2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

සිකුරාදා පෙරළිය

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

2010 ජනාධිපතිවරණය යෙදී තිබුණේ ජනවාරි 26 වැනිදාටය. යුද්ධය දිනූ අලුත මහින්ද රාජපක්ෂ ඒ ඡන්දයට එන්නේ ජයග්‍රහණය සාක්කුවේ දමාගෙන බව යූ.එන්.පී. ප්‍රමුඛ එ.ජා. පෙරමුණ දැනගෙන සිටියේය. ඒ වෙලාවේ යූ.එන්.පී. එකට අපේක්ෂකයකු සොයාගැනීමත් ප්‍රශ්නයක් වී තිබුණි. යූ.එන්.පී. කැබිනට්ටුවේ සිටි 17 දෙනෙක් ඒ වනවිට සිටියේ මහින්දගේ ආණ්ඩුවේ කැබිනට් එකේය. හතර අතින්ම වැටී සිටි යූ.එන්.පී. පාක්ෂිකයන් නැගිට්ටවන සේලයින් කටුව වැදුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ නම ඉදිරියට පැමිණීමත් සමඟය. එය මහින්දලා වුවද එකවරම බලාපොරොත්තුව සිටියේ නැත.

ජනාධිපතිවරණය ආසන්නයේ මේ ආකාරයට හදිසියේ සිදුවන පෙරළි දේශපාලන පක්ෂ කළඹයි. මහින්දලාට එවර ඒ තත්ත්වයට මුහුණ දීම අමාරු වුයේ නැත. ආණ්ඩුව තිබුණේ ඔවුන්ගේ අතේය. එහෙම වුණත් යුද්ධ ජයග්‍රහණය ප්‍රධාන මාතෘකාව වූ කාලයක ෆොන්සේකා බලවත් අපේක්ෂකයෙක් බව මහින්දලා දැන සිටියහ. ඔහුගේ නම ප්‍රකාශ වීමත් සමඟ යූ.එන්.පී. පාක්ෂිකයන් තුළ ඇති පිබිදීම ද ඔවුන්ට හොඳින් දැනුණි. පහසුවෙන් දිනන්න තිබූ අවස්ථාව ගිලිහී යා නොදී රුක ගැනීමට ඔවුහු සටනට බැස්සාහ. මුලින් කැම්පේන් එකේදී ඉහළින් සිටි ෆොන්සේකා පසුව පහළට බැස්සේය. ඊට විවිධ කාරණා හේතු වුවද අවසානයේ ෆොන්සේකා පරාජය කොට විශිෂ්ට ජයක් හිමිකර ගත් මහින්ද රජ ගෙදරට ගියේය. පැරදුණු ෆොන්සේකා හිරගෙදරට ගියේය. ඒ අතීත කතාවයි.

එම ජනාධිපතිවරණයේදී මහින්දගේ ජයග්‍රහණයට මහා ශක්තියක් වූ ගෝඨාභය මෙවර ඡන්දයේ මහින්දගේ අපේක්ෂකයා වී සිටියි. කෙසේ වුවද මහින්දලා අලුතින් හැදූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුවේ) අපේක්ෂකයා වශයෙන් ගෝඨා ඇප මුදල් තැන්පත් කළත් සිකුරාදා සවස් වනවිට තත්ත්වය වෙනස් විය. රාජපක්ෂ පවුලේ වැඩිමහල් සොහොයුරා වන චමල් රාජපක්ෂ ද ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඇප මුදල් තැන්පත් කළේය. ඒ සමඟ දැනගන්නට ලැබුණේ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකින් මෙතෙක් ලොකුම ගැටලුවක් වී තිබූ ඡන්ද ලකුණ වෙනස් කිරීමට එකඟ බව දැනුම් දී ඇති බවයි. මෙතෙක් කාලයක් කැත්තට පොල්ල මෙන් සිටි පොහොට්ටුව එකවරම මේ තරමට වෙනස් වූයේ ඇයි? එයට හේතු සෙවීමට පෙර 2015 ජනාධිපතිවරණය ද ටිකක් සිහිපත් කළ යුතුය.

