2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

යූඑන්පියේ විප්ලවය

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 132

දැනට සති කිහිපයකට පෙර යූ.එන්.පී. අපේක්ෂකයා තමන් වනු ඇතැයි අඩුම තරමින් සජිත්වත් හිතුවේ නැත. යූ.එන්.පී. පාක්ෂිකයන් අති බහුතරය පසුගිය කාලය පුරාම කිව්වේ රනිල් කවදාවත් සජිත්ට අපේක්ෂකත්වය දෙන්නේ නැතැයි කියාය. යූ.එන්.පී.යේ ඉහළම තලයේ පෙළගැස්ම අනුව එම පක්ෂයේ නායකයාගේ අනුමැතිය නොමැතිව පක්ෂයේ කවර තරාතිරමක පුද්ගලයකුට වුවද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමට පුළුවන්කමක් නැත. එය වඩා හොඳින් දැන සිටීමට රණසිංහ ප්‍රේමදාස හිටපු නායකයාගේ පුත් සජිත් හැර වෙනත් කිසිවකු නැත. එසේ තිබියදීත් සජිත් තම අපේක්ෂකත්ව සටනින් ජය ගත්තේ කොහොමද? ඒ හේතුවෙන් සිදුවෙන්නේ කුමක්ද?

මුලින්ම සිදුවන්නේ යූ.එන්.පී.ය කැඩී යාමෙන් වැළකීමය. බැරි වෙලාවත් සජිත්ට අපේක්ෂකත්වය නොලැබිණි නම් යූ.එන්.පී.ය බරපතළ අනතුරකට මුහුණදීමට නියමිත විය. පක්ෂය කඩාගෙන යාමට සජිත්ගේත් ඔහුට සහාය දැක්වූ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේත් කැමැත්තක් නොතිබිණි. කෙසේ හෝ නායකයා එකඟ කරවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබූ බව පැහැදිලිය. එහෙත් ඔහුට සහාය දැක්වූ කිහිප දෙනකුගේ අදහස වී තිබුණේ සජිත්ට පක්ෂයේ අනුමැතිය නොලැබුණොත් කඩාගෙන ගොස් හෝ තරග කළ යුතු බවය. සජිත් ලවා එසේ කියවා ගැනීමට රනිල්ට සහාය පළකළ පිරිසක් තැත්කළ බවද පෙනෙන්නට තිබුණේය. නමුත් සජිත් ඒ උගුලට හසුවූයේ නැත.

මේ හේතු නිසා අවසන් මොහොත දක්වාම යූ.එන්.පී.යේ අපේක්ෂක අර්බුදය දිග්ගැසුණේය. ජනාධිපතිවරණයට දින නියම වී නාමයෝජනා ලබාදීම දිනෙන් දිනම කිට්ටු වනවිට යූ.එන්.පී.යේ හදගැස්මද වේගවත් වෙමින් තිබිණි. දවස ළඟයි... ඇයි තවම අපේක්ෂකයා නැත්තේ.... යනුවෙන් පක්ෂය අභ්‍යන්තරයෙන් නැගුණු පීඩනයට මුහුණ දීමට තවදුරටත් අසීරැ බව රනිල්ට නොවැටහුණා නම් පුදුමය. මීට පෙර මෙවැනි අසීරැ අවස්ථා ගණනාවකට මුහුණ දී ඒවායින් ගොඩ වී පක්ෂයේ නායකකම රුකගත් රනිල් මේ අවස්ථාවේදී මුහුණ දුන්නේ පෙර නොතිබූ තත්ත්වයකටය.

මීට පෙර රනිල්ට එරෙහිව පක්ෂය අභ්‍යන්තරයෙන් කැරුල්ලක ලක්ෂණ පහළ වනවිට ඒ පිළිබඳව සියලු තොරතුරැ ලබාදීමට රනිල්ගේ සමීප හිතවතුන් විශාල පිරිසක් පක්ෂ අභ්‍යන්තරයේ සිටියහ. මේ නිසා එවැනි අවස්ථා අංකුර අවස්ථාවේම නටුවෙන්ම කඩා දැමීම රනිල්ට මහ කජ්ජක් නොවීය. එහෙත් මේ අවස්ථාව වෙනස් විය. මෙවර මතුවූයේ කැරුල්ලක් නොවේ. එළිපිටම සිදුකෙරැණු ඉල්ලීමකි. එම ඉල්ලීම පක්ෂයේ පහළ කොටස්වලම සිට ඉහළට ගලා එමින් තිබිණි. සජිත්ගේ වචනවලින්ම කියනවා නම් ඔහු පක්ෂය තුළ &ගම් මට්ටමින් සහ බිම් මට්ටමින්* හොඳින් සංවිධානය වී සිටියේය. රනිල් මේ බව නොදැන සිටියා විය නොහැක. එහෙත් කොළඹ සිට පක්ෂය පාලනය කිරීමත් ගමේ සිට පාක්ෂිකයන් පාලනය කරගැනීමත් අතර ලොකු හිඩැසක් නිර්මාණය වෙමින් තිබුණේය. කොළඹින් ගෙන ගිය පාලනය යූ.එන්.පී. ගම් මට්ටමේ පාක්ෂිකයන්ට තිත්ත වී තිබිණි. ඔවුන් තමන්ගේ ප්‍රශ්න හොඳ හැටි දන්නා නායකයා හැටියට හඳුනාගත්තේ සජිත්ය. 

