ජනාධිපතිවරණයක් තවම ප්‍රකාශයට පත්කර නැත. එහෙත් මෙරට දේශපාලන ඉතිහාසයේ පැරුණිම පක්ෂ දෙක බරපතළ අර්බුදයකට මුහුණ දී සිටී.
නිදහසේ පියා වශයෙන් විරුදාවලි ලත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක විසින් පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය පෙනි පෙනී විශාල අර්බුදයක එළිපත්තේ සිටී. මෙතෙක් දවසක් ඇදි ඇදී තිබුණු ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් සජිත් නම් කළයුතු බවට වන හඬ නැගීම යටපත් කරමින් සිකුරාදා (06) පස්වරැවේ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ තමන් ඉදිරිපත් වන බවට කළ ප්‍රකාශය සමඟ එම සටන වෙනම හැරවුමකට ගියේය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදී සජිත් ජනාධිපතිවරණ අපේක්ෂකයා කළ යුතු බවට කෙරුණු යෝජනාවට පක්ෂ නායක රනිල් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකුගේ කැමැත්ත ලැබුණේ නැත. උණුසුම් විවාදාත්මක තත්ත්වයක් යටතේ පැවැති මේ රැස්වීමේදී අගමැති රනිල් ජනාධිපති අපේක්ෂකයා වීමට ගනු ලැබූ තීරණයේ ප්‍රතිඵල කුමක් වනු ඇතිදැයි ඉදිරි සතියේදී බලාගත හැකිවනු ඇත.
යූ.එන්.පී.යේත් ශ්‍රීල.නි.ප.යේත් බල අරගලවලට දිගු ඉතිහාසයක් තිබේ. ශ්‍රීලනිපය බිහිවූයේද යූ.එන්.පී.ය ඇතුළේ හටගත් බල අරගලයක් හේතුවෙනි. ඉන්පසුව ශ්‍රීල.නි.ප.ය ඇතුළේ සිරිමාවෝ මැතිනියත් චන්ද්‍රිකා දියණිය සහ අනුර පුතු අතරත් බල අරගල ඇතිවිය. චන්ද්‍රිකා ශ්‍රීලනිපයෙන් කැඩී වෙන්වී ගොස් තම සැමියා වූ විජය කුමාරතුංග සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටුවා ගත්තේය. විජය ඝාතනයෙන් පසුව රටහැර ගොස් සිටි චන්ද්‍රිකා ආපසු පැමිණ බස්නාහිර පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූයේ තම මව නායකත්වය දුන් ශ්‍රීලනිපයෙනි. ඉන්පසුව පැවැති මහ මැතිවරණයේදි චන්ද්‍රිකා රැල්ල මත නැගී ආණ්ඩුවද පිහිටුවා අගමැති තනතුරට පත්විය. ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ චන්ද්‍රිකා 1994 දී රටේ ප්‍රථම ජනාධිපතිනිය වශයෙන් දිවුරුම් දුන්නාය.
අනුර තම මව සමඟ පක්ෂ නායකත්වය ඉල්ලා සටන් වැදී එම සටන ජයගත නොහැකි වූ තැන යූ.එන්.පී.යට එක්වූයේය. ඉන්පසුව යළි ශ්‍රීලනිපයට එක්වූ අනුර මියයනතුරැ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළේය.
චන්ද්‍රිකාගෙන් පසු ශ්‍රීලනිපයේ නායකත්වය ගත් මහින්ද 2015 වනතුරැ එහි කටයුතු කර මැතිවරණ පරාජයෙන් පසුව පක්ෂ නායකත්වය මෛත්‍රීපාල ජනාධිපතිවරයාට බාරදී ගෙදර ගියේය. ශ්‍රිලනිපය ඇතුළේ එදා හටගත් බල අරගලය අවසන් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) බිහිවීමෙනි. පොහොට්ටුව ඉතා ඉක්මණින් ශ්‍රිලනිප සාමාජිකයන් අති බහුතරයකගේ ආකර්ෂණය ඉතා ඉක්මණින් දිනාගැනීම හේතුවෙන් මෙරට දේශපාලන ඉතිහාසයේ වඩාත්ම ඉක්මනින් ප්‍රබල බලපෑමක් ඇතිකළ පක්ෂය වශයෙන් ඉතිහාස ගතවිය. අද ශ්‍රීලනිපයට සිදුව තිබෙන්නේ පොහොට්ටුවේ පහනින් එළිය බැලීමටය.
