එකම පවුලක දෙදෙනෙක් එකම අවස්ථාවකදී රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ ප්‍රධානියා යන තනතුරු දෙකම උසුලනු ලැබීම ලෝක දේශපාලනය සම්බන්ධයෙන් සුවිශේෂී වාර්තාවකි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙවැනි වාර්තා ඇත්තේ දෙකක් පමණක් බවද අපගේ මතක සටහන් කියයි. ඒ වාර්තා දෙකටම සම්බන්ධ රට ශ්‍රී ලංකාව වීම වඩාත්ම කැපී පෙනෙන සිද්ධියයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂ 14කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබමින් මෙරට හත්වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වූයේ 52.35%ක ප්‍රතිශතයක් ලබමිනි. ගෝඨාභය ජයග්‍රහණය කරනු ඇති බවට මුලසිටම විශ්වාස කළ අය අතරින් ප්‍රබල පාක්ෂිකයන් හැර සෙසු පිරිස ඔහු මෙතරම් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනු ඇති බවට ගණන් හදාගෙන සිටියේ නැත. එම උපරිමය ලක්ෂ 10කට අඩුවනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබිණි. ප්‍රතිශතය පිළිබඳවද විශ්වාසය එසේම විය. ඒ අතර යූ.එන්.පී.යට සම්බන්ධ බොහෝ පිරිසගේ මතය වී තිබුණේ දෙදෙනා අතර ළඟ ළඟම සටනක් පවතින බවත් කවුරැ දිනුවත් එම දිනුම සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවක් වනු ඇති බවත්ය. තවත් පිරිසක් කියා තිබුණේ සීයට 50 ඉක්මවා යන ප්‍රතිශතයක් ලබාගැනීමට අපේක්ෂකයන් දෙදෙනාම සමත් නොවනු ඇති බවත් දෙවැනි මනාපය ගණන් කිරීමට පවා සිදුවනු ඇති බවත්ය.
එහෙත් කේන්දරකරැවන් විශාල සංඛ්‍යාවකගේ මෙන්ම ඉහත සඳහන් අනාවැකිද සියල්ල බොරැ කරමින් ගෝඨාභය විශිෂ්ට ජයක් හිමිකර ගත්තේය. එම ජයග්‍රහණයෙන් පසුව ඔහු තමන් විශ්වාස කරන ප්‍රතිපත්ති මත පිහිටා ජනපති වශයෙන් දිවුරැම් දී ජාතිය අමතා පසුදින රාජකාරිද ඇරුඹුවේය. ඊළඟ දවසේ තමන් නිරන්තරයෙන් මහින්ද අයියා කියා අමතන තම සොහොයුරැ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි පිහිටුවීය. ඒ අනුව මල්ලී ජනාධිපති වූ රටේ අයියා අගමැති ධුරයට පත්විය. එය රටේ පමණක් නොව දේශපාලන ඉතිහාසයේද සුවිශේෂී වාර්තාවක් වන්නේ සොහොයුරන් දෙදෙනකු එකම අවස්ථාවක රටක ජනාධිපති සහ අගමැති වශයෙන් පත්වීමය. මේ දෙදෙනාම මහජන ඡන්දයෙන් තේරී පත්වූවෝ වෙති.
මෙවැනි අවස්ථාවක් මීට පෙර සඳහන් වන්නේ 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති වශයෙන් මහජන ඡන්දයෙන් පත් වනවිට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති පදවියට පත්වීමය. එම දෙදෙනාද ඡන්දයෙන් පත්වූවෝ වූහ. දේශපාලන වශයෙන් බලවත් පවුල්වල තාත්තලා පුතාලා ඇතුළු පරම්පරා කිහිපයකම නායකයන් විවිධ රටවල විවිධ අවස්ථාවල රටවල් පාලනය කර තිබුණත් එකම කාලසීමාවකදී මල්ලී ජනපති වී අයියා අගමැති වීම අතිශය දුර්ලභ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. මෙම සහෝදර පාලනයේ ඉදිරි ගමන පිළිබඳව දැන්ම අනාවැකි පැවසීමට හැකියාවක් නැතුවාසේම එසේ පැවසීම සුදුසුද නැත. ගෝඨාභය ජනාධිපතිවරයාට ඡන්දය දුන් සහ නුදුන් දෙපිරිසම ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳව විමසිල්ලෙන් සිටිනු ඇති බව පමණක් මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ හැකිය.
මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් තැබූ මුල් පියවර කිහිපය රටේ ජනතාවගේ සිත්ගත් බව සඳහන් කළ යුතුය. ඔහු දිව්රැම් දුන් උළෙල කෙටි සහ චාම් විය. ඔහුගේ පැමිණීම මහජනතාවට හිරිහැර සිදුකළේ නැත. රාජකාරි භාරගත් අවස්ථාවද සෞම්‍ය වූ අතර අඩුම තරමින් ඔහුගේ පැමිණීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට මහාමාර්ග වසා දැමීමක් සිදු නොවීය. තම අන්තර්වාර ඇමැති මණ්ඩලය 15කට සීමා කළේය. රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී සුදුස්සන් පමණක් පත්කළ යුතු බව කීය.
එපමණක් නොව රාජ්‍ය ආයතනවලින් රටේ නායකයා වන තමන්ගේ ඡායාරෑපය ඉවත්කොට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමටත් මහා මාර්ගවල ඇති පුවරැවලින් දේශපාලනඥයන්ගේ ඡායාරෑප ඉවත් කිරීමටත් නියෝග කළේය. ඒ සමඟ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රටපුරා ප්‍රදර්ශනය කෙරෙන බැනර් සහ කටවුට් ඇතුළු සියලු ප්‍රදර්ශන භාණ්ඩද මැතිවරණ කාර්යාලද ගලවා ඉවත් කිරීමටත් උපදෙස් දුන්නේය. රජයේ නිලධාරීන්ට යළි දැනුම් දෙනතුරු රට සවාරි යාම අත්හිටුවීය. එය අන්තර්වාර ඇමැති මණ්ඩලයටද බලපාන සේ ක්‍රියාත්මක කළ හැකි නම් වඩාත් යෝග්‍ය වනු ඇතැයි සමහරැන්ගේ මතය වී තිබේ.
මේ ගනු ලැබූ පියවරවලින් පෙනෙන්නේ ගෝඨාභය අලුත්ම වෙනස් ගමනකට මුලපුරා සිටින බවය. ඔහු තම ඡන්ද ව්‍යාපාරය තුළදී සිස්ටම් චේන්ජ් එකක් පිළිබඳව ප්‍රබල ඉඟියක් ලබාදී තිබිණි. එවැනි ලොකු වෙනසක් ජනතාවද බලාපොරොත්තුවෙන් සිටින බවද රහසක් නොවේ. රටේ පාලනය පමණක් මාරැ වීමෙන් බලාපොරොත්තු වෙනස නොලැබෙන බව දැන් ජනතාව අතැඹුලක් සේ දැන සිටිති. මේ යථාර්ථය තේරැම් ගෙන ඒ අනුව ක්‍රියා කිරීමට ගෝඨාභය මහතාට වියත් මඟ වැනි වෘත්තීකයන්ගේ සහ ප්‍රබල ව්‍යාපාරික පැළැන්තියෙන් සැදුම්ලත් උපදේශකයන් පිරිසකගේ අදහස්ද උපකාරී වන්නට ඇතැයි මේ පියවරවලින් පැහැදිලි වෙයි.