සජිත් ගමේ සවිමත් වනවිට රනිල් සිටියේ පක්ෂයේ යාන්ත්‍රණය ඔස්සේ සම්ප්‍රදායික දේශපාලනයක නිරත වෙමිනි. අග්‍රාමාත්‍ය ධුරයේ කාර්යබහුල බවත් ජනාධිපතිවරයා සමඟ දිගින් දිගටම පැවැති අර්බුදත් රනිල්ගේ කාලය බොහෝදුරට සීමා කරන්නට ඇත. එහෙත් හදිසියේම ජනාධිපතිවරණය කැඳවන දිනය උදා විය. රනිල් ජනාධිපතිවරණයට සූදානම් වන බවක් ඒ වනවිටත් පෙන්වා තිබුණේ නැත. එසේ වුවත් 1988න් පසුව දිගින් දිගටම යූ.එන්.පී. ජනාධිපතිවරයකු නොසිටීමේ අඩුව ගමේ පාක්ෂිකයාට දැනෙමින් තිබිණි. එය ගමේ පාක්ෂිකයාගෙන් නගරයේ පාක්ෂිකයාටද සංක්‍රමණය වීමට වැඩිකලක් ගියේ නැත. මේ සියලු තත්ත්ව තවදුරටත් සංකීර්ණ කිරීමට බලපෑ කරැණු 03ක් තිබිණි. එකක් 2018 පුංචි ඡන්දයේ ප්‍රතිඵලයයි. දෙවැන්න පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අගමැති ධුරයෙන් රනිල් පහ කිරීමෙන් ඇතිවූ අර්බුදයයි. තුන්වැන්න අප්‍රේල් 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහාරයයි.

මේ සිදුවීම් 03ම සිදුවූයේ වසරක කාලයක් තුළදීය. මේ සිදුවීම්වල බලපෑම කෙසේ වනු ඇතිද යන්න ගැන පැහැදිලි තක්සේරැවක් රනිල් තුළ තිබිණිදැයි සැකයක් මතුවෙයි. මුලින්ම පසුගිය පුංචි ඡන්දයේදි (2018 පෙබරවාරි 10) ශ්‍රීලනිපය කඩාගෙන බිහිවූ පොහොට්ටුව මුළු රටේම පුංචි ආණ්ඩු ටික අතට ගත්තේය. ඒ වනවිට අඩු තරමින් රටේ ජනතාව පොහොට්ටුව නියෝජනය කරන පක්ෂයේ නමවත් හරියටදැන සිටියේ නැත. තවමත් බොහෝ දෙනා ලකුණින් හඳුන්වන පක්ෂයක් වේ නම් එය පොහොට්ටුවයි. ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් වශයෙන් පොහොට්ටුව නිර්මාණය වූයේ නම් එය වැඩපිළිවෙළ සැලසුම් කළ එක් පාර්ශ්වයකගේ යහපතට සිදුවී තිබෙන බව එදා පැහැදිලි විය. ඒ ප්‍රතිඵලයෙන් පසුව පක්ෂයේ ප්‍රතිසංස්කරණ ඉල්ලා කෑ ගැසූ මැති ඇමැතිවරැන් පිරිස මෙල්ල කර ගැනීමට රනිල් සමත් වූ බව පෙනෙන්නට තිබිණි. එහෙත් වෙනස්කම් ඉල්ලා කෑගැසූ මැති ඇමැතිවරැන්ට එරෙහිව දැඩිව පියවර ගැනීමට රනිල් ඉදිරිපත් වූයේ නැත. එම පීඩනය හීන්සීරැවේ යටපත් වීමට ඉඩහැර රනිල් තරමක නිහැඬියාවකට ගියේය. නමුත් ඒ ඇවිලී ගිය පක්ෂ අභ්‍යන්තර අර්බුදයේ අළු යට ගිනි ඉතිරි වූ බවත් ඒ ගිනි පසුව ඇවිලී යාමට ඉඩ තිබෙන බවත් රනිල් හිතන්නට නැත. එම වසරේ ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා එම ගිනිපුපුරැවලට පිඹිමින් යූ.එන්.පී.යේ පමණක් නොව ආණ්ඩුවම ඇතුළේ මහා ගින්නක් ඇති කළේය. රට බරපතළ අර්බුදයකට වැටුණි. සති ගණනාවක් යනතුරු රටේ ආණ්ඩුවක් තිබුණේ නැත.

