ලබන ජනවාරි මස 1 වැනිදා සිට රජයේ සේවක වැටුප ඉහළ යන බව මුදල් අමාත්‍යවරයා පසුගිය බදාදා (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි. මෙය ඡන්ද පොරොන්දුවක් නොව රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත සිදුවන්නකි. අදාළ වැටුප් වැඩිවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද ඉකුත් 2015 වසරේ සිට මේ දක්වා රාජ්‍ය සේවකයන්ට 107%ක වැටුප් වැඩිවීමක් ලබාදී තිබෙන බවද මුදල් අමාත්‍යවරයා මේ මාධ්‍ය සාකච්ඡාවේදී කියා තිබිණි.
වසර හතරක කාලයක් තුළදී 107%ක වැටුප් වැඩිවීම් ලැබූ රාජ්‍ය සේවකයන් සිටින රටක ජීවත්විය යුත්තේ හැබෑම වාසනාවන්ත රටවැසියන් පිරිසකි. එහෙත් මේ දවස්වල පාරට බැස්ස ගමන් පෙනෙන්න තිබෙන්නේ උද්ඝෝෂණ හා පෙළපාළිය. මහවැසි වතුර පිරී යටවී ගිය මංමාවත්ය. දවසකට දහදහස් ගණනකට ගමනාගමන පහසුකම් සලසන දුම්රිය ධාවනය ඇනහිට තිබේ. මේ හේතුවෙන් බස් රථවල ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැත. ඒ මදිවට ඉවසා ගතනොහැකි තරමට මහාමාර්ගවල රථ වාහන තදබදයයි. මේ ලැයිස්තුව තවත් දික් කළ හැකිය. එහෙත් එසේ නොකර රටේ පරිපාලන සේවයේ පටන් බොහෝමයක් රාජ්‍ය සේවා පවතින්නේ වැඩවර්ජන තර්ජන මැද අඩපණවූ තත්ත්වයකින් බව පමණක් ප්‍රකාශ කරමු. ඊට ගුරැ - විදුහල්පතිවරැන් ද එක්වී සිටින බවද සඳහන් නොකළොත් අඩුපාඩුවක් වනු ඇත.
මේ සියලු අලකලංචි මැද ජනාධිපතිවරණයේ උණුසුම නැගෙමින් පවතී. වැඩවර්ජන රැල්ල ගහන්නේද එම ජනාධිපතිවරණයේ වඩදිය, බාදිය අනුව බවද පෙනෙන්නට තිබේ. ඡන්දයෙන් රත්වෙන තැටියට දමා තම තමන්ගේ රොටිය ද පුච්චාගැනීම බොහොමයක් වෘත්තීය සමිති මගින් අරමුණු කර තිබෙන බවක්ද පෙනීයයි. තම තමන්ගේ ව්‍යායාමය වැටුප් විෂමතා ඉවත් කරගැනිම බව හැම වෘත්තිය සමිතියකින්ම ප්‍රකාශ වුවද ගොනා පසුපස ඇදෙන කරත්ත රෝදය සේ ඒ හැම සටනක් පසුපසම දේශපාලන කතාවක්ද ඇදෙමින් තිබේ. සමහරුන් මෙය දකින්නේ මේ සටන් තුළින් රට අකර්මණ්‍ය කොට පවතින රජය අමාරුවේ දමා විපක්ෂයට වාසි සැලසීමට පිඹුරැපත් සැකසීමක් ලෙසයි. තවත් සමහරුන්ගේ මතය ජනාධිපතිවරණය ආසන්නයේ රජය දැඩිව පීඩනයට පත්කිරීම තුළින් ඉල්ලීම් දිනාගැනීමේ අවශ්‍යතාව උදෙසා වැඩවර්ජනය කරන බවය. සැබෑ කාරණය මේ දෙකින් කුමක් වුවද එයින් තැලෙන්නේ පොඩිවෙන්නේ මේ රටේ පොදු මහජනතාවයි. පාඩුව සිදුවන්නේ රටේ සමස්ත ආර්ථිකයටමය.
