2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

කඩුල්ල පනියිද? කැඩෙයිද?

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 282

මේ රටේ ඡන්ද කාලය ආසන්නයේ විනය පරීක්ෂණ සහ කේවල් කිරීම්වලට හිමිවන්නේ ලොකු තැනකි. පහුගිය දවස්වල රටේ දේශපාලන කරළිය රත්කළේ යූ.එන්.පී.ය ඇතුළේ රනිල් - සජිත් පාර්ශ්ව දෙකේ කලබැගෑනියයි. එය දැන් විනය පරීක්ෂණ දක්වා දික්ගැසී තිබේ. සාමාන්‍යයෙන් විනය පරීක්ෂණ පිළිබඳ ලියුම් කරදහි ලැබෙන පක්ෂ සාමාජිකයන් ඒ ගැන එළියේ කතාබහ කරන්න යන්නේ නැත. කතා කළත් ඒ සීමාවක් ඇතුවය. රැවුලත් කැඳත් දෙකම බේරාගැනීම එවැනි අවස්ථාවක පක්ෂයේත් චූදිතයාගේත් ප්‍රධානම අරමුණයි.

කොහොම වුණත් මෙවර යූ.එන්.පී. මහා ලේකම්වරයා විසින් සජිත් පාර්ශ්වයේ අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාට යවන ලදැයි කියන විනය පරීක්ෂණවලට කැඳවීමේ ලිපියට ඔවුන් දැක්වූයේ කැත්තට පොල්ල මෙන් ප්‍රතිචාරයකි. ඒ කියන දවසේ දෙදෙනාම සිරිකොතේ සූදානම් කර තිබූ විනය පරීක්ෂණ කමිටුව හමුවට ගියේ නැත. තමන්ට එවැනි ලියුමක් නොලැබුණු බව අජිත් පී. පෙරේරා කියා තිබුණි. සුජීව සේනසිංහද කමිටුව හමුවට ගියේ නැත. ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් කියැවුණේ &අපි එන්නෙ නෑ. පුළුවන් දෙයක් කරන්න* වැනි අදහසකි. ඊට පිළිතුරැ වශයෙන් යූ.එන්.පී. මහා ලේකම් ඇමැති අකිල කියා තිබුණේ ලබන 09 වැනිදාට ප්‍රථමව පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධයෙන් නගා ඇති චෝදනාවලට ලිඛිත පිළිතුරැ ලබාදිය යුතු බවත් එසේ නොවුණොත් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.

කෙසේ වුවද අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළේ පක්ෂයේ ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයා පිළිබඳ කතා කිරීම විනය විරෝධී ක්‍රියාමාර්ගයක් නම් මේ ආණ්ඩුවේ බැඳුම්කර වංචාවට හසු වූ බවට චෝදනා ලබා ඇති ඇමැතිවරැන් සම්බන්ධයෙන් ඊට පෙර විනය ක්‍රියාමාර්ග ගත යුතු බවය. පක්ෂයේ දිනන අපේක්ෂකයා පිළිබඳ කතා කිරීම විනය පිළිබඳ ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් බව සමහරැන්ට නොවැටහීම ගැටුලවක් බවද ඔහු තම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්නවලට පිළිතරැ දෙමින් කියා තිබිණි. තමන්ට විනය පරීක්ෂණයකට කැඳවීමේ ලිපියක් නොලැබුණු බවද ඔහු කීවේය. සුජීව සේනසිංහද ප්‍රකාශ කර තිබුණේ පක්ෂය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ගැන කතා කිරීම විනය විරෝධී ක්‍රියාවක් නොවන බවයි.

