2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

ඡන්දෙ කාලේ ජිමික්ස්

රටේ ජනාධිපතිවරයා වීම සඳහා 35 දෙනකු තරග වැදී සිටින මේ කාලයේ විරුද්ධවාදී ප්‍රධාන අපේක්ෂකයන්ට සමීපව කටයුතු කරන පිරිසට මේ දිනවල සිතේ පැලපදියම් වූ රාජකාරි දෙකක් තිබේ. අරමුදල් රුස් කිරීම සහ අනෙක් පක්ෂයේ දේශපාලනඥයන් බාගැනීම එම කටයුතු දෙකයි.

කොළඹ ප්‍රධාන පෙළේ ආයතනවල ඉහළම පෙළේ ලොකු ලොක්කන්ට මේ හේතුවෙන් දුරකථනවලට පිළිතුරු දීම වදයක් බවට පත්වෙමින් තිබේ. මේ නිසා දුරකථනවලට ඔවුන් පිළිතුරු දෙන්නේ හොඳින් සොයා බැලීමෙන් පසුවය. තමන් කිසියම් අපේක්ෂකයකුගේ සමීපතමයකු බව හඳුන්වා දෙමින් කැම්පේන් එක සඳහා මුදල් ඉල්ලා සිටින ඇමතුම්වලින් මේ ලොක්කන්ට අඩුවක් නැත. මේ ගැන ව්‍යාපාරිකයන් මුර පදයක් වශයෙන් භාවිත කරන්නේ එයා දඩයක් ගහන්න එන්නේ යන්නයි.

මේ එක් අවස්ථාවකදී හිටපු බුද්ධි අංශ ලොක්කෙක් ගමේ පළාත්වල මුදල් රුස් කිරීම සඳහා ගියේය. ඔහුට පූජ්‍ය පක්ෂයට ප්‍රබල සබඳකම් ද තිබිණි. පොහොට්ටු නායකයන්ට ලැබුණු එක් පැමිණිල්ලකින් කියැවුණේ මේ නිලධාරියා තමන්ගේ අපේක්ෂකයාට තොරතුරු සපයාදීම සඳහා අවශ්‍ය වන උපකරණ කට්ටලයක් මිලදී ගැනීමට මුදල් ඉල්ලා සිටින බවයි. එක් කාලයක ප්‍රධාන පෙළේ නිලධාරියකු වූ මොහුට වහාම එම ක්‍රියාව නතර කරන ලෙස අවවාද කෙරිණි. ඔහුගේ වැඩකටයුතු දැන් තදින්ම නිරීක්ෂණය කෙරෙමින් පවතී.

මේ තත්ත්වය විහිළුවට ගත් අයෙක් ප්‍රකාශ කළේ ඡන්ද කාලය පණුවන් කපුටන් බවට පත්වෙන කාලය බවයි. එසේම තමන් රට ජාතියේත් ප්‍රජාතන්ත්‍රවාදයේත් ගැලවුම්කරු වශයෙන් හඳුන්වාදෙමින් තරගයට බැස සිටින අපේක්ෂකයන් පිරිසක් ද වෙති. මේ ආකාරයේ අදහන්නත් අමාරු තත්ත්වයේ උදාහරණයක් වාර්තා වන්නේ දකුණු පළාතේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගෙනි. ඔහු මුහුණ දෙමින් සිටින දේශපාලන අවිනිශ්චිතභාවය දැනසිටි අපනයන ක්ෂේත්‍රයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ඔහුට කිට්ටු විය. වෙනත් පක්ෂයක හොඳ අනාගතයක් හදාදීමට මේ ව්‍යාපාරිකයා පොරොන්දුවක් දුන්නේය. ගත් කටටම දේශපාලනඥයා ඇසුවේ මගේ ගාණ කීයද  යනුවෙනි.

මේ ඩීල් එක වැඩිදුර ගියේ නැත. කිසිදු ගාස්තුවකින් තොරවම අදාළ තීරණය ගැනීමට ඔහුට සිදුවිය.

- සන්ඩේ ටයිම්ස්

ගෝඨා - සජිත් සහ ට්‍රම්ප්

ජනාධිපතිවරණයට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ඡන්ද සටන ආරම්භයේ සිටම ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ආසන්නම විරුද්ධවාදියා වන එජාප ඇමැති සජිත් ප්‍රේමදාසට වඩා ඉතාම ඉදිරියේ සිටින බව අඩුවැඩි වශයෙන් පෙනී යයි.
මෙවැනිම තත්ත්වයක් 2016දී පැවැති අමෙරිකානු ජනාධිපතිවරණයේදී ද දකින්නට තිබිණි. අමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳ පළ වී තිබූ සියලු අනාවැකි බොරැ කරමින් ලොව පුරා සිටි දේශපාලන විශාරදයන් පවා අන්දමන්ද කරවමින් හිලරි ක්ලින්ටන් පරාජය කොට ට්‍රම්ප් ජයගත්තේය. එම මැතිවරණය අමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම අසාමාන්‍ය වූ මැතිවරණය වශයෙන් ද හැඳින්වෙයි. එතෙක් පැවති දේශපාලන රටාව කෙරෙහි අමෙරිකානුවන් දැක්වූ ප්‍රබල විරෝධයක් වශයෙන් ද එම ප්‍රතිඵලය හඳුන්වා දී තිබිණි.

