2017 මාර්තු 18 වන සෙනසුරාදා

ගිලන්වූ ගිලන්රථ

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

රෝහලකට ඇතුළු කරනු ලබන අසාධ්‍ය රෝගියකු මියයාම මහා අරුමයක් නොවේ. එවැනි අවස්ථා ඕනෑම රෝහලක සිදුවිය හැකිය. එහෙත් ජීවත් කළ හැකි රෝගියකු රෝහලකදී මියයාම මහත් වේදනාවකි. බරපතළ වැරැද්දකි. එවැනි අවාසනාවන්ත සිද්ධියක් ඇතිවූයේ ගිලන් රියක් කලට වේලාවට සපයා ගත නොහැකි වීම නිසා නම් එම වැරැද්දේ දිග පළල සොයාගත නොහැකි තරම් විශාල බව අපගේ විශ්වාසයයි.

ඉහත කී කාරණාවට අදාළ ප්‍රවෘත්තිය අපගේ සහෝදර ලංකාදීප පුවත්පත පසුගියදා පළකර තිබුණේ එහි ප්‍රධාන සිරස්තලය යටතේය. එයින් දැක්වුණේ රෝහල් හතරකම ගිලන් රථ ගිලන්ව තිබීම හේතුවෙන් අලව්ව ප්‍රාදේශීය රෝහලට පසුගියදා ඇතුළු කරන ලද රෝගියකුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ඔහු යැවිය යුතුව තිබූ කුරුණෑගල රෝහලට නියමිත වේලාවට යවා ගත නොහැකි වීමෙන් එම රෝගියා මියගිය බවය. මෙම රෝගියාට අවශ්‍ය මූලික ප්‍රතිකාර අලව්ව රෝහලින් ලැබී තිබුණත් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඔහු ඇතුළත් කිරීමට හැකියාව ලැබී තිබුණේ පැය පහක ප්‍රමාදයකින් පසුවය. එහිදී එම රෝහලේ වෛද්‍යවරයා කියා තිබුණේ තව පැය දෙක තුනකට පෙර රෝගියා ගෙන ආවා නම් ඔහු බේරාගැනීමට හැකියාවක් තිබූ බවය. මේ බව අසන රෝගියාගේ සමීපම ඥාති පිරිසට දැනුණු හැඟීම් කෙලෙසදැයි මෙහි සටහන් කිරීම අවශ්‍ය නැත.

ගිලන් රියක් කලට වේලාවට ලැබී නැත්තේ අලව්ව රෝහලේ රියැදුරු නිවාඩු ගොස් සිටීමත් ආසන්නයේ ඇති තවත් රෝහලක රියැදුරුට බඩේ අමාරුවක් තිබීමත් වෙනත් රෝහලක ගිලන් රියට ඩීසල් නොතිබීමත් තවත් රෝහලක දුරකථනය වැඩ නොකිරීමත් හේතුවෙනි. මෙය හතර බීරි කතාවකට දෙවැනි නැත. අවසානයේ මියගිය රෝගියාගේ පුතා තමන් දන්නා හඳුනන ගිලන් රියක රියැදුරකු තම පෞද්ගලික දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඔහුගේ ආධාරය ඇතිව කුරුණෑගල රෝහලට රෝගියා රැගෙන ගියද ඒ වනවිට සියල්ල සිදුවී හමාරය. නමුත් මේ අවාසනාවන්ත ක්‍රියාදාමය එළියට එන්නට එය හේතු වූ බවද සඳහන් කිරීම අවශ්‍යය. නැතහොත් මෙවැනි දෙයක් සිදුවීදැයි රටේ බලධාරීන්ට දැනගන්නටවත් ඉඩක් නොලැබෙනු ඇත. අඩුම තරමින් මින් ඉදිරියට හෝ මෙවැනි අමිහිරි සිදුවීම් වළක්වා ගැනීමට මෙය පාඩමක් කරගත හැකිය.

අපි අපගේ රෝහල් සේවාවන් ගැන එක්තරා දුරකට තෘප්තිමත් භාවයකින් පසුවන රටක පුරවැසියෝ වෙමු. මේ රටේ අයවැයෙන් වැඩිපුරම මුදල් ප්‍රමාණයක් වෙන් කෙරෙන එක් අමාත්‍යංශයක් වන්නේ රජයේ සියලු රෝහල් භාර සෞඛ්‍ය අමාත්‍යංශයයි. මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයට ලෝකයේ ඉහළම පිළිගැනීමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. අවශ්‍ය ඖෂධ රට පුරා ඇති රෝහල්වලට බෙදාහැරීමට රජය විශාල මුදලක් වාර්ෂිකව වෙන් කරයි. කොතරම් මාෆියා ක්‍රියාත්මක වුවද ඉහළ ප්‍රමිතියකින් යුත් ඖෂධ ගෙන්වා හැකිතරම් සාධාරණ මිලකට බෙදාහැරීමටද සියලු කටයුතු යොදවයි. නවීන ප්‍රතිකාර සඳහා නිතරම රෝහල්වලට අලුතින් විවිධ සායනික සහ ශල්‍ය වෛද්‍ය අංශ එකතු කරයි. නමුත් මේ සියල්ල සිදුවන අතරේ ගිලන් රථයක් සොයාගැනීමට නොහැකි වීම නිසා රෝගීහු රෝහල්වලම මියැදෙති. මෙහි කොතැනක හෝ බරපතළ වරදක් තිබෙන බවට එය ප්‍රමාණවත් සාක්ෂියකි. එම වැරැද්ද වෙනුවෙන් අසරණ රෝගියකු තම ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද යන ගැටලුව නිරායාසයෙන්ම පැන නගී. එසේ විය යුතු නැත. වැරැද්ද කොතනකදැයි සොයා වහාම ඊට පිළියම් යෙදීම අවශ්‍යය.