බණ්ඩාරනායක කඩාගෙන ගොස් අලුතින් ශ්‍රිලනිපය පිහිටුවායින් පසුව යූ.එන්.පී.ය ඇතුළේ විවිධ ප්‍රශ්න වරින්වර ඇති වුවද හැත්තෑව දශකයේ මුල්භාගයේදී ඩඩ්ලි සහ ජේ.ආර්. අතර ඇතිවූ විරසකය තරම් ඒවා එළියට ආවේ හෝ පක්ෂයේ පැවැත්මට බලපෑමක් හෝ කළේ නැත. ඒ ප්‍රශ්නය කොතරම් දුරදිග ගියාදැයි කිව්වොත් වරක් ජේ.ආර්. සිරිමාවෝගේ රජයට සහාය දැක්වීමට පවා අදහසක් ඇතිකරගෙන තිබිණි. එහෙත් 1973 දී සිදුවූ ඩඩ්ලිගේ අභාවයෙන් පසුව නායකත්වයට පත්වූ ජේ.ආර්. 1988 දෙසැම්බරයේදී පැවැති ජනාධිපතිවරණයේ ප්‍රේමදාස ජයගන්නා තුරැ පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කළේය.
යූ.එන්.පී.යේ ඉන්පසුව දරුණුම කැඩීයාම සිදුවූයේ ප්‍රේමදාස ආණ්ඩුවෙන් ලලිත් - ගාමිණී ඇතුළු අට දෙනෙකු ඉවත් කිරීමත් සමඟිනි. ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස දිනවීමට ලොකුම වැඩකොටසක් කළ ලලිත් - ගාමිණී සහ ජී.ඇම්. ප්‍රේමචන්ද්‍ර වැනි අය දිගින් දිගටම කොන් කිරීම හේතුවෙන් හටගත් විරසකය උච්ඡස්ථානයකට පත්වූයේ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමත් සමඟය. එයට බොහෝ දෙනෙකු අත්සන් කර තිබුණත් ප්‍රේමදාස තමන්ගේ තෙම්පරාදු දේශපාලන ගේම් හරහා දෝෂාභියෝගය අස්කර ගන්නා තැනට කටයුතු යෙදූවිට ඉතුරු වූයේ ලලිත් - ගාමිණී ඇතුළු 08 දෙනකු පමණි. නඩු කිව්වත් එයින්ද පරාජය වූ මේ පිරිසට සිදුවූයේ යූ.එන්.පී.යෙන් එළියට බැස අලුත් පක්ෂයක් හදාගෙන යළි දේශපාලනයට පිවිසීමටය. කෙසේ වුවද ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වශයෙන් පිහිටුවනු ලැබූ එම පක්ෂයට යූ.එන්.පී.යෙන් ආකර්ෂණය කරගත හැකිවූයේ ඡන්ද ලක්ෂ 10කට අඩු ප්‍රමාණයකි. එයට එක් හේතුවක් වූයේ ප්‍රේමදාස ඒ කාලය තුළදී රටේ විවිධ පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඈත ගම් නගරවල උදාගම්, ඇඟලුම් කම්හල් වැනි සංවර්ධන ක්‍රියා දියත් කර තිබීමය. මේ නිසා ලලිත්ලාගේ ප්‍රේමදාස විරෝධී සටනට වැඩිපුර ආකර්ෂනය වූයේ කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල පිරිස් පමණි. පසුව ගාමිණී යළි යූ.එන්.පී.යට එකතු වූයේ ඒ වනවිට ඝාතනය කර තිබූ ප්‍රේමදාසගේ ඡායාරෑපයකට මල්දමක් පළඳවා උපහාර දැක්වීමෙන් පසුවය. ඒ වනවිට ලලිත්ද ඝාතනය වී සිටියේය. පසුව ගාමිණීද කොටි බෝම්බවලින්ම ඝාතනයට ලක්විය. ඒ වනවිට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වී සිටි රනිල්ට ඉන්පසුව පක්ෂයේ නායකත්වය හිමි විය.