එහෙත් ආණ්ඩුව වැට්ටීමේදී ජනාධිපතිවරයා ක්‍රියා කළේ යූ.එන්.පී.ය ඇතුළේ අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමට නම් ඒ අරමුණ වැරදී ගියේය. මෛත්‍රිපාල බලාපොරොත්තු වූ පරිදි යූ.එන්.පී.යේ රනිල් විරෝධී පිරිස රනිල් අතහැර ඇමැති පදවි ඉල්ලා ඔහු පසුපස ගියේ නැත. ඔවුන් සියලුදෙනාම එකතු වූයේ ආණ්ඩුව බේරාගැනීමේ සටන වටාය. එයට නොනිල වශයෙන් නායකත්වය දුන්නේ සජිත්ය. එසේ කළේ ජනාධිපතිවරයා දිගුකළ අගමැති පදවිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමිනි.

ආණ්ඩුව රුක ගැනීමට කොළඹට වරින්වර රැස් වූ මහා සෙනඟ ඉල්ලා සිටියේ සජිත්වය. සජිත් කිව්වේ ආණ්ඩුව බේරාගැනීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරාගැනීමක් වන බවය. එම අර්බුදකාරී අවස්ථාවේ සජිත්ගේ ක්‍රියා පිළිවෙළ නොවෙන්නට ජනාධිපතිවරයාගේ අරමුණ ඉටුවෙන්නට ඉඩ තිබුණි. එහෙත් සජිත් ජනාධිපති සහ අගමැති අතරට පාලමක් වෙමින් අර්බුදයෙන් අරාජික වීමට ගිය රටත් ආණ්ඩුවත් බේරාගෙන යළිත් රට ස්ථාවර කිරීමට උදව් විය. ඒ අවස්ථාවේදී එ.ජා.පෙ. සියලුම නායකයන් රනිල් සහ සජිත් සමග රැඳී සිටිමින් සහාය දැක්වීමද කැපී පෙනුණේය. එහෙත් රනිල් එයිනුත් පාඩමක් ඉගෙනගත් බවක් නොපෙනුණි. ඔහු දිගටම තම සමීපතමයන් සමඟ සුපුරැදු රාජ්‍ය පාලනය කරගෙන යාම ඇරුඹුවේ ආණ්ඩුව රුකදීමට සහාය වූ සියලුදෙනාගේ සිත් රිදවමිනි.

ඉන්පසුව අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී ආණ්ඩුව යළිත් බරපතළ පීඩනයකට ගොදුරැ විය. එහි බොහෝ ප්‍රතික්‍රියා ඇති විය. ආණ්ඩුව ඇතුළේ බදියුදීන් ඇතුළු මුස්ලිම් නායකයන් කිහිප දෙනකුම ප්‍රබල ගැටලුවලට මුහුණ දුන්නේය. ඒ අවස්ථාවේදී ආණ්ඩුවේ ප්‍රතිරෑපයට බරපතළ හානියක් සිදුවූ අතර රනිල් පක්ෂයේත් ආණ්ඩුවේත් නායකයා වශයෙන් ඇති වූ තත්ත්වයට නොසැලී මුහුණ දුන් බව සඳහන් කළ යුතුය. එහෙත් යූ.එන්.පී.යට සහාය දක්වන කතෝලික ජනතාව බෝම්බ පිපිරීම හේතුවෙන් ඈත් වී යමින් සිටියදී යූ.එන්.පී.ය වෙනුවෙන් උර දී කටයුතු කිරීමට සජිත්ට අවස්ථාව උදා විය. ඔහු ඒ අවස්ථාවටද හොඳින් මුහුණ දුන්නේය.

ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයා විය යුත්තේ පක්ෂ නායක රනිල් නොව නියෝජ්‍ය නායක සජිත් බවට දැඩි ලෙස හඬ නැගෙන්නට වූයේ ඉන්පසුව බව තේරැම් ගැනීම අපහසු නැත. මීට පෙර අවස්ථාවලදී තමන්ට එරෙහිව පැමිණි බොහෝමයක් අරගල සමතයකට පත් කරගත් ආකාරයටම මේ අවස්ථාවටද මුහුණ දිය හැකි බවට අධි තක්සේරුවක් රනිල් තුළ තිබෙන්නටත් ඇත. එහෙත් මීට පෙර තමා ළඟ සිටි එම සටන් ජයගැනීමට උදව් කළ සමීප ජ්‍යෙෂ්ඨ මැති ඇමැතින් පවා සජිත්ට අපේක්ෂකත්වය දිය යුතු බවට හඬ නගනු ඇතැයි රනිල් බලාපොරොත්තු වූයේ නැත.

මෙවර රනිල්ට හරහට හිටියේ ඔහුගේ සමීපතම දේශපාලන මිතුරන්මය. යූ.එන්.පී.ය ප්‍රමුඛව එ.ජා. පෙරමුණු බිහිකිරීමේදී එකතු වූ සියලු පක්ෂවල නායකයන් රනිල්ගේ දේශපාලන මිතුරෝ වෙති. මේ සියලුදෙනාම වරින්වර රනිල්ට කියා තිබුණේ එ.ජා. පෙරමුණු ජයග්‍රහණය කිරීමට නම් සජිත් අපේක්ෂකයා කළ යුතු බවය. ඒ සංවාදවලදී රනිල් එකඟතාවෙන් ක්‍රියා කරනු වෙනුවට තෝරාගත්තේ ඔවුන් සමඟ මතවාදී අරගලයකට යොමුවීමය. එහෙත් ඔවුන් අදහස වෙනස් කර ගත්තේ නැත.

මේ අතරවාරයේදී රනිල්ට සමීප ඇමැතිවරැන් වශයෙන් සැලකුණු බොහොමයක් ජ්‍යෙෂ්ඨයන් සජිත් අවශ්‍ය බවට හඬ නොනැගුවත් නිහඬව සිටිනු පෙනිණි. එහෙත් රවි කරැණානායක, සරත් ෆොන්සේකා සහ දයා ගමගේ සජිත්ට නම නොකියා පහර ගැසුවත් අවසානයේ ඔවුන්ද නිහඬ වනවිට සජිත්ට අපේක්ෂකත්වය දෙනවා හැර වෙනත් විකල්පයක් රනිල්ට ඉතිරි වී නොතිබුණි. එයද කොන්දේසි පැනවීමට යාම හේතුවෙන් පීලි පැනීමට ගියත් අවසානයේ ලොකු මත ගැටුමකින් තොරවම සජිත්ට අපේක්ෂකත්වය හිමිවීමෙන් සජිත් මුල් පිම්ම ජයග්‍රාහීව පැන ගත්තේය. ඊළඟට සජිත්ට ඇත්තේ සුළු ජන පක්ෂවල සහාය ලබා ගැනීමේ පිම්ම පැන ගැනීමය. එයත් සාර්ථක කරගත හැකි නම් ඉතිරි වනු ඇත්තේ තුන්වැනි පිම්මයි. ඒ ජනාධිපතිවරණයේදී ගෝඨාභය පරාජය කිරීමයි. ඒ ගැන දැන්ම කියන්න බැරිය.

මේ ආකාරයේම පිමි තුනක් රනිල් - සජිත් දේශපාලන ගමන් මගේද තිබේ. සජිත්ගේ පියාණන් වූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහුගේ ගැලවුම්කාරයා වූයේ එවකට ඇමැතිවරයකු වූ රනිල්ය. එයින් ප්‍රේමදාසගේ ජනාධිපති පදවියත් ආණ්ඩුවත් බේරුණි. පසුගිය වසරේ රනිල් අගමැති පදවියෙන් පහකළ අවස්ථාවේ ඔහුගේ ගැලවුම්කරු වූයේ සජිත්ය. සජිත්ගේ කැපකිරීම් හේතුවෙන් රනිල්ගේ අගමැති පදවියත් ආණ්ඩුවත් දෙකම බේරුණේය. දැන් ඇවිත් තිබෙන්නේ සජිත් මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා බවට පත් කිරීමේ සටනය. එයට ලොකුම උත්තේජනයක් වන්නේ උතුරු සහ නැගෙනහිර ඇතුළු සුළු ජාතික ඡන්ද පදනමයි. එය පක්ෂයේ අපේක්ෂකයාට ලබාදීමේ ලොකුම කාර්යභාරයක් ඉටුකළ හැක්කේ රනිල්ටය. ඔහු අතින් එය ඉටුවෙනවාදැයි ඉදිරියේදී බලාගත හැකිය.

I ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00