කතාව ගැන සඳහන් කරමිනි. ජනාධිපතිවරණයේදී ගෝඨාභයට එරෙහිව යූ.එන්.පී. ප්‍රමුඛ සන්ධානය මගින් සිදුකළ හැකි ප්‍රචාරක ව්‍යාපාරයේ පෙරනිමිත්තක් මේ කතාව ගැබ් වී තිබේ. තවම අපේක්ෂකයා කව්දැයි තෝරාගෙන නැති නමුත් යූ.එන්.පී.ය සුළුජන ඡන්ද ආකර්ෂණය කර ගැනීමට පුළුල් වැඩපිළිවෙළක් ගෙනයනු ඇති බවට මෙය පැහැදිලි සංඥාවකි.
කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ තමා අපේක්ෂකත්වයට නම් කළ අවස්ථාවේදී සිදුකළ කතාවේ කිසිවකුට හෝ ඉලක්කගත ප්‍රහාරයක් එල්ල කළේ නැත. රටේ පවතින ආර්ථික කඩාවැටීම, රාජ්‍ය සේවයේ නිලධාරීන්ට ඇති පීඩනය, දේශීය ව්‍යාපාරිකයන් දිරිගැන්වීම, පරිසරය රැක ගැනීම, තරුණ පෙළේ අපේක්ෂාවන් ඉටුකර දීමට සැලසුම් හැදීම වැනි කරුණු සඳහන් වුවද තම කතාව දේශපාලන විරුද්ධවාදීන්ට එල්ල කරන ප්‍රහාරයක් බවට පෙරළා ගත්තේ නැත. සම්පූර්ණ යූරෝපීය ඇඳුමෙන් හෝ ජාතික ඇඳුමෙන් හෝ සැරසී නොසිටි ගෝඨාභය අත්කොට කමිසයක් ඇතුළු සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටි බවද පෙනුණි. කෙසේ වුවද තවම ඡන්ද සටන ආරම්භ වී නැත. එය ආරම්භ වීමෙන් පසුව ගෝඨාභයගේ කතාව කෙසේ වෙනස් වනු ඇතිදැයි බලා සිටිය යුතුය.
ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් නම් කිරීමෙන් එම පක්ෂයෙන් සියලු ප්‍රශ්න විසඳී ඇතැයි බලාපොරොත්තු විය නොහැක. මෙහිදී ශ්‍රීලනිපය සමඟ පවත්වන සාකච්ඡා තීරණාත්මක බවකින් තොරව ඇදී යන බවක් දකින්නට තිබේ. ගෝඨාභය නම් කිරීමේදී තමන්ගේ අදහස් විමසීමක් නොකිරීම ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සිත් රිදවා තිබෙන බව පැහැදිලිය. තවත් මොනවා කතා කරන්නදැයි පක්ෂයේ ලේකම් දයාසිරි අහන්නේ ඒ නිසා විය යුතුය.
