එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් පිළිබඳව ඔවුන්ගේ පොරොන්දු ගැන අපි බොහෝ දේ කතා කරන්නෙමු. ඔවුන් වේදිකාවේ ප්‍රකාශ කරන්නේ කරන්න පුළුවන් දේවල් ගැනදැයි ප්‍රශ්න කරන්නෙමු. මේවාට මුදල් සොයාගන්නේ කෙසේදැයි විවිධ මාර්ග ඔස්සේ විහිළුවට මෙන් අසන්නෙමු. එපමණක් ද නොවේ. බලයට පත්වීමෙන් පසුව තමන්ගේ වගකීම් ඉටු කරන්නැයි අභියෝග කරන්නෙමු. මේවා ජනාධිපති අපේක්ෂකවරුන්ගේ කනට වැටෙනවාදැයි අපි නොදනිමු. නමුත් කිවයුතු දේ කියමු. ඇසිය යුතු දේ අසමු. එහෙත් ජනාධිපතිවරණයේදීත් ඉන්පසුව එළඹෙන ආණ්ඩුවේ ආරම්භක අවධියේදීත් ඡන්ද දායකයන් වශයෙන් අපගේ යුතුකම් සහ වගකීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු කරන්නේදැයි සොයා බැලීමක් කරන්නේ නැත.
ඡන්ද දායකයකුගේ යුතුකම ප්‍රධාන වශයෙන්ම ඡන්දය දවසේ තමන්ට නියමිත ඡන්දපොළට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමය. එහිදී මොනම හේතුවකටවත් තමුන්ගේ ඡන්දය මිස අනුන්ගේ ඡන්දයක් භාවිත නොකිරීමට වගබලාගත යුතු වෙයි. හොර ඡන්ද දැමීමට තිබෙන අවස්ථා සියල්ලම පාහේ වළක්වා ගැනීමට සමත් යාන්ත්‍රණයක් මේ වන විට රටේ සියලු මැතිවරණ සඳහා ක්‍රියාත්මකය. පසුගිය කාලය මුළුල්ලේම ඒ අඩුපාඩුකම් හඳුනාගෙන හොර ඡන්දයට වැට බැඳීමට ක්‍රියා කළ සියලුම හිටපු මැතිවරණ කොමසාරිස්වරුන්ටත් වත්මන් මැතිවරණ කොමිෂන් සභාවටත් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු දෙනාගේ ගෞරව ප්‍රණාමය හිමිවිය යුතුය. ජාතික හැඳුනුම්පත හෝ හඳුනා ගැනීමට වෙනත් පිළිගත හැකි ලියැවිල්ලක් හෝ නොමැතිව ඡන්දය පාවිච්චි කිරීමට හැකිව තිබූ කාලයක් ද මේ රටේ තිබිණි. ඡන්දපොළ නිලධාරීන්ට වෙඩි තබා ඡන්ද කඩාකප්පල් කෙරුණු අවස්ථා ද අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ ලියැවී තිබේ. ඡන්ද පෙට්ටි අතරමග ඉස්සූ, පාවිච්චි කළ ඡන්ද පත්‍රිකා කුණුගොඩවලින් මතු වූ අවස්ථා ද වාර්තා විය. එහෙත් අද වන විට මැතිවරණ ක්‍රියාදාමය ඡන්ද දායකයාගේ පැත්තෙන් ඉතාම තෘප්තිමත් විය හැකි ආකාරයට සැකසී තිබෙන බව පිළිගත යුතු වෙයි. එසේ නම් දැන් ඇත්තේ ඡන්ද දායකයාගේ යුතුකම ඉටු කිරීමය.