මේ වර්ජන තර්ජන සහ ඒ හරහා සිදුවන අපහසුතාවලට ප්‍රතිචාර දැක්වීමට ඇල්පිටිය අවට ගම්මාන රැසක ජනතාව ඉදිරිපත් වීම මෙහිදී කැපීපෙනෙයි. මේ වනතුරු බොහෝ දෙනා පවතින තත්ත්වය වෙන් වෙන් වශයෙන් දැඩිව විවේචනය කළත් මහජනතාව සංවිධානය වී එවැනි විරෝධයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි. රාජ්‍ය සේවකයන් වැඩවර්ජනය කිරීම වර්තමානය වනවිට විලාසිතාවක් බවට පත්කර ගෙන ඇති බවට විරෝධතාකරුවන් එහිදී චෝදනාකර තිබිණි. මෙම 2019 වසර තුළ රජයේ සේවකයන් විසින් වැඩවර්ජන 500කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බවද ඔවුහු සඳහන් කරති. ඔවුන් මේ ප්‍රකාශ කරන්නේ රටේ බොහෝමයක් පිරිස් විසින් දරණ අදහස බව මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය.
මේ සියලු කලබැගෑනිවලට හේතුව රජය දුරදිග නොබලා විවිධ ප්‍රමුඛතා සලකාබලමින් එහෙන් මෙහෙන් සිදුකර ඇති තෝරාගත් ආයතන කිහිපයකට පමණක් විශාල වශයෙන් වැටුප් වැඩිකර තිබීමය. එසේම 2015 වසරේදී වත්මන් රජය බලයට පැමිණි අවස්ථාවේදී ඡන්ද පොරොන්දුවක් ඉටුකරමින් සිදුකළ රුපියල් දසදහයේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇතිවූ වැටුප් විෂමතාද බොහෝ ගැටලු ඇතිකර තිබේ. රජයේ සේවකයන්ට පමණක් නොව සියලුම රටවැසියන්ට වැටුප් වැඩි වනවාට අපි විරැද්ධ නැත. එහෙත් රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන තරමට වැටුප් බර වැඩි වීම රටේ අනාගතය බරපතළ අනතුරකට ලක්කරන බව පෙන්වාදීම අපේ වගකීමකි. රජයේ නිලධාරින් ඇතුළු සියලු සේවකයන් ද එය නොදැන සිටීමට හේතුවක් නැත. මේ ඇතැම් ඉල්ලීම් මොනම රජයකට හෝ ඉටුකළ නොහැකි ඒවා බවද සඳහන් කළ යුතුය. විශේෂයෙන් රටේ ආදායම වැඩිකර ගැනීමකින් තොරව වැටුප් බර වැඩි වීම ආර්ථිකය කරටියෙන්ම කඩාදැමීමකි. රටේ ආර්ථික වර්ධන වේගය මේ වසරේ 2.7% ක් පමණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පෙන්වා දී තිබීම මෙයට ප්‍රබලම සාක්ෂිය සපයයි.
වැඩවර්ජන සිදුනොවන ආකාරයට කටයුතු කිරීම ආණ්ඩුවේ එක් වගකීමකි. නමුත් ආණ්ඩුව එම වගකීම පැහැරහරින විට එය අවියක් කොටගෙන රටේ සමස්ත ජනතාව අමාරුවේ දැමීමට වැඩවර්ජන සිදුකිරීම යුක්ති සහගත නැත. එය වැඩවර්ජනය කොට ඉල්ලීම් දිනාගැනීම සඳහා වෘත්තීය සමිතිවලට ඇති අයිතිය අනිසි ලෙස යොදවා ගැනීමකි. අනෙක් අතට ඡන්දය දිනාගැනීම සඳහා රටට ඔරොත්තු නොදෙන ආර්ථික පොරොන්දු ලබාදෙන දේශපාලන නායකයෝද මේ විනාශයට වගකිවයුත්තෝ වෙති. කරැමය නම් මේ වැරැද්ද දේශපාලනඥයන් අතින් මෙන්ම වෘත්තීය සමිති අතින් ද දිගින් දිගටම සිදුවීමය.