2017 මාර්තු 11 වන සෙනසුරාදා

දඹුල්ලට ආ අමුතු සැත්කම

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

දඹුල්ල රෝහලේ ක්‍රියාත්මක වූ අනිවාර්ය උපත් පාලන ක්‍රමය ආන්දෝලනාත්මක පුවත් මැවීය. පෞද්ගලික මානව නිදහස පිළිබඳ සංවේදී ප්‍රශ්නයක් වන උපත් පාලනය බලෙන් කරන්නට යාමෙන් රෝහල් බලධරයෝ වැඩේ අනාගෙන තිබිණි. එහෙත් ඊට එල්ල වූ මහජන විරෝධය හමුවේ මෙම වැඩපිළිවෙළ නතර කළ බව පසුව සඳහන් කළේය.

මාධ්‍යයෙන් වාර්තා කරන තෙක් මේ කතාව සැඟවුණ රහසකි. දරුවකු ඉපැදී පැය 48ක් තුළ සෑම මවක්ම උපත් පාලන ලූපය පැළඳීම අනිවාර්ය කළ රෝහල් පාලකයෝ ඊට අකමැති වන අයට උප්පැන්න සහතිකය ලබාගැනීමට අවසර නොදීම වැනි තවත් අනීතික ක්‍රියාවන්ට මුලපුරා තිබූ බව කියැවේ. ඊටත් වඩා බරපතළ කරුණ වූයේ මෙම කාන්තාවන්ට අලුත උපන් බිළිඳා සමඟ තම නිවෙස්වලට යන්නට අවසර නොදීමයි. එක් අතකින් හද කම්පා කරවන පුවතක් වූ මේ කතාවෙන් නැගුණ ආවේගයන් ක්ෂණිකව මුළු මහත් රටපුරාම ව්‍යප්ත විය. පළාතේ මහා සංඝරත්නය රෝහලට ගොස් වගකිවයුත්තන් සමග ඒ ගැන සාකච්ඡා කිරීමේදී හෙළිදරව් වූයේ තවත් බරපතළ කරුණකි. එනම් රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාචික නියෝගයක් මත දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා උපත් පාලනයට තීන්දු කළ බවය.

මානව සමාජයේ බැඳීම්වලට අභියෝග කළ මෙම තීන්දුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ වෙන කවුරුන් හෝ ගත්තේ කුමන නීතිමය පදනමකින්ද යන්න දැන් සෞඛ්‍ය බලධරයන් රටට පැහැදිලි කළ යුතුය. ප්‍රජනන ශක්තිය ඇති මවක හෝ පියකු දරුවකු ලබාගන්නේද නැත්ද යන්න තීරණය කරන්නේ සිය පෞද්ගලික අභිමතය පරිදිය. රජයට හෝ වෙනත් බලවේගයකට එය වළක්වන්නට තිබෙන අයිතිය කුමක්ද කියා අපට නම් පැහැදිලි නැත. මෙය බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය කිරීමකි. මෙබඳු සිද්ධියක් මෑත ඉතිහාසයේ රජයක මැදිහත්වීමෙන් සිදුකළ බව අප අසා ඇත්තේ මෙයට වසර 40කට පමණ පෙර ඉන්දියාවේය. එවකට එරට අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ ප්‍රධාන උපදේශකයා වූ ඇයගේ බාල පුත් සංජේ ගාන්ධි ඉන්දීය ජනගහන වර්ධනය අවම කිරීමට බලෙන් ජනතාව වන්ධ්‍යාකරණයට යොමු කළේය. සැත්කමින් පසු ඊට මුහුණදුන් අයට එළවළු තෙල් ටින් එකක් හෝ කුඩා ට්‍රාන්සිස්ටර් ගුවන් විදුලි යන්ත්‍රයක් තෑගි ලෙස ලැබිණි. සංජේ ගාන්ධිගේ මෙකී ප්‍රයත්නය ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඉන්දිරා ගාන්ධි අගමැතිවරියගේ රජය 1977 මහමැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වීමටත්, ගාන්ධි අගමැතිනියට තමන් නියෝජනය කළ මන්ත්‍රී ආසනය පවා අහිමිවීමටත්, මෙම වඳ සැත්කම් ව්‍යාපෘතිය දැඩි ලෙස බලපෑ බව පසුකාලයේ දේශපාලන විචාරකයෝ පැවසූහ.

