අද (15) සිට මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව ප්‍රකාශ විය. ඉදිරි සති දෙක ඇතුළතදී ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට ඒ අනුව ඉඩකඩ තිබේ. සමහරුන්ගේ මතයට අනුව ජනාධිපතිවරණය ලබන 26 වැනිදා නිවේදනය කිරීමට කොමිසම සූදානමින් සිටී. එසේ වුවහොත් ජනාධිපතිවරණය බොහෝ දුරට නොවැම්බර් මාසයේ 15 වැනිදාත් 30 වැනිදාත් අතර දිනක පැවැත්වීමට ඉඩකඩ විවෘතය.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන යූ.එන්.පියට එතරම් වගක් තිබෙන බවක් පෙනෙන්නට නැත. සජිත් - රනිල් අපේක්ෂක කඹ ඇදීම එයට හේතු වී තිබෙන බව පැහැදිලිය. ශ්‍රීලනිපයත් දිනය පිළිබඳව අවධානයකින් පසු වුණත් වඩාත්ම ඒ ගැන උනන්දුව දක්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු (පොහොට්ටුව) බව පෙනෙයි.
පසුගිය සිකුරාදා (13) පළවූ පුවතකින් කියැවුණේ මැතිවරණ කොමිසමෙන් ශ්‍රීලනිපය දීර්ඝ දිනයකුත් පොහොට්ටුව ළඟම දිනයකුත් ජනාධිපතිවරණය සඳහා යොදවා ගන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇති බවය. එහෙත් ඒ ඉල්ලීමට කොමිසමෙන් පිළිතුරක් ලැබී නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ධූරය දරණ ජනාධිපතිවරයා යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙයි නම් ඒ සඳහා දින වකවානු තීරණය කිරීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමටය. එසේම මහින්ද ජනාධිපතිවරයා වීමෙන් පසුව 2015 දක්වාම සියලු මැතිවරණ පැවැත්වෙන දින තීරණය කළේ මහින්ද බව ප්‍රකට රහසක් විය. එහෙත් මැතිවරණ කොමසාරිස් හෝ මැතිවරණ කොමිසම හෝ මෙය කවදාවත් සනාථ කර හෝ ප්‍රතික්ෂේප කර හෝ නැත.
ඒ දිනවල කටින් කට ගිය කතාව වුණේ ඡන්දය තබන දිනය මැතිවරණ කොමසාරිස්වරයා නොව රජගෙදරට සම්බන්ධ දෛවඥයකු හෝ දෛවඥයන් පිරිසක් විසින් හෝ තීරණය කරන බවය. එහි ඇත්ත නැත්ත කුමක් වුවද බොහොමයක් වැදගත් මැතිවරණ පැවැත්වුණේ මහින්දලාට වාසනාව ගෙන දෙන මාසයේ දවසක් වශයෙන් සැලකෙන 08, එසේත් නැත්නම් 17 හෝ 26 දිනවල බව ඒ ගැන විමසීමේදී පෙනී යයි. කෙසේ වුවද 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී පමණක් දිනයේ වාසනාව මහින්දට ලැබුණේ නැත. ඒ දවස්වල කියැවී තිබුණේ ඡන්ද දිනය පමණක් නොව නාමයෝජනා සඳහා දින වකවානු ද දෛවඥයන් පිරිසකගේ ඕනෑ එපාකම් මත තීරණය වූ බවය. මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් මේ වතාවේ එය වෙනස් වී තිබෙන බව පැහැදිලිය.
දැන් බලයේ සිටින්නේ පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙකි. ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන සතුව විධායක බලය තිබෙන අතර ව්‍යවස්ථාදායක බලය ඇත්තේ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ සතුවය. මේ අතුරින් වඩාත් බලගතු කුමන නායකයා සතු බලතල ද යන්න අද විවාද සම්පන්න මාතෘකාවකි. එහි ප්‍රතිඵලය වී ඇත්තේ අතරමග ඇනහිට ඇති පාලනයකට රටේ ජනතාව මුහුණ දී සිටීමය. එසේම පාලනයට සම්බන්ධ මේ පාර්ශ්ව දෙකේම ප්‍රධාන පක්ෂ බරපතළ ලෙස භේදභින්න වී සිටීමය. මේ නිසා තමන්ට අවශ්‍ය දිනක ජනාධිපතිවරණය පවත්වා ගැනීමේ අවස්ථාව මේ පක්ෂ දෙකටම අහිමි වී යාමට හොඳටම ඉඩ තිබේ.