ප්‍රේමදාසගේ කාලයේ පක්ෂය තුළ ඇතිවූ එම පිපිරීමෙන් යූ.එන්.පී.යට සිදුවූ හානිය කෙදිනකවත් මැකිය නොහැකි තරම් විය. ප්‍රේමදාසගෙන් පසුව මේ දක්වා ජනාධිපතිවරණයකදී යූ.එන්.පී. අපේක්ෂකයාට ජයගත නොහැකි වීම එම හානිය පෙන්නුම් කරන ලොකුම සාධකයයි. ඉන්පසුව යූ.එන්.පී.යට ආණ්ඩුවක් පිහිටුවාගත හැකිවූයේ 2001 දෙසැම්බර් පැවැති මහ මැතිවරණයෙනි. එම ආණ්ඩුවද පවත්වා ගත හැකිවූයේ යාන්තම් වසර දෙකක් පමණි. දේශපාලන වෙට්ටුවක් දමා රනිල් අගමැතිව සිටි එම ආණ්ඩුව වැට්ටූ එවක ජනාධිපතිනි චන්ද්‍රිකා ඉන්පසුව 2004 දී මහ මැතිවරණයක් පවත්වා යූ.එන්.පී. ආණ්ඩුව නැති කළාය. ඊට පසුව යළි බලයට ඒම සඳහා යූ.එන්.පී.යට 2015 වනතුරු වසර 11ක් බලා සිටීමට සිදුවිය. එහෙත් පත්වූයේ යූ.එන්.පී. ජනාධිපතිවරයෙක් නොවේ. කලින් යූ.එන්.පී. ආණ්ඩු වැට්ටූ චන්ද්‍රිකාගේ සහාය ඇතිව ශ්‍රිලනිප ලේකම් වශයෙන් සිටි මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කොට ජනාධිපතිවරණය දිනා ගැනීමට යූ.එන්.පී.ය සමත් විය. ඉන්පසුව පැවැති මහ මැතිවරණයෙන් ආණ්ඩුව පිහිටුවා ගැනීමට එම ජයග්‍රහණය හේතු විය. එහෙම අතීතයකට පසුව අද යළිත් යූ.එන්.පී.ය බරපතළ අභ්‍යන්තර අර්බුදයකට මුහුණ පා සිටින බව පැහැදිලිය.
කෙසේ වුවද ශ්‍රීලනිපයේ තත්ත්වය මීට වඩා වෙනස්ය. එම පක්ෂය ඇතුළේ හැට ගණන්වල මුල්භාගයේදී සී.පී. ද සිල්වාට පක්ෂය හැර යන තැනට වැඩ කිරීම හැරැණු විට පසුකාලයේ මව සහ දූ පුතුන් අතර බල අරගලවලට පමණක් ඔවුන්ගේ දේශපාලන අර්බුද සීමා විය. එහෙත් 2015 දී සිරිසේන මහතාගේ දේශපාලන කරණම එම පක්ෂය බරපතළ කඩා වැටීමකට දොරගුළු හැර දුන්නේය. අද වනවිට ශ්‍රීලනිපයට පොහොට්ටුවේ පිහිට පැතීමට සිදුව තිබීම එහි ප්‍රතිඵලයයි. එහෙත් පක්ෂය රැක ගනිමින් ඉදිරියට යා යුතු බවට සටන් කරන කිහිප දෙනකු පක්ෂය ඇතුළේ රැඳී සිටීම හේතුවෙන් තත්ත්වය ව්‍යාකූල වී තිබේ. ඒ සමඟ වත්මන් ශ්‍රීලනිප නායක රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරින්වර ඉදිරි දේශපාලනය ගැන කරන කියන එකිනෙකට වෙනස් කතා හේතුවෙන්ද රටේ දේශපාලන කරළිය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙන බව පැහැදිලිය. එයට ආසන්නම උදාහරණය ලැබුණේ පසුගියදා පැවැති සංවත්සර සමුළුවේදීය.
