2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 25

ජනපතිවරණයට ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රීලනිපය තීරණය කර ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රී වීරකුමාර දිසානායක පසුගිය බ්‍රහස්පතින්දා (05) මාධ්‍යයට ප්‍රකාශ කළේය. මේ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ශ්‍රීලනිපය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද නැද්ද පිළිබඳ තීන්දුව පසුගිය අඟහරුවාදා (03) පැවැති පක්ෂ මහ සමුළුවේදී ප්‍රකාශ කරන බවය. එසේ වුවද ජනාධිපති ද කතා කළ එම සමුළුවේදී ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොකෙරුණි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තම ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් පසුගියදා ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය සති ගණනාවක් තිස්සේ සන්ධාන ගතවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියි. එළඹෙන ජනාධිපතිවරණයේදී එකිනෙකාගේ සහයෝගය ලබාගනිමින් ක්‍රියාකිරීමේ අපේක්ෂාවෙන් සාකච්ඡා පවතින අතර ජනාධිපති සිරිසේන සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ හමුවී එම සාකච්ඡා අවසන් අදියරට ගෙනයාමේ සැලැසුම් පිළිබඳ කතා කර ඇති බවද සඳහන් වේ.

- ඩේලි එෆ්.ටී.

වත්මන් පා. මන්ත්‍රීන්ට මත්පැන් බලපත් ලබාදී නැතිලු

පසුගිය 2015 මහ මැතිවරණයේ තේරීපත්වූ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මත්පැන් බලපත් නිකුත් කර නැතැයි මුදල් අමාත්‍යාංශය පසුගිය බ්‍රහස්පතින්දා (05) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. සංචාරක ව්‍යාපාරය වර්ධනය කරගැනීමේ අරමුණින් සංචාරක මණ්ඩලය මගින් අනුමත කරන ලද හෝටල් අයිතිකරුවන්ට මත්පැන් බලපත් නිකුත් කළත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිසිවකුටත් ඒවා නිකුත් නොකළ බවද එම නිවේදනයේ දැක්වෙයි.

මේ වනවිට රට පුරා බලපත් සහිත මත්පැන් හල් 4910ක් පවතී. එයින් 1100ක් සිල්ලර අලෙවියේ නියුක්තය. හෝටල් 1567ක්ද රෙස්ටූරන්ට් 554ක් ද වෙයි. සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වයින් සහ බියර් අලෙවිසල් 368ක් සඳහා බලපත් ලබාදී ඇති අතර රා තැබෑරුම් 200කට ද බලපත් ලබාදී තිබේ. රාබීම හල් 1,080ක් සඳහා ද බලපත් ලබාදී ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව මගින් පනවා ඇති කොන්දේසි සපුරන ඕනෑම පුද්ගලයකු හෝ කාන්තාවකට හෝ මත්පැන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා අයැදුම් කළහැකි බවද නිවේදනය කියයි.

- ඩේලි එෆ්.ටී.

මේ ආණ්ඩුව දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළේ නෑ

- සුමන්තිරන්

“ද හින්දු* පුවත්පත් ශ්‍රී ලංකා නියෝජිත මීරා ශ්‍රී නිවාසන් සමඟ ටී.එන්.ඒ. ප්‍රකාශක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් තම කොළඹ නිවෙසේ සිට සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ආණ්ඩුව දෙමළ ජාතිකයන්ට බලාපොරොත්තු ඇති කර ඒවා ඉටුකිරීමට අසමත් වීම හේතුවෙන් දෙමළ ජනතාව කනගාටුවට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.

දීර්ඝ සාකච්ඡාවක් වූ එහිදී ප්‍රශ්න කිහිපයකට සුමන්තිරන් ලබාදුන් පිළිතුරැ කෙටියෙන් මෙසේය.

එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කඳවුර තම අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණු අනුර කුමාර දිසානායක තරග කරවනවා. යූ.එන්.පී. තවම අපේක්ෂකයා නම් කර නෑ. 2015දී ඔබ සහාය දුන් ආණ්ඩුව පොරොන්දු ඉටුකර නෑ. ඔබේ අදහස....

2015දී අපි අපේක්ෂකයාට සහාය දුන්නේ පොරොන්දු කිහිපයක් උඩයි. දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීමට අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් ප්‍රමුඛ පොරොන්දුවක් වුණා. ප්‍රධාන පක්ෂ දෙක ඒකාබද්ධව බිහිවෙන ආණ්ඩුව ඒ පොරොන්දු ඉටුකරනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වුණා. 1994 පටන් මේ රටේ ජනතාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බවට පැහැදිලිව තීන්දු කර තිබෙනවා. ඒ වුණත් එය ඉටුවුණේ නෑ. ඔවුන් අහෝසි කරන බවට පොරොන්දු වූ විධායක ජනාධිපති තනතුර සඳහා යළිත් වරක් කෙනකු තෝරාපත් කර ගැනීම සඳහා එක් අපේක්ෂකයකුට හෝ තවත් අපේක්ෂකයකුට හෝ සහාය ලබාදිය යුතු තත්ත්වයක් දැන් උදාවී තිබෙනවා. මේ සිදුවීම්වලින් අපි කලබල වෙන්නේ නෑ. සියලු පක්ෂ තම අපේක්ෂකයා නම් කර තම ප්‍රතිපත්ති ප්‍රකාශ දෙනතුරු අපි බලාසිටිනවා. අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගන්නවා. අපට හදිසියක් නෑ.

එහිදී ඔහු මෙසේද කියා තිබිණි. “රාජපක්ෂවරැන් දෙමළ ජනතාවට පැහැදිලිව කියා තිබෙනවා අයිතිවාසිකම් සම්බන්ධයෙන් හුඟාක් බලාපොරොත්තු තබා නොගත යුතු බව. මේ ආණ්ඩුව දෙමළ ජනතාව තුළ බලාපොරොත්තු ඇති කළත් එය ඉටුකිරීමට අසමත් වුණා. අපේ ජනතාව ඉතාම කනගාටුවට පත්ව සිටිනවා.

- ද හින්දු 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00