එහිදී මුලින්ම කිව යුත්තේ ඡන්ද දායකයා තමන් කැමැති කුමන අපේක්ෂකයකු හෝ වෙනුවෙන් සහයෝගය දැක්වුවත් එය ප්‍රතිවාදී අපේක්ෂකයාට සහාය දක්වන අයකු සමඟ කෝලාහල කිරීමට හේතුවක් නොකරගත යුතු බවය. පෝස්ටරයක් ඉරුවාට, බැනරයක් කපා දැමුවාට අසල්වැසියාගේ බෙල්ලෙන් අල්ලාගෙන වොයිස් කට් දෙන්නට යාම තේරුමක් නැති වැඩකි. මෙවර ජනාධිපතිවරණයේ පෝස්ටර්, කටවුට් සහ අත්‍යාවශ්‍ය නොවන ප්‍රචාරක උපක්‍රම භාවිත කිරීමට දැඩි නීති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඡන්ද ගැටුම් බොහෝ සෙයින් අඩු වී තිබේ. මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානවලට මේ වන විට ද වාර්තා වී ඇත්තේ වෙඩි තැබීම් එකක් පමණි. එය ද මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් හේතුවෙන් සිදුවූවක් නොව එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ වාහනය හරස් කිරීම නිසා සිදු වූවක් බවත් වාර්තා විය. ඡන්ද ගැටුම් අවම වීම ඡන්ද දායකයාගේ අයිතියට තවත් වටිනාකමක් එකතු කිරීමකි.
සාමාන්‍යයෙන් සැලකෙන්නේ මේ රටේ ඡන්ද දායකයා බුද්ධිමත් බවය. එසේ වුවද තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කර වෙන අතක් බලාගෙන තමන්ගේ පාඩුවේ සිටීමෙන් සියලු වගකීම් ඉටුවෙන්නේ නැත. ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තමන් කිසියම් අපේක්ෂකයකුට කැමැත්ත ප්‍රකාශ කළ යුතු වන්නේ මන්දැයි වටහාගෙන ඒ අනුව ක්‍රියා කිරීම වඩාත් සුදුසු වෙයි. උපන් දා පටන් කුමක් හෝ පක්ෂයක වන්දනාකරුවන් වී සිටින අය එවැනි හැදෑරීමකට කැමැති නොවනු ඇත. එහෙත් සැබෑ අවබෝධයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට බුද්ධිමත් ඡන්ද දායකයා තුළ ද කිසියම් පෙළඹවීමක් තිබිය යුතුය. වගකීම නිසි ලෙස ඉටුවන්නේ එවැනි අවබෝධයකින් ක්‍රියා කිරීමෙනි.
අවබෝධය ලබාගැනීමට තමන් කැමැති අපේක්ෂකයා නියෝජනය කරන පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ පමණක් හැදෑරීම ප්‍රමාණවත් නොවේ. ලෝකයේ වර්තමානයේ පවතින යථාර්ථයන් සමඟ ගලපාගෙන කටයුතු කළ හැකි, අලුත් විදිහට සිතන, අලුත් කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට සූදානම් නායකත්වයක් බොහොමයක් ඡන්ද දායකයන්ගේ අරමුණු බව ඔවුන් කරන කතාබහින් අවබෝධ කරගත හැක. මේ ගතිලක්ෂණ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තුළම පැවැතිය හැක. එසේ නම් මේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙස විමසිල්ලෙන් බැලීම අවශ්‍යය. ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් සියලු දේ ඉටුකළ නොහැකි බව අතදරැවකුට වුවද තේරැම් ගැනීම අපහසු නැත. එහෙත් රටේ අනාගතය යහපත් මාවතකට ගැනීම සඳහා වඩාත්ම සුදුසු වැඩපිළිවෙළ ඇත්තේ කා සතුවදැයි සොයා බලා කටයුතු කිරීම ඡන්ද දායකයාගේ ප්‍රධානම වගකීමකි.
මෙවර සියලුම ප්‍රධාන අපේක්ෂකයන් රටේ තරැණ පෙළට රුකියා ලබාදීම සඳහා ද බදු අඩුකිරීම සඳහා ද විවිධ වැඩපිළිවෙළ යෝජනා කර තිබේ. එසේම ජාතික ආරක්ෂාව ද ප්‍රමුඛ සටන් පාඨයකි. මෙහිදී ජනතාව වඩාත් සැලකිලිමත් වනු ඇත්තේ ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන් සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා කෙරෙහි පමණි. එසේම ඊළඟ ස්ථානය ලබාගැනීමට දැඩි උනන්දුවකින් කටයුතු කරන ජාතික ජනතා බලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ද ඔවුන් අවධානයට ගනු ඇත. තමන් කුමන තීන්දුවක් ගත්තත් එය රටේ අනාගතය උදෙසා සිදුකෙරෙන ආයෝජනයක් බව වටහාගෙන ක්‍රියා කිරීම අවශ්‍යය.