මැතිවරණය පැවති දිනයේදී වැඩිදෙනකු අනාවැකි පළකර තිබුණේ හිලරි ක්ලින්ටන් සාමාන්‍ය පරතරයකින් ජයගනු ඇති බවයි. එහෙත් ප්‍රතිඵලය එයට හාත්පසින් වෙනස් විය. ක්‍රමෝපායික විශේෂඥයකු සහ පළපුරුදු අලෙවිකරුවකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය තරම් ඡන්ද ලබාගැනීමට සමත් විය. දේශපාලන කරළිය තුළ මුල් බැසගෙන සිටි තැනැත්තාට වඩා පිටස්තරයකු වූ තමා සුදුසු බවට ට්‍රම්ප් එරට ජනතාව තුළ පැළපදියම් වූයේ තමාව හොඳින්ම මාකට් කරගනිමිනි. ඒ සඳහා ට්‍රම්ප්ට උපකාරී වූයේ ඔහුටම ආවේණික වූ වාග්චාතූර්යයි.

හිලරි ක්ලින්ටන් තම සටන් පාඨය කරගත්තේ Stronger Together යන්නයි. එය කිසිම උද්යෝගයකින් තොර වූ අතරම විචිත්‍රවත් වූ සටන් පාඨයක් නොවීය. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් යොදවාගත් Make America Great Again සටන් පාඨය අමෙරිකා ජනතාවගේ ජාතිකත්වය සමඟ හොඳින් සුසංයෝග විය. එය අමෙරිකාවේ ඈත ප්‍රාන්තවල ජනතාවගේ හදවත් පුබුදුවා තිබිණි. අවසන් ප්‍රතිඵලයේදී එය හොඳින්ම ප්‍රදර්ශනය විය

ගෝඨාභය රාජපක්ෂට දේශපාලනයේ පළපුරැදුකම් නොමැති වුවද ඔහු ඉදිරිපත් වන්නේ මහින්ද රාජපක්ෂගේ සෙවණැල්ල වෙමින් රාජපක්ෂ පවුලෙනි. සජිත් ප්‍රේමදාස තමන්ගේ දිවංගත ජනාධිපති ප්‍රේමදාස පියාණන්ගේ දේශපාලන සාම්ප්‍රදාය පසුබිමේ තරග බිමට බැස සිටියි.

ගෝඨාභයට දේශපාලන අත්දැකීම් නොමැති වුවද යුද ජයග්‍රහණයේ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කිරීමත් ජනතාවගේ හදවත වැළඳගත් නගර අලංකරණයත් අපේක්ෂකයකු වශයෙන් නිසැකවම ඔහු ඉහළට ඔසවා තබා තිබේ. එය ට්‍රම්ප්ගේ ඉදිරි ගමනට සමාන වුවද ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් ගෝඨාභයගේ ඡන්ද ව්‍යාපාරයක් අතර කැපී පෙනෙන වෙනස්කම් තිබෙන බවද පිළිගත යුතු වෙයි. ඔහු ස්වභාවයෙන්ම වචන හරඹයේදී ඉදිරියෙන් නොසිටී. ගෝඨා යුද කාර්යයේදී විශිෂ්ටයකු වුවද දේශපාලනයේදී අවශ්‍යම වන ආකර්ශණශීලී ලෙස ජනතාව ඇමතීම අතින් තවම කැපී පෙනෙන්නේ නැත.

අමෙරිකාව එතෙක් පැවැති දේශපාලන සම්ප්‍රදායෙන් මුදාගෙන ජයග්‍රහණය තමන්ගේ අතට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වූයේ තම කටේ හයියෙනි. පවතින ක්‍රමය පිළිබඳව සම්ප්‍රදායන් පිළිබඳව මෙරට ජනතාව අතර දැඩි විරෝධයක් පවතින බව සැබෑය. එහෙත් එය ඡන්ද බවට හරහාගැනීමට ගෝඨාභය සමත් වනු ඇතිදැයි බලාගත හැකි වන්නේ ඡන්ද ප්‍රතිඵලයෙනි.

- ඩේලි එෆ්. ටී.