2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

සජිත්ද? රනිල්ද?

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 206

යහපාලන ආණ්ඩුව හරියටම මීට වසර හතරහමාරකට පෙර තම කටයුතු අරඹද්දී මීළඟ ජනාධිපතිවරණය එළඹෙන විට මේ තරම් අර්බුදයක පැටලි සිටිනු ඇතැයි මෛත්‍රීපාල  සහ රනිල් දෙදෙනාම සිහිනයකින්වත් නොසිතන්නට ඇත. ඒ සමඟම පරාජය වී මැදමුලනට ගිය මහින්ද වසර හතරහමාරකට පසුව තමන් මේ තරම් දේශපාලන වශයෙන් ශක්තිමත් තැනක සිටිනු ඇතැයි නිකමටවත් සිතන්නට නැත. ඒ වුණත් මේ දෙකම සිදුවී තිබේ.

හැබැයි මෛත්‍රීපාල ජනාධිපති වූයේත් රනිල් අගමැති වූයේත් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන බවට පොරොන්දු දෙමිනි. එසේ වුවද අද වනවිට විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබෙයි. එහෙත් එය අවසන් කරන බවට පොරොන්දු වූ මෛත්‍රීපාල සහ රනිල් විරසක වී මුහුණු නොබලන තත්ත්වයට වැටී සිටිති. ආපසු කවදාවත් බලයට නොඑනු ඇතැයි සිතූ රාජපක්ෂලා දැන් බලය අතට ලැබෙන මානයේ පසුවෙති. එය එසේම සිදුවනු ඇතිදැයි ඉදිරි සති කිහිපය තුළදී බලාගත හැකිවනු ඇත.

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන බවට කළ ප්‍රකාශය මේ රටේ බහුතරයක් ජනතාවට හොඳ ප්‍රවෘත්තියක් වූවාට සැකයක් නැත. එකම ප්‍රශ්නයකටවත් හරි විසඳුමක් සොයාගත නොහැකි ආණ්ඩුවකුත් කියන දේ නොකරන ජනාධිපතිවරයකුත් සිටින විට ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි අවුල් නැති රජයක් බිහිවනු දැකීමටය. කෙසේ වුවත් ආණ්ඩුවේ මැති ඇමැතිවරු, අගමැතිත් ඇතුළුව ප්‍රකාශ කරන්නේ තමන්ට කිසිදු වැඩක් කිරීමට ජනාධිපතිවරයා ඉඩ නුදුන් බවය. නොපෑහෙන දේශපාලන දීගයකට යන ඕනෑම දේශපාලන පක්ෂයක් මුහුණ දෙන කරැමයට යූ.එන්.පී.යද අද මුහුණ දී සිටින බව යථාර්ථයයි. ප්‍රතිපත්තිමය වශයෙන් දෙකෙළවරක සිටින පක්ෂ දෙකකට එකම ආණ්ඩුවක රැඳී සිටීමට නම් දෙපක්ෂයම විසින් ප්‍රබල කැපකිරීම් සිදුකිරීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එහෙත් එම කොන්දේසිය ඉටුකිරීමේ උවමනාවක් මේ දෙපක්ෂයටම තිබුණු බවත් පෙනී ගියේ නැත. එසේ තිබුණා නම් ජනාධිපතිවරණයේදී එල්ලෙන්නට තැනක් බල බලා කේවල් කරන තත්ත්වයකට ශ්‍රීලනිපය පත් වෙන්නේ නැත. එසේම ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කව්දැයි තෝරාගැනීමට මේ තරම් හතරවරම් ගැසීමට යූ.එන්.පී.යට සිදුවන්නේද නැත. 

ආණ්ඩුවට තම ගමන්මග ආපසු හැරී බැලිය හැකි නම් ගෙවී ගිය වසර හතර හමාර තුළ කාලය කොතරම් නාස්තිකර ඇතිදැයි පෙනී යා යුතුය. අඩුම තරමින් ජනතාවට පොරොන්දු වූ ප්‍රධාන කරැණුවලින් එකක් වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ කරගත හැකි වී නම් නිසැකවම ජනාධිපතිත් ආණ්ඩුවත් මේ තරම් පඹගාලක පැටලෙන්නේ නැත. ජනාධිපතිවරණයට තව ඇත්තේ හරියටම දවස් 55කි. හරියට ගේම ගහනවා නම් ආණ්ඩුවට මේ දවස් 55 හොඳටම ප්‍රමාණවත්ය. පසුගිය වර ඔවුන් ගේම ගැහැව්වේ දවස් 42කිනි. එහෙත් එදා තිබූ එකඟතා අද නැතිවීම බරපතළ ගැටලුවකට ආණ්ඩුව තල්ලු කර දමා තිබේ.

මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ අපේක්ෂකයා නම් කිරීමේදි ප්‍රබල මත ගැටුමකට යනු ඇතැයි අනාවැකි පළ වූ පොහොට්ටුව ඒ ගැටලුව අවුලකින් තොරව විසඳා ගැනීමට සමත්වීමය. අවසානයේ එය ගැටලුවක් බවට පත්වූයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට පමණක් බව පෙනෙන්නට තිබේ. ඔහු හැරුණු විට ගෝඨාභය එපා කියූ කිසිවකුත් දැන් පෙනෙන්නට නැත. එසේම ගෝඨාභයට අපේක්ෂකත්වය දෙනාවට රාජපක්ෂ පවුලේ විරෝධයක් තිබෙන බවට ගෙනගිය කතාබහටද දැන් විරාමයක් ලැබී තිබේ. හැබැයි එසේ වූවාට ඇතුළේ ප්‍රශ්න සියල්ල නිම වී ඇතැයි තීරණය කිරීමට බැරිය. එහෙත් අඩු වශයෙන් පිටතට පෙනෙන්නේ අගෝස්තු 11 වැනිදා ජනාධිපති අපේක්ෂක වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ දවසේ පටන් ගෝඨාභය ඉතාම සැලසුම් සහගත අන්දමට තම අරමුණු කරා ළඟාවීමට ක්‍රියාකරන බවය. ඔහු සමාජයේ විවිධ කොටස්වලට මේ වනවිට ආමන්ත්‍රණය කර අවසන්ය. ඉදිරි කාලයේදී එනම් ලබන මාසයේ මැදභාගයේදී පමණ ඇරුඹෙන ප්‍රචාරක ව්‍යාපාරයට ඔහු හොඳ පෙර සූදානමකින් සිටින බව පැහැදිලිය.

පොහොට්ටුව මෙසේ ක්‍රියාත්මක වී තිබෙන්නේ යූ.එන්.පී.ය තම අපේක්ෂකයා නම් කර ගැනීමට බැරිතරමට ඇඹරෙමින් සිටියදීය. එසේම ජනාධිපති ප්‍රමුඛ ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීම පක්ෂ ලකුණේ බාධකය හේතුවෙන් අතරමග නැවතී තිබියදීය. යූ.එන්.පී.ය ඇතුළේ ජනාධිපති අපේක්ෂක සටන තදින්ම ඇවිලීගෙන යන බව මේ සටහන තබන විට පෙනෙන්නට තිබිණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දැරෑ උත්සාහය ව්‍යාර්ථවීමත් සමඟ රනිල් තරමක නිහැඬියාවක පසුවුවද සිකුරාදා (20) මීරිගමදී පැවැති රැස්වීමකදී කියා තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඒ ඒ පක්ෂ වෙනම තීන්දු කළ යුතු බවය. පාර්ලිමේන්තුවේදී එම පනත සම්මත කර ගැනීමට නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරැන්ගේ සහාය ලැබීම අවශ්‍ය බවත් රනිල් එහිදී කියා තිබිණි. කෙසේ වුවත් මේ අවස්ථාවේදී යූ.එන්.පී.යේ ප්‍රධානම ගැටලුව වන ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් රනිල් කිසිවක් ප්‍රකාශ නොකිරීම කාගේත් විමතියට හේතු වී තිබේ.

මේ අතර සිකුරාදා (20) පස්වරැවේ කථානායක කරැ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ජනපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට පළ වී ඇති පුවත නිවැරදි නොවන බවය. තමන් මීට පෙර නිකුත් කරන ලද නිවේදනය ප්‍රතිපත්තිමය කරුණු දැක්වූ ලිපියක් මිස එය ජනපති අපේක්ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක් නොවන බවද එම නිවේදනයේ සඳහන් වේ. මේ නිවේදනය අනුව කරු ජයසූරියද අපේක්ෂකයා නම් කරන සටනින් ඉවත් වී සිටින බව පැහැදිලිය. සියලු දෙනා විසින් ඒකාබද්ධව ඉල්ලීමක් කළොත් මිස කරැ යූ.එන්.පී. ජනාධිපති අපේක්ෂකයා වීමට ඉදිරිපත් නොවනු ඇත.

ඒ වනවිට සජිත් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් සිටියේය. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගලගේ නිවෙසේ පැවැති මේ මාධ්‍ය සාකච්ඡාව යූ.එන්.පී. අපේක්ෂකයා පිළිබඳ ගැටලුව තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත්කරනු ලැබිමට බෙහෙවින් ඉඩ තිබේ. සජිත් සමඟ සිටින ඇමැති කණ්ඩායමට මංගල, කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර, තලතා, චන්ද්‍රානි බණ්ඩාර, මලික් සමරවික්‍රම, හරීන් ඇතුළු පිරිසක් සිටින අතර රනිල් වෙනුවෙන් රවී, දයා ගමගේ, කිරිඇල්ල සහ රාජිත සිටින බව පෙනී යයි. යූ.එන්.පී. නොවන ඇමැතිවරුන් අතර චම්පික, හකීම්, දිගම්බරම්, මනෝ ගනේෂන් ඇතුළු තවත් පිරිසක් සිටින්නේ සජිත් සමඟය. පෙනෙන්නට තිබෙන හැටියට ජනාධිපතිවරණ සටනට වඩා යූ.එන්.පී.ය ඇතුළේ අපේක්ෂක සටන බලවත් වී තිබේ. මේ ප්‍රශ්නය අද හෙටම විසඳා නොගත්තොත් එය පක්ෂයේ මහා පිපිරීමකට වුවද ඉඩ සලසනු ඇත. පක්ෂයේ පැරණි ජ්‍යෙෂ්ඨයන් බොහෝ පිරිසකගේ සහායද සජිත්ට හිමිවන තත්ත්වයක් තුළ රනිල්ට තම තීන්දුව ඉක්මන් කිරීමට සිදුව තිබේ.

