වෙන්නප්පුව, ලුණුවිල සීනෝර් හන්දිය ගැන පසුගියදා මුළු රටම කතා කළේය. ඒ හොඳ වැඩක් හේතුවෙන් නොවේ. පළාතට අවනම්බුවක් පවා ගෙනදුන් පළාතේ පාලනය බාර පුංචි ආණ්ඩුවේ චණ්ඩි මන්ත්‍රීවරියකගේ හැසිරීම හේතුවෙනි. එම හන්දිය සුළු කාලසීමාවකට කසිකබල් දකුණු ඉන්දියානු චිත්‍රපටයක කුණු රසය ඇවිස්සූ ජවනිකා පෙළක් බවට පත්විය. එහිදී රථවාහන පොලිස් නිලධාරීන් තරමක ඉවසීමකින් කටයුතු කිරීම හේතුවෙන් එකී ජවනිකාව ෆුල් සීරියල් මට්ටමට ආවේ නැත. එහෙත් රටේ ඇතැම් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ අසික්කිත හැසිරීම් ගැන රටටම හොඳ මාතෘකාවක් ඒ සිද්ධියෙන් ලැබිණි.
මේ සිද්ධියට මඟපෑදූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දුය. ඇය 2018 පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ වයස අවුරැදු 19දී බව සඳහන්ය. යන්තම් ඡන්ද බලය ලැබුණු ගමන් මන්ත්‍රී ධූරයක් ලැබීමට වාසනාව ලැබුණත් ඇයගේ හැසිරීම රටේ සමස්ත ප්‍රාදේශීය දේශපාලනයේ එක් අවාසනාවන්ත පැතිකඩක් පෙන්නුම් කර තිබේ. පුංචියට හෝ පාලන බලයක් ලැබුණු ගමන් එය තමන්ට ඕනෑම නීතිවිරෝධී වැඩක් කිරීමට ලැබුණු ලයිසන් එකක් වශයෙන් සැලකීමත් තමන්ගේ ඔලුවට උඩින් කාක්කෙකුට හෝ පියෑඹීමට අයිතියක් නැති තරම් බලයක් තමන් සතුව ඇතැයි සිතට ගැනීමත් සමහරැන්ගේ සිරිතය. අදාළ මන්ත්‍රීවරිය එම කුලකයට වැටීම සඳහා සියලු සුදුසුකම් සපුරා ඇති බව අදාළ වීඩියෝ දර්ශන බැලීමේදී පෙනී යයි. සිද්ධියට අදාළ ඇයගේ නැගණිය සිදුකර ඇත්තේ මහා බරපතළ වැරුද්දක් නොවේ. එහෙත් එතරම් සුළු වැරැද්දක් වසා ගැනීමට මේ තරම් පිම්බෙන්නට හැකිනම් දේශපාලනයේ තව ඉදිරියට යනවිට මෙවැනි &මන්ත්‍රීවරියන්* කොහෙන් නවතීදැයි සිතාගැනීමත් අමාරුය.
අප මෙහිදී ඇඟිල්ල දිගු කරන්නේ මේ මන්ත්‍රීවරියට පමණක් නොවේ. එක් අතකින් ඇය මෙහිදී පෙන්වා තිබෙන්නේ කාලයක් තිස්සේ අපේ රටේ ප්‍රාදේශීය දේශපාලනයේ පවතින අවර ගණයේ, අසික්කිත, නීති විරෝධී ක්‍රමයේ එක් පැතිකඩක් පමණි. පසුගිය කාලය තුළදී මිනී මැරැම් චෝදනාවලට ලක්වූ ප්‍රාදේශීය සභාපතිවරැද පිස්තෝල රුගෙන මහ මග පිස්සු නැටූ සභාපතිවරැ ද සිටියහ. ඒ සමහරැ දැන් පාලන බලය භුක්ති විඳිනු වෙනුවට සිරබත් කති. තවත් සමහරු ගංජා, මත්කුඩු ජාවාරම්වලට කොටු වූහ. සොරකම්, සංවිධානාත්මක අපරාධ, කැලෑ කැපීම්වලට චෝදනා ලැබූ සහ නීතියෙන් දඬුවම් විඳින තවත් පිරිසක් ද වෙති. මේ නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී සිටින සහ ඒ සඳහා දඬුවම් විඳින ප්‍රාදේශීය දේශපාලනඥයන් පිළිබඳව කිසිවකු විසින් හෝ සමීක්ෂණයක් සිදුකර තිබේදැයි අපි නොදනිමු. එහෙත් එවැනි සමීක්ෂණයක් කර ඇත්නම් එයින් හෙළිවන සංඛ්‍යාලේඛන කාගේත් මුහුණු රතු කරවන බව නම් විශ්වාසය.
ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනය කවදත් පැවතුණේ රත් වූ මට්ටමේ බව ඇත්තකි. එය වර්තමානයට පමණක් නොව අතීතයට ද පොදු කරුණකි. එහෙත් එවැනි උණුසුම් බවක් අදාළ වන්නේ ඡන්ද කාලයට පමණි. ඡන්ද කාලයේදී ගුටිබැට ඇණගෙන, පෝස්ටර්, බැනර් ගසාගෙන, චණ්ඩිපාට් දැම්මත් ඉන්පසුව සිදුවිය යුත්තේ ජනතාව විසින් තමන්ට භාරදුන් වැඩ කොටස හරිහැටි ඉටු කිරීමය. එහිදී ද චණ්ඩිකම් පෑමට සිදුවන අවස්ථා ද තිබිය හැකි බව සත්‍යයකි. එහෙත් හොරමැරකම්, නීති විරෝධී වැඩ, ජාවාරම්, ජනතාවට හිරිහැර කිරීම් ඇතුළු චණ්ඩි පාට් තිබිය නොහැක. මහජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ පෙරළා ඔවුන්ටම හිරිහැර වනසේ හැසිරීම තුළින් පෙන්වන්නේ ඔවුන් පාලන බලයට සුදුස්සන් නොවන බවය. මෙවැනි පුද්ගලයන්ට ප්‍රාදේශීය සභාවක නොව අඩුම තරමින් මරණාධාර සමිතියක හෝ බලය ලබාදිය යුතු නැත. වෙන්නප්පුවේ අදාළ චණ්ඩි මන්ත්‍රීවරියගේ සොහොයුරිය තමන්ගේ නිවෙසේ සිදුවන තවත් නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් ද එහිදී සඳහන් කරනු ඇසිණි. එසේම පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ද එම පවුලට සම්බන්ධ පෙර වැරදි සඳහන් කර තිබිණි. මේවායේ ඇත්ත නැත්ත අපි නොදනිමු. අපට කනගාටු සිතෙන්නේ මෙවැනි උන්දැලා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ ජනතාව සම්බන්ධයෙනි.
මෙරට මැතිවරණවලදී බලය ලබාගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම මේ බොහෝ යකා නැටීම්වලට හේතු වී තිබේ. වැදගත්, උගත්, පුද්ගලයකුට වුවද පවතින ක්‍රමය යටතේ, ඡන්දය ඉල්ලීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා ලොකුම සුදුසුකම වන මුදල් නැතිවීම හේතුවෙනි. එහෙත් අරක්කු, කසිප්පු විකුණා හෝ වෙනත් යමක් විකුණා හෝ එසේත් නැත්නම් විවිධ වංචනික ක්‍රියා මාර්ගයෙන් හෝ මුදල් උපයාගත් තැනැත්තන්ට ඡන්දය ඉල්ලා කැම්පේන් කිරීම ටොයිස් වැඩකි. පසුගිය පළාත් පාලන ඡන්දයේදී වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට ඉදිරිපත් වූ ඉහත සඳහන් මන්ත්‍රීවරියගේ ප්‍රධානම ප්‍රචාරක පෝස්ටර් සහ බැනර්වල සඳහන් වී තිබුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට උගත්, බුද්ධිමත් තරුණ අපේක්ෂිකාවක් වශයෙන් ඉදිරිපත් වන බවය. එම ප්‍රචාරක වැඩපිළිවෙළ හරහා ඇය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් වශයෙන් පත්කර ගනු ලැබුවාය. එහෙත් අප ඇයගෙන් දුටුවේ නූගත්, මෝඩ, තකතීරැකමක් පමණි. මේ සිදුවීම ආදර්ශයට ගෙන නුසුදුසු පුද්ගලයන් කුමන හෝ මැතිවරණයකට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට සෑම දේශපාලන පක්ෂයක්ම වගබලා ගතයුතුය. එසේ නොවුණොත් මේ රටේ මන්ත්‍රීවරයකු වීමට ඉහළම සුදුසුකම් වනුයේ චණ්ඩිකම්, සොරකම් ඇතුළු වෙනත් දූෂිත ක්‍රියා බව රටේ කුඩා දරුවන්ගේ සිතු තුළට කාවදිනු ඇත. එහි ප්‍රතිඵල ගැන කතා කළ යුතුද?