ගෝඨාභය පරදවනවා - සජිත්
මම උපරිමව සහ නිසැකවම විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ (පොහොට්ටුවේ අපේක්ෂක) පරදවා මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මොකද මේ රටේ බහුතරයක් මහජනතාව සිටින්නේ මා සමඟ බව මා දන්නා නිසයි.
යූ.එන්.පී. නායකයන්ගේ ඒකමතික අනුමැතියෙන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් නම් කරනු ලැබීමෙන් පසුව පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සිරිකොත දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී එසේ ප්‍රකාශ කළේය. මේ මාධ්‍ය හමුව සඳහා මාධ්‍යවේදීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මාධ්‍ය හමුවට සහභාගි වීමට පෙර සජිත්ගේ නම යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ විසින් කෘත්‍යාධිකාරී කමිටුවට යෝජනා කළ අතර පසුව යූ.එන්.පී. පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව ඔහුගේ නම අනුමත කෙරිණි. යූ.එන්.පී. ප්‍රමුඛ පුළුල් පෙරමුණකින් සජිත් තරග වදිනු ඇති අතර එහි ඡන්ද ලකුණ හංසයා වනු ඇත.
බලය බෙදීම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධ යෝජනාවක් ද කෘත්‍යාධිකාරිය මගින් අනුමත කෙරිණි. තමන්ගේ රජය යටතේ දී ආරම්භ කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, බලය බෙදීම, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන බව එම යෝජනාවේ සඳහන් විය. සජිත් ප්‍රකාශ කළේ එම යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරනු ඇති බවය. ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීම, ඡන්ද ක්‍රමයේ සහ විධායක ජනාධිපති ක්‍රමයට හඳුන්වා දෙන වෙනස්කම් ඊට අදාළ බවත් රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට හානිවන කිසිදු පනතකට හෝ පුද්ගලයකු සමඟ හෝ කිසිම අවබෝධතා ගිවිසුමක් තමා අත්සන් නොකරන බවත් ඔහු කීය. තමන් ගොඩනගන පුළුල් සන්ධානය තම ප්‍රතිපත්ති පිළිගන්නා ඕනෑම දේශපාලන පක්ෂයකටත් පුද්ගලයකුටත් විවෘත බවද ඔහු කීය.
තමන් කෙරෙහි විශ්වාසය තැබූ යූ.එන්.පී. සාමාජිකයන් සියලු දෙනාට ස්තූති කළ සජිත් තමන්ගේ අපේක්ෂකත්වය රටේ ජනතාවට ප්‍රමුඛත්වය හිමිවෙන අලුත් ගමනක ආරම්භයක් වනු ඇති බවද සඳහන් කළේය.
මේ අතර යූ.එන්.පී. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකයා වශයෙන් දිගටම කටයුතු කරන බවය. පක්ෂයේ නායකයා සහ නියෝජ්‍ය නායකයා එකට වැඩ කිරීමට එකඟ වූ අද දිනය එජාපයට ජයග්‍රාහී දිනයක් යැයි අකිල සඳහන් කළේය. පක්ෂයේ වාර්ෂික සමුළුව ලබන 03 වැනිදා පැවැත්වෙන බවත් 09 වැනිදා ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරන බවත් සඳහන් කෙරිණි.
ඩේලි එෆ්.ටී
ජම්පර කතාවට රනිල්ගේ පිළිතුර
යූ.එන්.පී. අපේක්ෂක සජිත් ජයග්‍රහණය කළොත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයට ජම්පරය අන්දවන බවට යූ.එන්.පී. මන්ත්‍රී හේෂා විතානගේ මතුගම රුලියේ දී කළ කතාවත් සමඟ අගමැති රනිල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට උපදෙස් දුන්නේ ඡන්ද ව්‍යාපාරය විනීතව සහ වැදගත් අයුරින් පවත්වාගෙන යන ලෙසටය. කෘත්‍යාධිකාරී කමිටුව රැස්වීමට පෙර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ මැති ඇමැතිවරුන් හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා මේ උපදෙස් ලබා දී තිබේ. පක්ෂයේ සියලු දෙනා තම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට උපරිම වෙහෙසකින් සහ කැපවීමකින් කටයුතු කළ යුතු බවද වෛරී සහගත ප්‍රකාශ වලින් වැළකී සිටිය යුතු බවද කියා තිබූ අගමැතිවරයා අපගේ උත්සාහය විය යුත්තේ අපගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම මිස ප්‍රතිවාදීන්ට ජම්පරය ඇන්දවීම නොවන බවද සඳහන් කර ඇත.
ඩේලි මිරර්
ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (30) රැස්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවී යූ.එන්.පී. අපේක්ෂකයාට මුහුණදීම සම්බන්ධයෙන් තිබෙන හැකියාව පිළිබඳව සොයා බැලීමට නියමිතය. පක්ෂයේ ප්‍රකාශක වීරකුමාර දිසානායක මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබුණේ පොහොට්ටුව සමඟ සන්ධාන ගතවීම ඉතාමත් අපහසු තත්ත්වයක පවතින බවය. ඔවුන් තමන්ගේ ඡන්ද ලකුණ වෙනස් කිරීමට අකැමැති වීම ඊට හේතුව බවද ඔහු කීය.
තමන් අත ලකුණ අත්හැරීමට සූදානම් වනවා සේම පොදුජන පෙරමුණ ද පොහොට්ටුව ලකුණ අත්හැරීමට සූදානම් වන්නේ නම් ප්‍රශ්නය විසඳෙනු ඇතැයි ද ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් ශ්‍රීලනිපය පොහොට්ටුවට එකතු වෙනවාද වෙනම තරග කරනවාද යන තීරණයට එළඹිය යුතු යැයි ද ඔහු කීය.
ඩේලි මිරර්