මේ අතර මෛත්‍රිපාල තවමත් පොහොට්ටුව සමඟ ඉහළම කේවල් කිරීමකට යාමට උත්සාහ දරන බව පැහැදිලිය. එහෙත් ඔහු සමඟ සිටින පිරිසෙන් කිහිප දෙනකු තනිවම යා යුතු බවට මතයක්ද ඉදිරිපත් කර තිබේ. පොහොට්ටුව ලකුණින් ගෝඨාභය තරග කරන්නේ නම් එයට එකතු වීම ශ්‍රිලනිපයේ ගමනක අවසානය බව එම මතයට පක්ෂපාත මන්ත්‍රීවරැ කියති. මෛත්‍රිපාල මේ මතය සඳහා ඍජුවම පෙනී නොසිටියද අවස්ථාවක් ලද සැණින් පොහොට්ටුවේ මුදුනටම පහර දෙන බව පෙනේ. පසුගියදා නෙළුම් කුලුන විවෘත කළ අවස්ථාවේ කෝටි 200ක් අතුරුදන් බවට කළ ප්‍රකාශය එහි අලුත්ම කතාවයි. නෙළුම් කුලුන මහින්දගේ සොඳුරැ ව්‍යාපෘතියක් බව නොදන්නා කෙනෙකු නැත. ඒ කාලයේ එවැනි දැවැන්ත ව්‍යාපෘති සඳහා අවශ්‍ය දෙස් විදෙස් ආධාර සොයාගැනීම පැවැරී තිබුණේ බැසිල්ටය. නෙළුම් කුලුනට අවශ්‍ය බිම්කඩ සොයාදී එතැන තිබූ සෙසු ගැටලු නිරාකරණය කර දුන්නේ ගෝඨාභයයි.

මහින්ද පොහොට්ටුවේ නායකයාය. බැසිල් එහි ජාතික සංවිධායකයි. ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයායි. මෛත්‍රිපාල කෝටි දෙසීයේ කතාවෙන් ගැහැව්වේ කාටදැයි සිතා ගැනීම අපහසු නැත. කෙසේ හෝ එයට පිළිතුරැ දුන්නේ මහින්දය. ඉන්පසුව එවකට චීනයේ ශ්‍රී ලංකා තානාපතිව සිටි යූ.එන්.පී. බලකණුවක් වන ආචාර්ය කරැණාසේන කොඩිතුවක්කුද කරුණු පැහැදිලි කර නිවේදනයක් නිකුත් කර තිබිණි. මේ වාතාවරණය මැද වුවද මෛත්‍රී - මහින්ද සාකච්ඡාද දිගටම පැවැත්වෙයි. මෛත්‍රී තමන්ට හිතවත් මන්ත්‍රි පිරිස සතුටු කිරීමට පොහොට්ටුවට පහර දී මහින්ද ෂේප් කරගැනීමට සාකච්ඡා කරනවාදැයි පැහැදිලි නැත. කොහොම වුණත් ශ්‍රීලනිපය තමන්ගේම අපේක්ෂකයකු තරග බිමට දැම්මොත් පොහොට්ටුවටත් ගණන් හදාගැනීම අපහසු වනු ඇත. පළාත් පාලන ඡන්දයේදී මෙන් නොව ජනාධිපතිවරණයේදී එක ඡන්දයකටත් ඉහළ වටිනාකමක් තිබේ. පළමු වටයෙන්ම ජයග්‍රාහකයා වීමට නම් 50%ට වඩා අවශ්‍ය වන්නේ එක් ඡන්දයකි.

යූ.එන්.පී.ය තම ගැටලු විසඳාගෙන දැනට පක්ෂය තුළ වඩාත්ම ඉල්ලුමක් තිබෙන සජිත්ට අපේක්ෂකත්වය ලැබුණොත් මේ තත්ත්වය වෙනස් විය හැකිය. එසේ වුවහොත් මෙවර ජනාධිපතිවරණය ඉතාම තරගකාරී එකක් වීමට ඉඩ තිබේ. ජනතා විමුක්ති පෙරමුණද වෙනත් සිවිල් සංවිධාන එකමුතුවකින් කවුරුත් තවම නොදන්නා අපේක්ෂකයකුද ඇතුළු අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වන උණුසුම් ජනාධිපතිවරණයක් දැකගැනීමට රටට හැකිවනු ඇත. එසේ වුවත් යූ.එන්.පී.යේ ප්‍රශ්නය විසඳීමේ එකම උපක්‍රමය වශයෙන් රනිල් තමාවම අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කළොත් කුමක්වේදැයි කියන්න අමාරුය.

- ශශීන්ද්‍ර