විනය පරීක්ෂණ ලිපි හරහා එළියට එන්නේ රනිල් - සජිත් සීතල යුද්ධය තවදුරටත් උණුසුම් වන බවට වන පෙර නිමිතිය. ජනාධිපතිවරණයක් ආසන්නයේදී ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමට පුරෝගාමී වූ යූ.එන්.පී.ය ඇතුළේ මෙවැනි උණුසුම් ගැටුමක් ඇතිවීම පක්ෂයේ බොහොමයක් ජ්‍යෙෂ්ඨයන්ගේත් පොදුවේ පාක්ෂිකයන්ගේත් දැඩි කනස්සල්ලට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ. මෙය සමතයකට පත්කර ගැනීම සඳහා පසුගිය සතියේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුම දැඩි ලෙස බලපෑම් කර තිබුණත් එය දිගටම ඇදෙන බව පැහැදිලිය.

මෙහිදී පක්ෂයේ සභාපති වශයෙන් ඇමැති කබීර් හෂීම්ගේ භූමිකාවද සියලු දෙනාගේ අවධානයට ලක්වී තිබේ. ඔහු පක්ෂ නායකත්වයට නොදන්වා යළි ඇමැති ධුරය භාරගැනීමත් ඒ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සමීපව කටයුතු කිරීමත් සමහරුන්ගේ උදහසට හේතු වී තිබිණි. එසේ වුවත් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුත්තේ කවුරැදැයි යන ප්‍රශ්නයේදී කබීර් සිටින්නේ සජිත්ට සහාය දක්වන පාර්ශ්වයේ බව ඔහුගේ හැසිරීමෙන් පෙනේ. අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ දෙදෙනා පක්ෂයේ විනය කඩකර නැති බව තමන්ගේ අදහස යැයි කබීර් හෂීම් කළ ප්‍රකාශය එයට සාක්ෂි සපයයි. කෙසේ වුවද පක්ෂයේ සභාපති කබීර් හෂීම් සැලකුණේ අගමැති රනිල්ගේ සමීපතම සගයකු වශයෙනි. එහෙත් ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ ගැටලුවේදී කබීර් පක්ෂයේ සභාපති භූමිකාවෙන් ඉවත් වී කටයුතු කරන බවට අදහසක් පක්ෂයේ සමරැ ප්‍රකාශ කරති. නමුත් කබීර්ගෙන් පාර්ශ්ව දෙකේ ඇවිලෙන ගින්නට පිදුරැ දමන කතා නම් ඇසෙන්නේ නැත.

මේ තත්ත්වය යටතේ පසුගිය බ්‍රහස්පතින්දා (29) හදිසියේම රනිල් - සජිත් හමුවක් සිදුවිය. ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරස්ථානයේ උත්සවයකට සහභාගී වෙමින් සිටින අතරතුර සජිත් හදිසියේම කොළඹ බලා පිටත්ව ගොස් තිබුණේ තමන්ට අග්‍රාමාත්‍යවරයාගෙන් හදිසි කැඳවීමක් ලැබුණු බව සඳහන් කරමිනි. උත්සවයට සහභාගී වී විනාඩි 14ක පමණ කතාවක් කළ සජිත් කොළඹට පැමිණ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති රනිල් හමු වී තිබුණු බව කියයි. මෙහිදී සාකච්ඡා කළේ කුමක්දැයි හෙළිවූයේ නැත. එහෙත් එම සාකච්ඡාවට පසුව දෙපාර්ශ්වයෙන්ම එකිනෙකා විවේචනය කරගන්නා ප්‍රකාශ නිකුත් කිරීම නැවැතීම කිසියම් සංඥාවක් ලබාදීමකි. මෙම සාකච්ඡාව සඳහා රවී-මංගල ඇතුළු දෙපැත්තේම ජ්‍යෙෂ්ඨයන්ද සහභාගි වී තිබිණි. සාකච්ඡාව අවසානයේ අගමැතිවරයා කියා ඇත්තේ ලබන 6වැනිදා හමු වී යළි සාකච්ඡා කරමු කියාය.