ඒ කෙසේ වෙතත් 2015 දී ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන දිනය ළංවෙන විට තිබූ අවිනිශ්චිතභාවය සහ කුතුහලය වැනි තත්ත්වය මේ වතාවේ ද දකින්නට තිබේ. එය ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙනි. එවකට ජනාධිපතිව සිටි මහින්ද ජනාධිපතිවරණයට තමාම තරග කිරීමට කළ තීරණයත් එය තම ධූර කාලයෙන් වසර 2 ක් ඉතිරිව තිබියදී පැවැත්වීමට ගත් තීරණයත් සම්බන්ධයෙන් පක්ෂය ඇතුළෙන්ම විරෝධය පැන නැගුණේය. විශේෂයෙන් මහින්දට සෑම පැත්තකින්ම සංවිධාන කටයුතු සඳහා සහාය දුන් බැසිල්ට එරෙහිව එළිපිටම පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගෙන් දෝෂාරෝපණ එල්ල විය. පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා පක්ෂය අතහැර ගොස් පොදු අපේක්ෂකයා වෙන බවට ආරංචි පැතිර ගියද එය වළක්වාගත හැකි තත්ත්වයක් බවට විශ්වාසයක් මහින්ද තුළ තිබූ බවද පෙනී ගියේය. එහෙත් එය නොවෙන බව දැනගත්තත් මහින්ද එතරම් කලබල නොවූයේ යූ.එන්.පී. මහ ලේකම් තිස්ස තමන්ගේ කඳවුරට ගැනීමට සියලු සැලැසුම් හදා තිබූ බැවින් විය හැකිය. නමුත් මහින්ද එතැනදී සිදුකළ ගණන් හැදීමේදී රටේ සුළු ජාතික ඡන්ද ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අවතක්සේරැවක සිටීම අවාසියක් විය. එම ඡන්දවලින් කිසියම් ප්‍රමාණයක් හෝ තිස්සගේ පැමිණීම හරහා සිදු කරගත හැකිවනු ඇතැයි සිතුවා නම් එය වැරදී ගිය බව ඡන්ද ප්‍රතිඵල වලින් පැහැදිලිව පෙනුණි.
2015 දී මහින්දලා එම ගැටලුවලට මුහුණදෙන විට රනිල්ලා හිටියේ තමන්ගේ සියලු උපක්‍රම සාර්ථක වීමේ තෘප්තියෙනි. මහින්ද පැරදවිය හැකි අපේක්ෂකයා තමන් සතුකර ගැනීමටත් ඒ සඳහා සුළු ජන ඡන්ද ලබාගැනීමට හැකියාව ලැබීමත් හේතුවෙන් ජනාධිපතිවරණය දිනාගෙන මහ මැතිවරණයෙනුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සමත් විය. එහෙත් තමන්ගේ අපේක්ෂකයා ජනාධිපති වී ඉන් පසුව තමන්ට අවශ්‍ය වූ පරිදි පාලනය කරගත නොහැකි වීමෙන් ආණ්ඩුව අතරමග කඩා වැටීමකට ලක් විය. යූ.එන්.පිය ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ එම කඩා වැටීමෙන් ඇතිවූ අතුරු ප්‍රතිඵල ද අතේ තබාගෙනය. මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තුළ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඊට එරෙහිව පක්ෂය තුළ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සජිත් ඉදිරියට ගෙන ඇවිත් තිබීමට හේතුවද එම කඩාවැටීමය. සජිත්ගේ එම ඉදිරිපත් වීම යූ.එන්.පිය බලාපොරොත්තු නොවූ පැත්තකට ඇදගෙන යමින් සිටී. නාමයෝජනා සඳහා තව ඇත්තේ මාසයක පමණ කාලයක් වුවත් අපේක්ෂකයා කවුදැයි තීරණයක් නැත. තමා ගත් තීරණයෙන් අඩියක්වත් පස්සට නොයන බව සජිත් කියද්දී අග්‍රමාත්‍යවරයාට සිදුවී ඇත්තේ එම තීරණය සජිත් ලවාම ඉවත් කරවා ගැනීමට සැලසුම් හැදීම පමණි.