ශ්‍රීලනිපය අද වැටී සිටින තත්ත්වය සලකන විට එම සමුළුව ඉතා සාර්ථක වූ බව දැකගන්නට තිබිණි. විශාල ජනකායක් එක්ව සිටි අතර පක්ෂය වෙනම සටන් කළයුතු තත්ත්වයක සිටින බවට හැඟීමක් ඒ අවස්ථාවේදී ඇති වුණා නම් ඒ ගැන පුදුම විය යුතු නැත. එහෙත් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරගේ කතාවත් ජනාධිපතිවරයා සඳහන් කළ කරුණු කිහිපයකුත් පොහොට්ටුවේ නායකයන්ගේ කනට අමිහිරි තත්ත්වයක් ඇතිකර තිබෙන බව පැහැදිලිය. එහිදී කළ කතාවලදී පොහොට්ටුව සමඟ පවතින දේශපාලන ගනුදෙනුවට හානිවිය හැකි සඳහන් කිරීම් කිහිපයක්ද තිබිණි. කෙසේ වුවත් පොහොට්ටු නායක මහින්දත් තම තෙම්පරාදු දේශපාලනයෙන් පිළිතුරු දී තිබුණි. පොහොට්ටුවේ වෙනත් ජ්‍යෙෂ්ඨයෝද ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයටමය. එහෙත් ඉන් දින තුනකට පසුව තමන්ද ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ශ්‍රීලනිපය මැතිවරණ කොමිසමට දැනුම් දීම තවත් දේශපාලන ජිල්මාට් එකක්දැයි දැකගත හැකිවන්නේ ඉදිරියේදීය. පොහොට්ටුව මේ ගැන වඩා විමසිලිමත්ව ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු විය යුතුය.
යූ.එන්.පී.ය නම් තම ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රශ්නය විසඳාගන්නට යන්නේ තවත් අර්බුදයකට මගපාදමින් බව පැහැදිලිය. රට තුළ යූ.එන්.පී. පාක්ෂිකයන් බහුතරයගේ ඉල්ලීම සජිත් බව පැහැදිලිව පෙනී තිබියදීත් එය නොසලකා ක්‍රියා කිරීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තීන්දු කර ඇත්තේ ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා කුමක් හෝ වැඩපිළිවෙළක් තමන් සතුව ඇති නිසා විය යුතුය. එහෙත් කුමන සැලැස්මක් තිබුණත් වඩාත් වැදගත් වන්නේ මුලින්ම යූ.එන්.පී. පාක්ෂිකයන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමය. සජිත් ඉල්ලා අවසන් වරට පැවැති කුරුණෑගල රැලියේදී පක්ෂයේ ඡන්ද පදනමේ නැඹුරැව ඇත්තේ කොතැනදැයි පැහැදිලිව දැකගත හැකි විය. එදා ලලිත්ලා ගාමිණීලා ප්‍රේමදාස පක්ෂ නායකයා සමඟ විරසක වී ගන්නා ලද තීරණය වැනි තීරණයක් මෙදා රනිල් වික්‍රමසිංහ සමග විරසක වී සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහු වටා සිටින මැති ඇමැතිලා ගනු ඇද්දැයි කියා නම් දැන්ම නම් කීම අමාරුය.
- ශශීන්ද්‍ර