ගිලන් රථයක් රෝගියකුගේ ජීවිතය බේරාදීමේදී කොතරම් වැදගත් වන උපකරණයක් දැයි යන්න පහදාදීමට මේ සිද්ධිය හොඳම උදාහරණයක් සපයයි. එසේ නම් එම උපකරණය හොඳින්ම ක්‍රියාත්මකව පැවැතීම අවශ්‍යමය. නැතහොත් එය වීදුරු කටු ඇති සේලයින් බෝතලයකට දෙවැනි නැත. වැඩක් ගත නොහැකිය. ගිලන් රිය පමණක් නොව රියැදුරන්ද පැය 24ම සේවය සඳහා සූදානමින් තැබීම අවශ්‍යය. එය රෝහල් භාර වෛද්‍ය අධිකාරීන්ගේ ලොකු වගකීමකි. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින්නා වූ විවිධ වෘත්තීමය ගැටලු හේතුවෙන් ඇතැම්විට ගිලන් රිය පමණක් නොව රෝහලද පවත්වාගෙන යාමට අවශ්‍ය සෙසු උපකරණ පවා ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වාගෙන යාමට නොහැකි වන අවස්ථා ඕනෑ තරම් තිබෙන බවද අපි දනිමු. එසේ වූ පමණින් අසාධ්‍ය රෝගියකුගේ ජීවිතය ගලවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ ගිලන් රියක් අකර්මණ්‍ය වීමට ඉඩදීම බරපතළ වැරැද්දක් බව කිව යුතු නැත. 

රෝහල්වල ගිලන් රථ පිළිබඳ ගැටලුව නාගරිකව පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශවලටද එක සේ බලපාන්නකි. ගිලන් රිය වලින් වඩාත් කාර්යක්ෂම සේවාවන් සපයා ගැනීම සඳහා මෙරටට ඉන්දීය සෞඛ්‍ය සේවාව හරහා නොමිලයේම ගිලන් රථ ගෙන්වීමේ රජයේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය‍ මුලින්ම දැක්වූ විරෝධය අපට අමතක නැත. ඒ අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කළේ රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ගිලන් රථ තිබෙන බවත් ඒවා කළමනාකරණය කරගැනීම තමන්ට ගැටලුවක් නොමැති බවත්ය. ඒවායේ සේවාව හරහා රටේ ගිලන් රථ රියැදුරන්ගේ සහායකයන්ගේ රුකියා පවා අහිමි විය හැකි බවටද ඔවුන් අනතුරැ අඟවා තිබිණි. අවසානයේ රෝහල්වල නවතා තැබිය යුතු එම ඉන්දීය ගිලන් රථ දැන් නවතා තැෙබන්ෙන් පොලිස් ස්ථාතවලය. ඒ්වාෙය් සේවයේ යෙදී සිටින්නේ ඉන්දීය රියැදුරන් නොව ශ්‍රී ලාංකික රියැදුරන්මය. එහෙත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම ගිලන් රථ සේවාව ඒවා ක්‍රියාත්මකව පවතින නගරවල රෝගීන්ට නොමිලයේම ලබාගත හැකිය. අලව්වටත් එවැනි සේවාවක් තිබුණා නම් රෝගියා තවමත් ජීවතුන් අතරය. මේ සත්‍යය පිළිගැනීමට අකැමැති පිරිස් කොතෙකුත් සිටිනු ඇත.

ඉතා කාර්යක්ෂම ගිලන් රථ සේවාවක අවශ්‍යතාව අලව්ව රෝහලේ සිදුවීම හරහා රටටම පෙන්වා දී තිබේ. එසේම වහාම පිළියම් යෙදිය යුතු වැරැදි ගිලන් රථ සේවයේ සිදුවන බවද එයින් ප්‍රකාශ වෙයි. වැරැදි සිදුවන්නේ කොතනදැයි සොයාබලා වැරුදි කළ අය සිටී නම් ඔවුන්ට විනයානුකූලව දඬුවම් පැමිණවීමද අවශ්‍යමය. නැත්නම් ජීවත්වීමේ වාසනාව තිබෙන රෝගීන් දිගටම අකාලයේ මරු වසඟයට යනු ඇත.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00