අගමැතිවරයා දිගටම කියන්නේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තීන්දු කිරීම කෘත්‍යාධිකාරී කමිටුව පමණක් සතු වගකීමක් බවය. එහෙත් එය පිළිගැනීමට සජිත් පාර්ශ්වය සූදානම් නැත. සජිත් ඉල්ලන රුස්වීම් මාලාව පක්ෂයේ විනය කැඩීමක් බවට තීරණය කොට කිහිප දෙනකුට එරෙහිව විනය පියවර ගැනීමට සූදානම් වුවත් පක්ෂයේ සභාපති කබීර් හෂීම්, සජිත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම නිසා එයට ද බාධා ඇති විය. ඊළඟට දෙදෙනා සාකච්ඡා කොට තීන්දුවක් ගනිමු යැයි රනිල් යෝජනා කළ අතර එම සාකච්ඡාව සඳහා දෙපාර්ශ්වයම නියෝජනය කළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහභාගි වීම කැපී පෙනිණි. මින් පෙර පක්ෂයේ නායකයා වශයෙන් තනිවම හමුවී සාකච්ඡා කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ තීරණය කළ විට එම සාකච්ඡාවට වෙනත් කවුරුවත් සහභාගි වූයේ නැත. එම සාකච්ඡා පිළිබඳව විවිධ තොරතුරැ පළවන විට තමන්ට අවාසිදායක කරුණු පළ වුවත් ඒවා නිවැරුදි කිරීමට සජිත්ට අවස්ථාවක් නොතිබිණි. මෙවර සාකච්ඡා සඳහා සජිත් තනිව නොගොස් තමන්ට සහාය දක්වන කිහිප දෙනකුත් සම්බන්ධ කර ගත්තේ ඒ නිසා විය හැකිය. කෙසේ වුවත් එයට රනිල් කිසිම කැමැත්තක් දක්වා නොතිබුණු අතර සාකච්ඡාව ද තීරණයක් නැතිවම අවසන් විය. මාධ්‍යවලට පළ වූයේ දෙපැත්තේම සාමාන්‍ය තොරතුරැ පමණි.
ඊළඟට කෘත්‍යාධිකාරී කමිටුව මගින් පක්ෂයේ නායකත්වය තමන්ට 2020 අවසානය දක්වා ලබා දී ඇතැයි සඳහන් කරමින් නිවේදනයක් නිකුත් විය. ජනාධිපති තනතුරට පත්වන පුද්ගලයා පක්ෂයේ නායකයා ද විය යුතුය යනුවෙන් යූ.එන්.පී. ව්‍යවස්ථාවේ සඳහන් වගන්තිය 1994 වසරේ දී ඉවත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වී තිබිණි. මේ සිදුවීම දෙස බලන විට පෙනෙන්නේ සජිත් - රනිල් අපේක්ෂක අර්බුදය තවදුරටත් දිග්ගැසෙමින් පවතින බවය. එසේම තමන් ඉදිරියට තැබූ අඩිය පස්සට නොගන්නා බවට සජිත් දිගින් දිගටම දරණ ස්ථාවරය අනුව පෙනෙන්නේ තමන්ට අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් වඩාත් දැඩි පියවරක් ගැනීමට වුවද පසුබට නොවන බව විය හැකිය. එය පක්ෂය කඩාගෙන යාමක්දැයි දැන්ම තියා කියන්න බැරිය. එහෙත් සජිත්ට සමීපව හිඳිමින් අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා සටන් කරන ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම කියා තිබුණේ තමන් යූ.එන්.පීය කඩාගෙන යාමට අදහස් නොකරන බවය. පක්ෂය තුළ හිඳිමින් සජිත් අපේක්ෂකයා කරගෙන ජනාධිපතිවරණ සටන ජය ගැනීම තම බලාපොරොත්තුව බවය.
