2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

සිරිකොත ගේට්ටුව වැසීම

ජනාධිපතිවරණයේදී ලද පරාජයත් සමඟ යූ.එන්.පී.ය ඇතුළේ ප්‍රබල මතගැටුම් ඇතිවී තිබෙන බව පැහැදිලිය. එය කෙළින්ම රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය වශයෙන් වෙන්වී තිබේ. හිටපු අගමැති රනිල්ට පක්ෂ මහ ලේකම් අකිල විරාජ් ඇතුළු ජ්‍යෙෂ්ඨතම මැතිඇමැති පිරිසකගේ සහාය ලැබෙන අතර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වූ යූ.එන්.පී හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයකගේ සහ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිපදෙනකුගේ සහාය ලැබෙන බව පෙනෙන්නට තිබේ. විපක්ෂ නායක ධූරය ලබාගැනීම සඳහා දෙදෙනාම අතර ඇති වී තිබෙන ඕනෑකම මේ අභ්‍යන්තර ගැටුම එළියට කැඳවා ගෙන ඇවිත් තිබේ.

සටන එළිපිටම රඟදැක්වුණේ පරාජිත අපේක්ෂක සජිත් තම පාක්ෂිකයන් හමුවීම සඳහාත් තමන්ට සහාය දැක්වූ පිරිස අමතා ප්‍රකාශයක් කිරීමටත් සිරිකොතට පසුගිය බ්‍රහස්පතින්දා (21) උදේ පැමිණෙන බව නිවේදනය කිරීමත් සමඟිනි. කෙසේ වුවද සජිත්ට සිය පාක්ෂිකයන් හමුවීමට සිදුවූයේ සිරිකොතදී නොව වොක්ෂෝල් වීදියේ පිහිටි ඔහුගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීය.

එජාප මන්ත්‍රී හරීන් සිය නිල නිවසේදී පසුගිය බදාදා (20) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණේ සිරිකොත එජාප මූලස්ථානයේදී පාක්ෂිකයන් හමුවන සජිත් එහිදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් ද සිදුකරන බවකි. ඒ අනුව සිරිකොතට ගිය එක් මන්ත්‍රීවරයකු වූයේ හර්ෂ ද සිල්වා මහතායි. ඔහු පසුව එතැන රුස්ව සිටි පාක්ෂිකයන් කැටුව වෝක්ෂෝල් වීදියේ කාර්යාලයට ගොස් සජිත් හමුවී තිබිණි. 

මෙහිදී කෙළින්ම දෝෂාරෝපණය එල්ලවූයේ පක්ෂ මහලේකම් අකිල විරාජ්ටය. එහෙත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවකුට ඊට ඇතුළුවීමට ඉඩ නුදුන් බවට පැතිරෙන කතා අසත්‍ය බවය. 21 වැනිදා සිරිකොත මන්දිරයේ දී මහජන නියෝජිතයන්ට ස්තූති කිරීම සඳහා වන සජිත්ගේ වැඩපිළිවෙළ කල්දැමීම සුදුසු බවට එජාපය පොදු තීරණයකට එළඹුණු බවත් එම තීරණය සියලු පාර්ශ්ව වෙත දැනුම් දුන් බවත් එම නිවේදනයේ සඳහන්ය. සජිත් ප්‍රේමදාස මහතාගේද එකඟත්වය ඇතිව වොක්ෂෝල් වීදියේ කාර්යාලය ඒ සඳහා යොදවා ගැනීමට කටයුතු කළ බවත් එහි සඳහන්ය.

කෙසේ වුවද මෙහිදී පෙනී යන්නේ එවැනි එකඟතාවට අනුව වැඩ කිරීමක් නොව සජිත්ට යූ.එන්.පී මූලස්ථානයේ දොර වසා දැමීම බව පැහැදිලිය. ඒ සම්බන්ධව පක්ෂයේ රනිල්ට සහාය දක්වන බලවතකු සහ සජිත්ට සහාය දක්වන ජ්‍යෙෂ්ඨයකු අතර ඇතිවූ සංවාදයක් පිළිබඳ තොරතුරු අපට දැනගන්නට ලැබිණි.

එහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය දැක්වූ පාක්ෂිකයන්ට තුති පුද කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා සිරිකොතදී ඔවුන් හමුවීමට අවස්ථාව ලබාදිය යුතු බවත්ය. එහෙත් රනිල්ට සහාය දක්වන බලවතා ප්‍රකාශ කර තිබුණේ එවැනි අවස්ථාවකට සිරිකොත ලබාදිය නොහැකි බවය. එතැනට පැමිණෙන පාක්ෂිකයන් විසින් සිරිකොතදී කලබල ඇති කරනු ඇතැයි තොරතුරැ ලැබී ඇති බවත් ඔවුන් සිරිකොත බලහත්කාරයෙන් අල්ලාගැනීමට උත්සාහ දරණ බවට සැකයක් තිබෙන බවත්ය. එහෙත් සජිත්ට සහාය දැක්වූ ජ්‍යෙෂ්ඨයා දිගටම ප්‍රකාශ කරඇත්තේ එවැනි කිසිදු උත්සාහයක් නැති බවත් යූ.එන්.පීයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ සජිත්ට තම පාක්ෂිකයන් හමුවීමට පක්ෂ මූලස්ථානය වන සිරිකොත දොරවල් හැරදිය යුතු බවත්ය.

කෙසේ වුවද බලවතා කියා සිටියේ සජිත් තම ඡන්ද ව්‍යාපාරය මෙහෙය වීමට භාවිත කළේ වොක්ෂෝල් වීදියේ කාර්යාලය බැවින් පාක්ෂිකයන් හමුවීමටද එම ස්ථානයම යොදවා ගන්නා ලෙසය. සජිත් සිරිකොතට පැමිණීම පිළිබඳව ඔහු දැඩි ලෙස විරැද්ධ වන බව පෙනී ගියත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේ සජිත්ගේ රුස්වීම සිරිකොතදී පවත්වන බවත් ඒ පිළිබඳව පාක්ෂිකයන් දැනුම්වත් කර ඇති බවත්ය.

එහෙත් පසුදින සිරිකොතට ගිය පිරිසට දැකිය හැකිවූයේ රුස්වීමකට සූදානමක් නොව දොරවල් සහ ගේට්ටු වසා දැමූ සිරිකොත මැඳුර මුරකරන අවිගත් භටයන් පිරිසකි. එහිදී පිරිස නොසන්සුන් වුවද එම තත්ත්වය මැඩ පවත්වාගෙන ඔවුන් වොක්ෂෝල් වීදියට ගෙනයාමට එතැනට පැමිණි පක්ෂයේ මන්ත්‍රීන් කිහිපදෙනෙක් කටයුතු කළහ.

වොක්ෂෝල් වීදියේදී සජිත් එම පිරිස හමුවී ඔවුන්ට සුබ පතා ඔවුන් සමඟ කාලය ගත කළත් මාධ්‍ය සාකච්ඡාවක් හෝ විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමක් හෝ සිදුකළේ නැත.

මීළඟට පක්ෂයේ නායකත්වය ඇතුළු ප්‍රධාන නිලධාරීන් ඉවත්විය යුතු බවටත් විපක්ෂ නායක පදවියට සජිත් පත්කළ යුතු බවටත් ඔහුට සහාය දක්වන මන්ත්‍රී පිරිස ප්‍රබල හඬක් ගෙන යති. එහෙත් කතානායක කරැ ජයසූරිය එම මන්ත්‍රීන් පිරිසට ප්‍රකාශ කර තිබුණේ විපක්ෂ නායක පදවියට රනිල් පත්කරන්නැයි ඉල්ලා පක්ෂ මහ ලේකම් කළ දැනුම් දීම තමා පිළිගන්නා බවය. ඒ ගැන ගැටලුවක් ඇත්නම් පක්ෂය තුළ එය විසඳා ගත යුතු යැයිද ඔහු ප්‍රකාශ කර තිබිණි.

එහෙත් දැන් පෙනෙන්නට තිබෙන්නේ යූ.එන්.පී ඇතුළේ පැහැදිලිවම බරපතළ ගැටුමක් නිර්මාණය වී තිබෙන බවයි. එය ඇතැම් විට පක්ෂය දෙකඩ වී වෙනත් පක්ෂයක් බිහිවීම දක්වා විහිදීයාමට ඉඩතිබෙන බව මන්ත්‍රී හරීන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙයි. ඊළඟ මහා මැතිවරණයට පෙර යූ.එන්.පී.ය දෙකඩ වී වෙන වෙනම ඡන්දයට ඉදිරිපත් වියහැකි බවද සමහරැ කියති. එසේ නොවීමට නම් රනිල් ඇතුළු නිලධාරීන් සිය තනතුරැ අතහැරිය යුතුය. නැතහොත් සජිත් ඇතුළු පිරිස තම ඉල්ලීම් හකුලා ගත යුතුය. රනිල් නම් කවදාවත් තම තනතුරැ අත්නොහරින බව ඉතිහාසය කියාදෙයි. සජිත් කෙසේ ක්‍රියාකරනු ඇත්දැයි ඉදිරි සති කිහිපය තුළදී බලාගත හැකි වනු ඇත.