ඉන්දියාවේ ජනතාව මත බලෙන් වඳ සැත්කම් ව්‍යාපෘතිය පැටවූයේ බලයේ සිටි ආණ්ඩුවේ දේශපාලනඥයන්ය. එහෙත් දඹුල්ලේ වඳ සැත්කම් සඳහා මුල් වී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නම් එය පුදුම සහගත තත්ත්වයකි.
කෙසේ හෝ දඹුල්ලේ සිද්ධිය ගැන දැන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය කාලයේ මෙකී සැත්කම්වලට මුහුණ දුන් කාන්තාවන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් බලහත්කාරයෙන් පවුල් සැලැසුම් කටයුතු සඳහා යොමුකළේද යන්න ලිඛිතව ලබාගන්නා බව පරීක්ෂණ කණ්ඩායම පවසා තිබේ. කවර තත්ත්වයක් යටතේ හෝ මේ ගැන වහා කඩිනම් පියවරක් ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශයේ හා රජයේ වගකීමය. පවුල් සැලසුම නරක දෙයක් හෝ වරදක් යයි අපි නොකියමු. එහෙත් ජනතාව මත බලහත්කාරයෙන් පවුල් සැලැසුම පටවන්නට අමාත්‍යංශ බලධරයන්ම තැත් කළේ කාගේ වුවමනාවටද යන්න වහා රට දැනගත යුතුය. මන්ද මෙය ඉතා සංවේදී කතාවක් බැවිනි.

දරැවන් රටට සම්පතකි. ජාතියේ අනාගතය නිර්මාණය වන්නේ ඔවුන් අතිනි. වර්තමානයේ අනෙක් සෙසු ජාතීන්ගේ ජනගහනය වර්ධනය වෙද්දී සිංහල ජනගහනයේ වාර්ධනය මන්දගාමී බව ඇතැම් සමාජ පර්යේෂකයෝ පවසති. මේ තත්ත්වය තවත් සියවසක් පමණ පැවතියහොත් සිංහල භාෂාව පවා ලොව මළ භාෂා ගොන්නට වැටෙන්නට ඉඩ ඇතැයි වාග් විද්‍යාඥයන්ද ලෝක මානව ජනාවාස කාර්යාංශයද මෙයට වසර ගණනාවකට පෙර ප්‍රකාශ කර තිබිණි. එබැවින් දඹුල්ලේ වන්ධ්‍යාකරණ ව්‍යාපෘතිය කිසියම් නොපෙනෙන බලවේගයක මෙහෙයුම යටතේ සිදුවන්නක්දැයි සොයාබලනු වටී.

කෙසේ වෙතත් තමන්ගේ අභිමතය නොමැතිව යමෙක් කිසියම් මානව ක්‍රියාකාරකමකට බලෙන් පොළඹවයි නම් එය බරපතළ වරදකි. නීතිය හමුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. දඹුල්ලේ සිද්ධියට පහසුවෙන් අමතක කර දමා සිටීම කිසිසේත්ම නොකළ යුතුය. එසේම බොහෝ මානව හිමිකම් ප්‍රශ්න ගැන මහ හඬින් ගොස නගන මානව හිමිකම් ක්‍රියාධරයන් හා සිවිල් සංවිධාන දරුවන් ලැබීම උදෙසා යුවතිපතීන්ට ඇති අයිතිය හා නිදහස මෙලෙස අමු අමුවේ උල්ලංඝනය කරන අත්තනෝමතික ක්‍රියාදාම හමුවේ මුනිවත රුකීමද කනගාටුවට කරුණකි.

කලකට පෙර චීනයේ දරු සම්පත එක් දරුවකුට සීමා කිරීමේ නීතියක් පැනවූයේ එරට සීඝ්‍රයෙන් වැඩිවන ජනගහනය පාලනය කිරීමේ උපක්‍රමයක් වශයෙනි. එහෙත් ලංකාවේ එවැනි ජනගහන ගැටලුවක් නැත.  එබැවින් කිසිදු නෛතික නිර්ණායකයකින් තොරව පුද්ගල අභිලාෂ අනුව මෙවැනි බරපතළ තීන්දු තීරණ ගත් සහ ඒවා ක්‍රියාත්මක කළ සියලු පාර්ශ්ව වෙත අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් බව අපි නොවලහා ප්‍රකාශ කරමු.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00