 එපමණක් නොව පසුගිය සතියේ එක්වරම මාධ්‍ය ඔස්සේ පළවූ මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රැපියල් කෝටි 120ක් අතුරුදන් වී ඇතැයි නැගෙන චෝදනාවට අදාළව වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බවට පළවූ ප්‍රවෘත්තිය නිවැරැදි කිරීමද සිදුවිය. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ එම චෝදනාව සම්බන්ධයෙන් කරුණු සොයාබලා සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස පමණක් බවය. මධ්‍යම සංස්කෘතික අරමුදල සජිත්ගේ අමාත්‍යංශය යටතට එන ආයතනයකි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි අග්‍රාමාත්‍යවරයා කිසිවිටෙකත් නියෝග නොකළ බවද එම නිවේදනයේ සඳහන්ය. බැලූ බැල්මට පෙනෙන්නේ සජිත් ඉලක්ක කර ගනිමින් පක්ෂය ඇතුළේම ජ්‍යෙෂ්ඨයකු හෝ කිහිප දෙනෙකු එක්වී එළියට දැමූ චෝදනාවක් අග්‍රාමාත්‍යවරයා විසින් නිෂ්ක්‍රීය කර ඇති බවකි.

යූ.එන්.පී.ය ඇතුළේ අර්බුදය දැන් පවතින්නේ පාර්ශ්ව දෙකම අවි අමෝරාගෙන සටන් වදින තත්ත්වයක බවට තවත් සිද්ධියක් බ්‍රහස්පතින්දා (29) එළියට ආවේය. එජාපයේ අපේක්ෂකයා නම් කරන්නේ ජනපතිවරණ නිවේදනයෙන් පසුව බවත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ එසේ ඇති බවත් සඳහන් කරමින් පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා නිකුත් කළ නිවේදනයට පිළිතුරු දෙමින් අජිත් පී. පෙරේරා කියා තිබුණේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවය. ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවීමෙන් පසුව අපේක්ෂකයා නම් කළ යුතු යැයි පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් බවට කරන ප්‍රකාශ සාවද්‍ය බව ඔහු කියා තිබිණි. අපේක්ෂකයා නම් කිරීමට ජනාධිපතිවරණ නාමයෝජනා කැඳවන තුරැ සිටිය යුතු යැයි කීම දේශපාලනික වශයෙන්ද නිවැරුදි ප්‍රකාශයක් නොවන බවත් ඔහු කියා තිබිණි. අජිත් පී. පෙරේරාට එරෙහි විනය පරීක්ෂණ කමිටුවේ එක් සාමාජිකයකු වූයේද ජනාධිපති නීතිඥ නිශ්හංක නානායක්කාරය.

මේ අතරවාරයේ මුදල් ඇමැති මංගලගේ කොළඹ නිල නිවෙසේ පැවැති සජිත්ට සහාය පළකරන මැති ඇමැතින් 30කට අධික පිරිසක් සහභාගී වූ රාත්‍රී සාදයද එදිනම රවි කරුණානායක ඇමැතිගේ පෞද්ගලික නිවෙසේ විදෙස් තානාපතින් ඇතුළු පිරිසකට පැවැත්වූ රාත්‍රී සාදයද කැපී පෙනෙයි. මංගලගේ සාදයට සජිත්ද රවිගේ සාදයට අගමැති රනිල්ද සහභාගී වී සිටි බවද වාර්තා විය. රවි තම නිවෙසේ සාදයට සහභාගී වෙමින් සිටියද ඔහුගේ කන නම් තිබෙන්න ඇත්තේ මංගලගේ නිවෙසේ බව පැහැදිලිය. සජිත්ගේ ජනාධිපතිවරණ අපේක්ෂක මෙහෙයුමට ලොකුම විරෝධය දක්වන්නේ රවි බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔහු නම නොකියා සජිත්ට පහර දෙයි. සජිත්ගේ සගයෝ රවි ඇතුළු පිරිසට නම නොකියා පහර දෙති. මේ දෙපිරිස පාර්ලිමේන්තුව තුළදී මුණගැසුණු විට හැසිරෙන්නේ කොහොමද යන්න සොයාබැලීම වටී. තව මාස හතරකින් පමණ එළඹෙන ජනාධිපතිවරණ වේදිකාවේදී මොවුන් කතා කරන්නේ කොහොමදැයි ඒ සමඟ බලා සිටිනු වටී.