2015දී ද මහින්ද බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දුන්නේය. ඒ පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල තම කඳවුරෙන් ඉවත් වී යූ.එන්.පී. ප්‍රධාන පෙරමුණේ පොදු අපේක්ෂකයා වීමය. ඒ වනවිටද ආණ්ඩුව තිබුණේ මහින්දලාගේ අතේය. ඒ වුණත් ඔවුන්ට බාධක කිහිපයක් තිබිණි. එකදිගට වාර දෙකක් තිබූ පාලනය හේතුවෙන් ජනතාව තුළ කලකිරීම පැතිර තිබිණි. රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් ජනතාවගේ දැඩි අප්‍රසාදයට පාත්‍ර වී තිබුණේය. කැබිනට් එක ඇතුළේ ද විවිධ ගැටලු ඇති විය. රටේ ආර්ථික ගැටලු ගැන රතු එළි පත්තු කරමින් ජාත්‍යන්තර සම්බාධක පැනවීම ගැන කතා පැතිරිණි. දිගින් දිගටම සුළු ජාතික පක්ෂ සමඟ ඇතිකරගත් ගැටුම් නිසා ඔවුන්ගේ සහාය නැති වන බව පැහැදිලි විය. ආණ්ඩුව අතේ තිබුණත් මහින්දලාගේ අවාසියට සියලු දේ පෙළගැසෙමින් තිබුණි. උතුරේ ඡන්ද නිදහසේ වැටුණොත් මහින්ද පරදින බවට දේශපාලන විචාරකයෝ අනාවැකි පළකළහ. එය එසේම සිදුවී ජයගත් මෛත්‍රීපාල ජනාධිපති මැඳුරට ගියේය. පැරදුණු මහින්ද මැදමුලනට ගියේය.

හැබැයි මෛත්‍රීපාල - රනිල් පිහිටුවාගත් ආණ්ඩුව වැඩි කල් නොගොස් පීලි පැන්නේය. එය හරි පීල්ලට ගැනීමට පසුගිය වසර පහ තිස්සේම නොහැකි විය. එදා ජනප්‍රිය පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල අද නායකත්වය දෙන්නේ කැඩී බිඳී ගොස් ඉතිරි වූ මන්ත්‍රීන් 17 දෙනකුගෙන් යුත් ශ්‍රීලනිපයටය. ඒ අතරින් ද 06 දෙනකු යූ.එන්.පී ප්‍රමුඛ එජා පෙරමුණ සමඟ එකතුවීමට බලා සිටින බව කියයි. මෛත්‍රීපාල සමග එකතු වී ආණ්ඩුව පිහිටුවා ගත් අගමැති රනිල්ද විවිධ ගැටලුවලට මුහුණ දුන්නේය. ආර්ථිකයේ හැසිරවීම රටේ වැඩිදෙනකුගේ පිළිගැනීමට ලක්වූයේ නැත. ආණ්ඩුව ඇතුළේ බරපතළ මතගැටුම් හටගත්තේය. රටේ පාලනය කා අතේද යන්න ගැටලුවකි. ජනතාව මේ වනවිට කියන්නේ රටේ පාලනයක් නැති තරමට වැඩ සිද්ධ වෙමින් තිබෙන බවයි. රට පුරා ඇතිවෙන වැඩ වර්ජන රුල්ල එයට එක් උදාහරණයකි.

ආණ්ඩුව මෙවර ජනාධිපතිවරණයට යන්නේ එදා තම පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සමඟ දේශපාලන වශයෙන් දැඩි විරසකයක සිටිමිනි. මෛත්‍රීපාල ජනාධිපති අද කියන්නේ තමන්ගේ පක්ෂය යූ.එන්.පී.ය සමඟ සන්ධාන ගත නොවන බවත් තමන් සන්ධානගත වන්නේ නම් ඒ පොහොට්ටුව සමඟ බවත්ය. එහෙම වුණත් පොහොට්ටුවේ ප්‍රබලයන් බොහෝ දෙනකු පසුගිය කාල සීමාව තුළදීම වැඩ කර තිබුණේ තමන්ට ශ්‍රීලනිපය සමඟ කිසිදු සන්ධානයක් අවශ්‍ය නැති ගාණටය. ඡන්දය ළං වනවිට පක්ෂ දෙක අතර සාකච්ඡා වාර ගණනාවක් පැවතුණත් පොහොට්ටුව තම දැඩි ස්ථාවරය අත හැරියේම නැත. ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගතවීමට කැමැති වුවත් තමන් ඔවුන්ගේ කොන්දේසිවලට යටත් නොවන බවත් ඔවුන්ට අවශ්‍ය නම් තමන්ට එකතු වියහැකි බවත් ප්‍රකාශ විය. කෙසේ වුවද මහින්ද නිල වශයෙන් පොහොට්ටු නායකකම බාරගත් පසුව වඩාත් සුහදව සාකච්ඡා පැවැත්වුණි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරැණේ ඒ කාලයේදීය.

ජනාධිපතිවරණයට යූ.එන්.පීය යන්නේ ආණ්ඩුව අතේ තබාගෙනය. එහෙම වුණත් එදා 2015දී මහින්ද මුහුණ දුන්නාක් මෙන්ම ප්‍රශ්න ගණනාවකට ආණ්ඩුව අද මුහුණ දෙමින් සිටී. මහින්දලාගේ ආණ්ඩුවට මෙන්ම රනිල්ගේ ආණ්ඩුවට ද එරෙහි සොරකම්, වංචා, දූෂණ චෝදනා එල්ල වී තිබේ. සමස්තයක් වශයෙන් රට තුළ ආණ්ඩුව කෙරෙහි පවතින්නේ කලකිරීමකි. ජනාධිපතිවරයා වෙනම ස්ථාවරයක සිටිමින් කටයුතු කළද ඔහු පිළිබඳව ද රටේ ජනතාව දක්වන්නේ සුබවාදී ආකල්පයක් නොවේ. ජනාධිපතිවරයා තවදුරටත් යූ.එන්.පී. පෙරමුණ සමඟ දේශපාලනය කරන්නේ නැත. මේ නිසා බලය අතේ තබාගෙන වුවද ආණ්ඩුව ඡන්දයට යන්නේ අවාසි සහගත තත්ත්වයන් මැදින් බව පැහැදිලිය.

