2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

ඒ පැත්ත මේ පැත්ත

අපේ රටේ දේශපාලනයේ ඇතැම් සිදුවීම් පෙළගැස්වීමේදී උඩින් පෙනෙන කතාවට වඩා යටි පෙළේ කතාව වඩා බලවත්ව කැපී පෙනෙයි. එවැනි සිදුවීම් දෙකක් පසුගිය දිනවල සිදුවිය. පසුගිය බ්‍රහස්පතින්දා (19) කැබිනට් රැස්වීමත්, හිටපු ගුවන් හමුදාපති සහ හිටපු නාවික හමුදාපති තරු පහේ තනතුරැවල පිහිටුවනු ලැබීමත් එම සිදුවීම් දෙකයි.

විධායකයේ ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන එම යෝජනාව පාර්ලිමේන්තුවෙන් ද සම්මත කර ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැරූ උත්සාහය මුළුමනින්ම ව්‍යාර්ථ වූයේ අගමැතිවරයා බලවත් අපහසුතාවයකට තල්ලු කරමිනි. යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට ජනාධිපතිවරයා ද එකඟත්වය පළකළ බව කියා තිබුණත් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ එම යෝජනාව අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමක් මත සිදු කෙරුණු බවය. යෝජනාව ගෝඨාභයට සහ සජිත්ට එරෙහිව සිදු කෙරැණු කුමන්ත්‍රණයක් බව දැන් සමහරැ චෝදනා කරති.

යෝජනාව ප්‍රතික්ෂේප වී කැබිනට් රුස්වීම විනාඩි 30ක් තරම් සුළු කාලයකදී අවසන් වූ විගසම ටී.එන්.ඒ. බලවත් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ට්විටර් පණිවුඩයක් හරහා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරෝධය පළකළ යහපාලකයන්*කෙරෙහි තමන් කනස්සල්ලට පත්වන බවය. මෙය අවස්ථාවාදීත්වයේ සහ ආත්මාර්ථකාමීත්වයේ නරකම පූර්වාදර්ශයක් බව ද ශතවර්ෂ කාලක් මුළුල්ලේ වන පොරොන්දුවක් අතහැර දැමීමක් බවද ඔහු කියා තිබිණි.

මේ හේතූන් නිසා ඇතැමුන් පවසන්නේ සජිත් සහ ඔහුට සහාය දක්වන පිරිස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විරැද්ධ බවට මතයක් ටී.එන්.ඒ. ප්‍රමුඛ දෙමළ පක්ෂ තුළට රිංගවා ඔවුන්ගේ සහාය සජිත්ට ලබාදීමෙන් වැළැක්වීමට මේ යෝජනාව ගෙන ආ බවය. එසේම ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් පොහොට්ටුවේ ඇතැම් නායකයන් අකැමැති බවට මතයක් ප්‍රචාරය කිරීමට ද එය උපයෝගී කරගනු ඇති බවය.

කෙසේ වුවද සජිත් එය කැබිනට් රුස්වීමෙන් පසුව ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක එය අහෝසි කිරීමට යෝජනා ගෙන ඒම ලැජ්ජා නැති වැඩක් බවය. මහින්ද රාජපක්ෂ මහතා කියා තිබුණේ තමන්ගේ පක්ෂය විධායක ජනාධිපති ක්‍රමයට එකඟ බවත් ගෝඨාභය තමන්ගේ අපේක්ෂකයා බවත්ය.

එසේ නම් පෙනී යන්නේ මෙවැනි යෝජනාවක් ගෙනඒමේ අරමුණු එකක්වත් ඉටු නොවූ බවය. 

වසර 10කට පසු ලැබුණු නිල උසස්වීම

අනෙක් අවස්ථාව ශ්‍රී ලංකා නාවික හමුදා විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විශ්‍රාමික චීෆ් මාෂල් රොහාන් ගුණතිලක තරු තත්ත්වයට ඔසවා තැබීමය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවක් අනුව පැවැත්වූ මෙම ගාම්භීර උත්සවය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.

පසුගිය රජය කාලයේ දී 2009 වසරේ යුද්ධය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ දී යුද ජයග්‍රහණයට උරදුන් කිසිදු ත්‍රිවිධ හමුදා නිලධාරියකුට මේ ආකාරයේ ඉහළම ගෞරව සම්මාන තනතුරැ ලබා දීමක් සිදු නොවීය. මෙවර උසස් තනතුරැවල පිහිටුවීමද වරින් වර කල් ගිය අතර 2019 අගෝස්තු 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව තනතුරු ක්‍රියාත්මකය.

මේ උත්සව අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හෝ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෝ සහභාගි වී සිටියේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සහභාගි වී සිටියේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පමණි. ආරක්ෂක රාජ්‍ය ඇමැති රැවන් විජයවර්ධන මහතා ද මේ අවස්ථාවට සහභාගි නොවීය.

උත්සවයේ හඳුන්වා දීම් සිදු කෙරුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවී විජේගුණරත්න මහතා විසිනි. කරන්නාගොඩ සහ ගුණතිලක නිලධාරීන් දෙදෙනා සම්බන්ධව වාර්තාමය චිත්‍රපට දැක්මක් ද විය.

කෙසේ වුවද මේ තනතුරැ උසස්වීම් සිදු වූයේ යුද්ධය නිම වී වසර 10කට පසුව වීම කැපී පෙනෙන කරැණය. මීට පෙර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ද එම තනතුරැ ලබා දුන්නේ වත්මන් රජය බලයට පත් වී වසරක පමණ කාලයක් ගතවීමෙන් පසුවය. කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ධූරයට පත් වූයේ 2005 සැප්තැම්බර් 01 වැනිදාය. ගුණතිලක මහතා ගුවන් හමුදාපති තනතුර ලැබුවේ 2006 ජූනි 12 වැනිදාය. ගුණතිලක මහතා 2009 ජූලි 14 වැනිදා විශ්‍රාම ලැබූ අතර ගුණතිලක මහතා 2011 පෙබරවාරි 27 වැනිදා විශ්‍රාම ලැබීය. ගුණතිලක මහතා ඉන් පසුව වසර දෙකක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද ඉසිලීය.