එසේ වුවද ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා නම් මහින්ද සහ ගෝඨාභය සමඟ සම්බන්ධ වෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඔහුට තිබෙන ලොකුම ගැටලුව තමන් සමඟ සිටින ශ්‍රීලනිප මන්ත්‍රි පිරිසේ අනාගතය විය යුතුය. එසේම ජනාධිපතිවරණයෙන් පසුව තමන්ට හිමිවන ස්ථානය පිළිබඳවද සිරිසේන මහතා තුළ කිසියම් සැලැස්මක් නැත්නම් ඒ ගැනත් පුදුම විය යුතුය. ගෝඨාභය නම් කිරීමත් සමඟ ඇතිවූ දේශපාලන ප්‍රබෝධය ඇතුලේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ශ්‍රීලනිපය දෙකේ කොළේට දමා කටයුතු කරන ආකාරයක්ද ඒ අතර පෙනෙන්නට තිබේ. එහෙත් සුළු ජනතා පක්ෂවල ආකර්ෂණය දිනා ගැනීමට පැහැදිලි වැඩපිළිවෙළක් නැති තත්ත්වයක් තුළ ශ්‍රීලනිපයට ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය අවතක්සේරැවකට ලක් කිරීම අවාසිදායක තීන්දුවක් වීමටද ඉඩ තිබේ. ජනාධිපතිවරණයක් ජය ගැනීමට දූවිලිත් අවශ්‍ය බව මහින්ද කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. මේ බව අමතක කොට කටයුතු කරනවාද නැත්නම් ශ්‍රීලනිපය සමඟ සම්මුතියකට යනවාද යන ප්‍රශ්නයට අද හෙටම ඔවුන් විසඳුමක් සොයාගත යුතුය
ප්‍රධාන පක්ෂවල ගැටලු හේතුවෙන් අමාරුවේ වැටී සිටින්නේ ශ්‍රීලනිපය පමණක් නොවේ. යූ.එන්.පී.යට සම්බන්ධව සිටි රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මනෝ ගනේෂන්ගේ දමිළ ප්‍රගතිශීලී පෙරමුණද මේ දිනවල සිටින්නේ හරි තීන්දුවක් නැතුවය. යූ.එන්.පී. ඇතුළේ පවතින අපේක්ෂක බල අරගලය ඊට හේතුවයි. එසේම උතුරේ ටී.එන්.ඒ. ප්‍රමුඛ යූ.එන්.පී.යට සහාය දක්වන දෙමළ පක්ෂද තම තීරණය පස්සට දමා තිබේ. මේ පක්ෂවල සහාය ලබාගැනීම යූ.එන්.පී. අපේක්ෂකයාගේ ජයග්‍රහණයට අවශ්‍යම සාධක වෙයි. නමුත් යූ.එන්.පී.ය ඇතුළේ පවතින අර්බුදය හේතුවෙන් මේ පක්ෂ වෙනස් තීන්දුවකට එළඹුණොත් එහි වාසිය නිසැකවම යනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂටය.
මේ බොහෝමයක් කාරණා සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය. ඒ සඳහා ඉතිරිව ඇත්තේ තව සති කිහිපයක් පමණි. සාමාන්‍යයෙන් සුළුජන පක්ෂ ජනාධිපතිවරණයකදී තීන්දු ගන්නේ පවතින තත්ත්වය පිළිබඳ සියලු කරැණු සමාලෝචනයකින් පසුව වීම බලාපොරොත්තු විය යුත්තකි. ටී.එන්.ඒ. හැර වෙනත් බොහොමයක් පක්ෂ මීට පෙරදී මහින්ද සහ චන්ද්‍රිකා ආණ්ඩුවලද කටයුතු කර තිබේ. මේ නිසා අවස්ථාවක් ලැබුණොත්, ගෝඨාභය දිනන බවට පෙර නිමිති දැක්කොත් ඔවුන් පොහොට්ටුව සමඟ වුවද එක්වීමට බැරිකමක් නැත. උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් දැඩි ලෙස රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂය විවේචනයට ලක් කරමින් ඔවුන් ගන්නවා නම් අපි එන්නේ නැතැයි වැනි දැඩි ප්‍රකාශ නිකුත් කිරීම මේ රටේ දේශපාලනය පිළිබඳ හැදෑරීමක් ඇති කිසිවකු එකවර පිළිගන්නේ නැත. එය කොතරම් දුරකට ප්‍රායෝගික ප්‍රකාශයක් වනු ඇතිදැයි බලාගත හැක්කේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟිනි.
කොහොම වුණත් යූ.එන්.පී.ය ඇතුළේ බල අරගලය පක්ෂයට හානිවීමකින් තොරව විසඳාගතහොත් සහ පොහොට්ටු - ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ළඟා වුවහොත් හොඳය. නැත්නම් හොඳ ඡන්ද සටනක් වෙනුවට එකිනෙකා අතර සටනක් දැක ගැනීමට වඩා ඉඩකඩක් ඇතිවනු ඇත
- ශශීන්ද්‍ර