එම අවාසිදායක තත්ත්වය පසුගිය සතියේ යම් පමණකට වෙනස් වූයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් සජිත් නම් කිරීමත් සමඟිනි. ගෝඨාභය පොහොට්ටුව ප්‍රමුඛ ශ්‍රීලනිපය ඇතුළු පක්ෂවල සාමාජිකයන්ගේ තේරීම සහ ඉල්ලීම වන විට යූ.එන්.පී. ප්‍රමුඛ පෙරමුණේ පක්ෂවල සාමාජිකයන්ගේ තේරීම සහ ඉල්ලීම වී තිබුණේ සජිත්ය. ගෝඨාභය පහසුවෙන් ජනාධිපති අපේක්ෂකකම ගත්තත් සජිත්ට අපේක්ෂකත්වය ලබාගැනීමට දැඩි සටනක් දියත් කිරීමට සිදුවිය. එහි වාසි සහගත තත්ත්වයක් ඇති බව පෙනෙන්නේ ඔහු පැමිණීමත් සමඟ යූ.එන්.පී ආධාරකරැවන් සහ පක්ෂවල පිබිදීම හේතුවෙනි. මේ නිසා නොවැම්බර් 16 වැනිදා ප්‍රබල ලෙස සටන් කෙරෙන ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇත.

යූ.එන්.පී. එසේ වුවද පොහොට්ටුව ඉන්පසුව ගෝඨාට පැවරැණු නඩුවත් සමඟ බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් මේ ගැටලුව ඇතිවිය. දින කිහිපයක් ඇසුණු නඩුවේ තීන්දුව සිකුරාදා හැන්දෑවේ ප්‍රකාශයට පත් විය. පොහොට්ටුව ලකුණ වෙනුවට පුටුව ලකුණින් තරග කිරීමට ඇති නීතිමය හැකියාව පිළිබඳව සොයා බැලීමට පොහොට්ටුව කැමැත්ත පළකළේ මේ පසුබිමේය.

සිකුරාදා සවස 6.05ට පමණ ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් විය. එයින් කියැවුණේ අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බවය. එම තීන්දුව ඒකමතික තීන්දුවක් වූ අතර අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

මෙම පෙත්සම ඉදිරිපත් කිරීමත් එය විභාගයට ගැනීමත් රටේ ජනාධිපතිවරණ සටන උණුසුම් කර තිබුණි. එය තමන්ගේ අපේක්ෂක ගෝඨාභයට ඡන්දයේදී මුහුණ නොදී සිදුකරන හිරිහැරයක් හැටියට පොහොට්ටු ආධාරකරැවෝ යූ.එන්.පී.යට එරෙහිව චෝදනා නැගූහ. කෙසේ වුවද මෙම නඩුව හේතුවෙන් පොහොට්ටුවේ නායකයන් කැළඹීමට පත්ව සිටි බවද මුලදී පෙනී ගියේය. චමල් රාජපක්ෂ ඇප බැඳීම සහ පොහොට්ටු ලකුණු  වෙනුවට පුටුව පිළිබඳ සලකා බැලීම එම කැළඹීම පෙන්නුම් කළේය. මේ නිසා නඩු තීන්දුව පොහොට්ටුවට මහත් අස්වැසිල්ලක් ලබාදුන් බව පෙනෙන්නට තිබුණි. පොහොට්ටු සභාපති මහාචාර්ය ජී.එල්. ප්‍රකාශ කළේ උසාවිය එම පෙත්සම වීසිකර දැමූ බවය. සෙසු පක්ෂ සාමාජිකයන්ද සිටියේ මහත් උද්‍යෝගයකිනි

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡාවලට මේ නඩු තීන්දුවෙන් ඇතිකරන බලපෑම් කුමක්දැයි ඉදිරියේදී බලාගත හැකිවනු ඇත. එසේම යූ.එන්.පී.ය ඊළඟ පියවර තබන 10 වැනිදා ගාලුමුවදොර රැලියත් පොහොට්ටුවේ අනුරාධපුර රැලියත් සමඟ ජනාධිපතිවරණයේ රැල්ල ගැසීම ආරම්භ වනු ඇත. එම රැල්ල ගැසීමට මේ නඩුවේ තීන්දුව කොතරම් දුරකට බලපෑම් කර ඇතිදැයි එම රැලිවලදී බලාගත හැකිවනු ඇත.

 ශශීන්ද්‍ර