ගෝඨාභය තම ඇඳුමින් පැළඳුමෙන් පවා වෙනස්ය. ඔහු ජනාධිපති පදවියේ දිව්රුම් දුන්නේත් ධුරයේ රාජකාරි බාර ගත්තේත් තමන්ට ආවේණික චාම් ඇඳුමකින් සැරසීගෙනය. රාජපක්ෂ පවුලේ කුරහන් සාටකය ඔහුගේ ඇඳුමේ කොටසක් නොවීය. ඉදිරියේදී හෝ එසේ වන බවට සලකුණක්වත් නැත. ඒ සමඟ ජනාධිපති ආර්යාව අයෝමා රාජපක්ෂත් පුතණුවන් සහ ලේලියත් ජනාධිපති ධුරයේ තම මූලික කටයුතුවලදී හැර වෙනත් කිසිදු අවස්ථාවකට සම්බන්ධ කර නොගැනීමද කැපී පෙනුණේය. මේ සියලු පියවර රටේ ජනතාවගේ පැසසුමට ලක්ව තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
කෙසේ වුවද රට පාලනය කිරීමේදී දේශපාලන ක්‍රියාවලියක්ද ඒ සමඟ සිදුවිය යුතු බව රටේ මුල්බැසගත් සංස්කෘතිය වෙයි. බොහෝමයක් ආණ්ඩු අමාරුවේ වැටුණේ මේ දේශපාලන ක්‍රියාවලිය හරිහැටි කළමනාකරණය කරගැනීමේදී දැක්වූ අසමත්කම නිසාය. දේශපාලන ක්‍රියාවලිය යනු තම ඇමැතිවරැන්ටත් තමන්ට සහාය දැක්වූ ව්‍යාපාරිකයන්ටත් පමණක් නොව සියලුම ජාවාරම්කරැවන්ටත් මහජන මුදල් කොල්ලකෑමට ඉඩදීම නොවන බව රටේ පාලකයන් දැන සිටිය යුතුය. තමන් බලයට පත් කිරීමට සියලු අයුරින් සහාය දැක්වූ පිරිසට සැලකීම යනු ඔවුන්ට අවශ්‍ය පරිදි රට මෙහෙයවීම නොවන බවද තේරැම් ගත යුතුය. වඩාත් වැදගත් වන්නේ තමන්ගේ ප්‍රතිපත්ති හොඳින් හඳුනන පිරිස කිට්ටු කරගෙන ඔවුන්ට අවශ්‍ය බලතල සහ පහසුකම් ලබාදී ජනතාවගේ අවශ්‍යතා සපුරා දීමයි.
ලෝකයේ සෙසු දියුණු වන රටවල් සමඟ සමගාමීව කටයුතු කළ හැකි, නව ප්‍රවණතා පිළිබඳ අවබෝධය ඇති බොහෝ පිරිසක් ගෝඨාභයගේ ජයග්‍රහණය පසුපස සිටිති. ඔවුන්ගේ සේවය රට වෙනුවෙන් නිවැරදිව යොදවා ගැනීම නව ජනාධිපතිවරයාගේ වගකීම වෙයි. එය අපහසු, අසීරු අභියෝගයක් වුවත් අද රට වැටී තිබෙන තැනින් ගොඩ ගැනීමට නම් එම අභියෝගය ජයගත යුතුය. වෙනත් මගක් නැත. එහෙත් ඒ සඳහා තීන්දු තීරණ ගැනීමේදී දේශපාලනය හරස් වීම බලාපොරොත්තු විය යුතුය.
ඇමැති මණ්ඩලයද මෙහිදී පරණ සෙල්ලම් දැමීමෙන් වැළකී සිටීමට වගබලා ගැනීමද අවශ්‍යය. රටේ ජනතාව පාඩම් උගන්වා ඇත්තේ 2015 බලයට පත්වූ ආණ්ඩුවට පමණක් නොව ඊට පෙර බලයේ සිටි අයටද බලපාන අයුරින් බව යථාර්ථයයි. කොටින්ම රටේ ජනතාව ගෝඨාභය බලයට ගෙන ආවේ අලුත් වෙනසක් සහිතව රට ඉදිරියට ගෙන යාමට මිස පරණ තැටියම වාදනය කිරීමට නොවන බව ඔවුන් තේරැම් ගත යුතුය.
මේ අවබෝධය දැඩි වන තරමට ගෝඨාභයගේ පාලනය පහසු කරවනු ඇත. දැනට දේශපාලන වශයෙන් බෙදී වෙන් වී සිටින උතුර සහ නැගෙනහිර ජනතාවද දිනාගෙන දකුණේ ජනතාවගේ බලාපොරොත්තුද ඉටුකළ හැකි මාර්ගය හරිහැටි තෝරා බේරා ගත්තොත් ගෝඨාභයත් ගොඩය. රටත් ගොඩය.
- ශශීන්ද්‍ර