2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

සෝෆා සාකච්ඡා ජනාධිපතිවරණය අවසන් වනතුරු අත්හිටුවයි

ශ්‍රී ලංකාවත් සමඟ අත්සන් කිරීමට නියමිතව තිබූ මතභේදාත්මක සෝෆා ගිවිසුම සම්බන්ධ සියලු සාකච්ඡා ජනාධිපතිවරණය අවසන් වනතුරු කල්දමා ඇතැයි අමෙරිකාව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සමඟ අමෙරිකානු තානාපති අලයිනා බී. ටෙප්ලිට්ස් පැවැත් වූ සාකච්ඡාවකදී තානාපතිය තම රටේ ස්ථාවරය එසේ පැහැදිලි කර තිබේ. මේ සාකච්ඡාව සඳහා තානාපතිනිය ජනපතිගෙන් වෙලාවක් ඉල්ලා තිබුණේ සති කිහිපයකට පෙරය. ඒ සඳහා වෙලාවක් ලබාදීමට කල්ගතවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී කනගාටුව පළකර තිබිණි.

අමෙරිකානු මිලේනියම් අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත වූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානය සඳහා නියමිත වූ කාලය දැන් අවසන්ව ඇතැයි ද එම සාකච්ඡාවේදී තානාපතිනිය සඳහන් කර තිබිණි. එක්සත් ජාතික පෙරමුණු රජය, මිලේනියම් අරමුදල සමඟ එක්ව ප්‍රවාහන සහ ඉඩම් සම්බන්ධ කටයුතු වෙනුවෙන් මේ මුදල් යෙදවිය යුතු බව හඳුනාගෙන තිබිණි. එම කේෂ්ත්‍ර දෙක සඳහා මුදල් යෙදිය හැකි ශ්‍රී ලංකාව මගින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවට අයිතිය පැවරෙන ක්‍රියාකාරකම් පිළිබඳ අවසන් පැකේජයක් ද රජය මගින් සකස් කර තිබිණි.

මේ ගැන පසු අවස්ථාවකදී සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අයිතියට තමන් ගරැකරන බවද තානාපතිවරිය ජනපති හමුවේ ප්‍රකාශ කර ඇත. සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මීට සති කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ අනුමැතියකින් තොරව එවැනි ගිවිසුමකට අත්සන් නොතැබිය යුතු බවය.

තම නියෝජ්‍ය තානාපති හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට ඉදිරියේදී තවත් අවස්ථාවක් ලබාගැනීමට තානාපතිනිය ඉල්ලීමක් කර තිබිණි. 

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබූ සෝෆා ගිවිසුමේ පිටපතක් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ද ලැබිණ. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට දැඩි ලෙස හානිදායක වන වොෂින්ටන් ඉල්ලීම් ගණනාවක් එහි ඇතුළත්ව තිබේ. එය පසුගිය ජුනි 30 වැනිදා පුවත්පත මගින් විශේෂ හෙළිදරව්වක් වශයෙන් පළකර තිබිණි.

- සන්ඩේ ටයිම්ස්

මගේ ප්‍රශ්නය ඉවරයි - ගෝඨාභය

තම ජනාධිපති අපේක්ෂකත්වයට දැන් කිසිදු බාධාවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. තමා පසුගිය අප්‍රේල් 17 වැනිදා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවත් ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් ගෝඨාභය ප්‍රකාශ කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා (22) පොදුජන පෙරමුණු මූලස්ථානයේදී එම පක්ෂයේ ප්‍රාදේශීය සභා සභාපතිවරැන් සමඟ පැවැති සාකච්ඡාවකදී ගෝඨාභය මේ තොරතුරැ හෙළිදරව් කළේය. මේ රුස්වීමට මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වී සිටියේය.

මගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කෙරෙනවා. මට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ උත්සාහයක් ඒ තුළ තිබෙන බව පෙනීයනවා. නමුත් මම කියන්න කැමැතියි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මට කිසිම බාධාවක් නැති බව. ජාතික සංවිධානයක බැසිල් රාජපක්ෂ මහතා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබෙනවා. මේ නිසා එම වැඩපිළිවෙළ කිසිම වැරැද්දකින් තොරව ක්‍රියාත්මක කිරීමට අපි සහතික විය යුතුයි. යැයි ගෝඨාභය සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේ යූ.එන්.පී.ය කුමන අපේක්ෂකයා නම් කළත් එම පක්ෂය කැඩීයාම වැළැක්විය නොහැකි වනු ඇති බවය. නායකත්වයට අවනත නොවන පක්ෂ සාමාජිකයන් සිටින විට මේ තත්ත්වය ඇතිවන බවද ඔහු කීය.

- ඩේලි එෆ්.ටී.

සිරිසේන නාවොත් වෙල්ගම එනවාලු

පවතින තත්ත්වය හමුවේ කුමක් කළ යුතුද යන ගැටලුවට දැඩිව මුහුණදී සිටින ශ්‍රීලනිපය අවසානයේදී තමන්ගෙම අපේක්ෂකයකු තරග කරවීමට සූදානමක් ඇතැයි පසුගිය සතිඅන්තය වනවිට දේශපාලන කරළියේ කතාබහට ලක්වෙමින් තිබිණි.
පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එජනිස මන්ත්‍රීවරැන් සඳහා පසුගිය බදාදා (21) රාත්‍රියේ පවත්වන ලද භෝජන සංග්‍රහයෙන් පසුව මේ කතාබහට තටු ලැබී තිබේ. සුපිරි හෝටලයක පැවැති මේ සංග්‍රහයට ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිද, නිමල් සිරිපාල ද එජනිස ලේකම් මහින්ද අමරවීර ද සහභාගී වී සිටියත් දුමින්ද දිසානායක, කුමාර වෙල්ගම, මහින්ද සමරසිංහ සහ මලිත් ජයතිලක යන මන්ත්‍රීවරුන් සිව්දෙනා සහභාගි වූයේ නැත.

ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූවොත් ඔහුට සහාය දැක්වීමට මේ සිව්දෙනා සූදානම් බවත් එසේ නොවුණොත් ශ්‍රීලනිපයේ මේ දක්වා රැඳී තිබෙන පාක්ෂිකයන්ගේ ඡන්ද සංඛ්‍යාව ලබාගැනීම සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවත් සඳහන් වෙයි. මෙහිදී කිහිපදෙනකුම පෙන්වා දී ඇත්තේ ශ්‍රීලනිප ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් වනු ඇති බවත් එය නොතකා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ක්‍රියාකරන බවත්ය. එම සාධකය පෙන්වා පොහොට්ටුව සමඟ දේශපාලන ගනුදෙනුවකට යා නොහැකි වූවොත් ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරිමට තීරණයක් ගනු ඇතැයි දැනගන්නට තිබේ.

මේ අපේක්ෂකයා බොහෝ විට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වියහැකි බවද සඳහන් වේ.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00