කෙසේ වුවද රනිල් දැන් තමන් සතුව තිබෙන තවත් තුරුම්පුවක් වන සුළු ජාතික ඡන්ද ලබාගැනීමට සජිත්ට තිබෙන හැකියාව ටෙස්ට් කර බැලීමට ද පියවර ගෙන තිබේ. ඒ සමඟ ජනාධිපතිවරණය ජයගත හැකි වැඩපිළිවෙළ තමන්ට ලිඛිතව ලබාදෙන ලෙසට ද ඔහු සජිත්ට පවසා තිබිණි. මේ සියල්ල මගින් පෙනී යන්නේ සජිත්ට අපේක්ෂකත්වය නොදී සිටීමට රනිල් හැකි හැම උත්සාහයක්ම දරණ බවය. ඡන්දය දිනන වැඩපිළිවෙළක් කොළ කැබැල්ලක සටහන් කර දෙන්නේ කුමන ජනාධිපතිවරණ අපේක්ෂකයා ද යන්න විවාද සම්පන්න මාතෘකාවකි. ඡන්ද යාන්ත්‍රණයක මුල්ම කොන්දේසිය යාන්ත්‍රණයේ රහස්‍යභාවය අවසානය තෙක් රඳවා ගැනීමය. එයට එරෙහිව කටයුතු කිරීම දේශපාලන වශයෙන් &හරාකිරි* කර ගැනීමකි. එවැනි හරස් ප්‍රශ්න දැමීම සජිත්ගේ ඉල්ලීම ඉටු නොකිරීමට ගන්නා උත්සාහයක් ලෙස කෙනකුට පෙනී යා හැකිය. ඒ කොහොම වුණත් 2015 දී ජනාධිපතිවරණ ජයග්‍රහණයේ පියා වූ යූ.එන්.පී.යට මෙවර එය අත ළඟට එද්දීත් අපේක්ෂකයා තෝරාගැනීමට නොහැකි වීම නම් කනගාටුදායක තත්ත්වයකි.
යූ.එන්.පී.ය එසේ අපේක්ෂක සටනේ හිරවී සිටින විට 2015 දී පැරදී මේ වනවිට අලුත් අපේක්ෂක ගෝඨාභය හරහා හිස ඔසවමින් සිටින මහින්දලාගේ පාර්ශ්වයද ලාංඡනයට හිර වී සිටී. ඔවුන්ගේ සටන ඇත්තේ ශ්‍රීලනිපය සමඟය. ශ්‍රීලනිපය නැතුව ජනාධිපතිවරණය ජයගත හැකි බවට අධි තක්සේරුවක් පොහොට්ටුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් තුළ තිබෙන බවත් පෙනෙන්නට තිබුණත් මහින්ද හෝ බැසිල් හෝ එසේ සිතන බවත් පෙනෙන්නට නැත. ඔවුන්ගේ උත්සාහය ශ්‍රීලනිපයට ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය කොතරම් වුවත් එය කෙසේ හෝ ගෝඨාභයට ලබාගැනීමටය. යූ.එන්.පී.යේ අපේක්ෂක ප්‍රශ්නය විසඳී සුළුජන පක්ෂවල, විශේෂයෙන් උතුරේ ටී.එන්.ඒ. සහ මුස්ලිම් පක්ෂවල සහාය එම අපේක්ෂකයාට ලබාගත හැකි වුවහොත් ශ්‍රීලනිපයේ ඡන්ද ප්‍රමාණය මසුරන් වටින බවට කතා දෙකක් නැත. ජ.වි.පෙ. ඇතුළු සිවිල් සංවිධාන වෙනමද පෙරටුගාමීන්ද ඇතුළු වෙනත් අපේක්ෂකයන්ද තරගයට බැසීමට සූදානමින් සිටියදී මහින්දලාත් යූ.එන්.පී.යත් පොට වරද්දා ගනීදැයි කියන්නත් බැරිය.
ශශීන්ද්‍ර