මේ කොහොම වුණත් පක්ෂනායක රනිල් වික්‍රමසිංහගේ සැලැසුම වී ඇත්තේ හැකි තරම් කාලයක් ප්‍රශ්නය ඇදගෙන යාම බව පැහැදිලිය. ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන තුරැ අපේක්ෂකයා නම් නොකරන බවට යූ.එන්.පී. නීති ලේකම් හරහා නිවේදනයක් නිකුත් කිරීමෙන් මෙය හොඳින්ම පැහැදිලි වෙයි. එම නිවේදනය අනුවම කටයුතු කරන්නේ නම් සැප්තැම්බර් 15 වැනිදා පසුවනතුරු යූ.එන්.පී. අපේක්ෂකයා නම් කිරීමක් සිදු නොවේ. එහි අනෙක් ප්‍රතිඵලය රාජිත ප්‍රකාශ කරන පරිදි පක්ෂ නායකයන්ගේ ඒකමතික එකඟතාව ලැබුණු, එජාප නව සන්ධානය බිහිවීම කල්යාමය. යූ.එන්.පී. අපේක්ෂකයා නම් කරනතුරැ සන්ධානයකට එකඟ විය නොහැකි බවට පක්ෂ නායකයන් විසින් ප්‍රකාශ කිරීම නිසා මේ තත්ත්වය ඇති වෙයි. අනෙක් අතට අපේක්ෂකයා නම් කිරීම සඳහා මෙතරම් කාලයක් යනතුරැ සජිත්ට සහාය දක්වන මැති ඇමැතින් බලාසිටිනු ඇතිදැයි යන ප්‍රශ්නයද පැන නගී.

අපේක්ෂකයා නම් කිරීම කල්දැමීම යනු ප්‍රශ්නය දියාරැ වීමට ඉඩහැරීමය. දේශපාලන කරළියේ උණුසුම් බව එකදිගටම අල්ලාගෙන සිටීම එතරම් පහසු නැත. එවිට සිදුවන්නේ එක් පාර්ශ්වයක සිටින සහාය දක්වන පිරිස එකිනෙකා අඩු වී යාමය.  එසේ ගැලවෙන පිරිස ඩැහැ ගැනීමට අනෙක් කණ්ඩායම සමත් වුණොත් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කෙරෙනු ඇත්තේ එම පාර්ශ්වයෙනි. යූ.එන්.පී. ඇතුළේ සටනින් කාලය හරස් වී කවුරු දිනයිද කවුරු පරදියිද කියා තවම කිව නොහැකිය. එහෙත් එහි අවසානය පක්ෂය දෙකඩ වීම නම් එයින් ජය ලබන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයාය.

ප්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් දැනට පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂය. අගෝස්තු 11 වැනිදා වනවිටම ඔහුට අපේක්ෂකත්වය ලැබීම වේලාසන වැඩි බවට මතයක් තිබුණත් පක්ෂ ඇතුළේ අලකලංචිවල ස්වභාවය අනුව බලන විට ලංකාවේ අලුත්ම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සටනකින් තොරවම අවසන් කිරීමට සමත්විය. ජවිපෙද ඒ අතින් සිටින්නේ ඉදිරියෙනි. ශ්‍රීලනිපය රටේ වත්මන් ජනාධිපතිගේ පක්ෂය වුවද එය දැනට නම් සිටින්නේ පඹගාලක පැටලිලාය. යූ.එන්.පී.යේත් සෙසු පක්ෂවලත් පටලැවිලි වලින් නිසැකවම වාසිය ලබන්නේ ගෝඨාභය බවට සැකයක් නැත. එහෙත් ජනාධිපතිවරණය සඳහා තව මාස කිහිපයක් තිබේ. 2015 ජනවාරි 08 වැනිදා රටේ විශාලම දේශපාලන පෙරළියක් කළ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අදාළව වැදගත්ම තීන්දුව වූ ජයග්‍රාහී අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළේ ඊට දින 46 කට පෙර බව කවුරුත් අමතක කළ යුතු නැත.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00