2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වගකීම්

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සඳහා මේ දිනවල වැඩ සිදුවෙමින් පවතී. ඉදිරි සති දෙක ඇතළතදී මේ බොහොමයක් ආයතන සඳහා පත්කිරීම් අවසන් වීමට නියමිතය. රටේ ආර්ථිකයට ඉතාම වැදගත් ආයතන කිහිපයක පමණක් පත්කිරීම් ප්‍රමාදවීමට ඉඩක් ඇතත් ලබන වසර පටන්ගන්නා විට ඒවාද සම්පූර්ණ කර තිබෙනු ඇතැයි අපේක්ෂා කළහැක.

මෙවැනි නව ක්‍රමවේදයක් භාවිත කොට රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම මෙරට දේශපාලනයේ සහ පාලන ක්‍රමයේ නවමු අත්දැකීමකි. මීට පෙර බලයට පත් කිසිදු ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් හෝ සුදුසුකම් පරීක්ෂා කොට ප්‍රධානීන් තෝරන ක්‍රමයක් අනුගමනය කළේ නැත. ඒ කාලයේ තෝරාගත්තේ නුසුදුසු පුද්ගලයන් යැයි එයින් අදහස් නොකෙරේ. ඒ ඒ පාලන කාලවලදී ඇතැම් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන සඳහා උගත් ඉතාම සුදුසු පළපුරුදුකම් ඇති පුද්ගලයන් පත්කරනු ලැබූ අවස්ථා තිබිණි. එහෙත් බොහොමයක් ආයතන සඳහා පත්කරනු ලැබුවේ රාජ්‍ය ආයතනය භාර අමාත්‍යාවරයා විසින් නම් කරන ලද පුද්ගලයන් පිරිසකි. ඒ අතරද සුදුස්සන් සිටි නමුත් එවැනි ඇතැම් සභාපතිවරැන් සහ අධ්‍යක්ෂවරැන් නැවතුණේ සිරගෙවල් තුළ බවද සඳහන් කළ යුතුය. අලුත් ක්‍රමය යටතේ එවැනි තත්ත්වයකට ඉඩක් නැත. තමන් විසින් වැඩේ අවුල් කර ගත්තේ නැත්නම් හොඳ නම දිනාගෙන ආයතනය ද ගොඩනැගීමට අවශ්‍ය පසුබිම නිර්මාණයවී තිබේ.

අලුත් ක්‍රමවේදයක අවශ්‍යතාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම ප්‍රචාරක ව්‍යාපාරය තුළදී දැඩිව අවධාරණය කළේ ද ඉහත සඳහන් තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. අමාත්‍යවරැන්ගේ ගජමිතුරන්, සමීප ඥාතීන් පමණක් නොව, තමන් කියන ඕනෑම කුණු වැඩකට බැහැයි නොකියා කරගසන හෙංචයියන් රාජ්‍ය ආයතන පාලනයට පත්වීමත් ඒ හේතුවෙන් එම ආයතන බලාසිටියදී කඩාවැටීමත් අතීතයේදී ඕනෑ තරම් දැකගත හැකිවිය. එසේම ඇමැතිගේ අවශ්‍යතා අනුව රැකියා සපයන දන්සල් බවට ඇතැම් රාජ්‍ය ආයතන පත්වූයේද එවැනි පුද්ගලයන්ගේ පාලනය හේතුවෙනි. මේ තත්ත්වයට කොතැනින් හෝ තිත තැබිය යුතුවිය. එවැන්නක් සඳහා තීන්දු ගැනීම අලුත් නායකයකුට වඩාත් පහසුය. වත්මන් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ එම තීරණය වැඩි අපහසුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ එම හේතුවෙනි.

කෙසේ වුවද රාජ්‍ය ආයතන සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී මැතිඇමැතිවරුන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන් අමතක කර දැමිය නොහැක. ඔවුන් තම දේශපාලනය ක්‍රියාත්මක කිරීමේදී හිතවතුන්ගේ, ව්‍යාපාරිකයන්ගේ සහාය ලබා ගැනීම ස්වාභාවිකය. තමන්ගේ ආයතනයට පත්කරගත යුතු පිරිසක් සිටී නම් ඔවුන්ගේ නම්ගම් ද ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා කියා ඇත්තේ එබැවිණි. එහෙත් නුසුදුසු පුද්ගලයන් පත් නොකරන බවට ගෙන ඇති තීන්දුව එලෙසම ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසය. එසේම ඇමැතිවරුන්ගේ සමීප ඥාතීන් ද කොතරම් සුදුසුකම් සපුරා තිබුණත් අදාළ ඇමැති යටතේ ඇති රාජ්‍ය ආයතනවලට පත්නොකිරීම වඩා යෝග්‍ය වනු ඇත. එය දූෂණයට සහ වංචාවට දොර ඇරදීමක් බව අපගේ වැටහීමය.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පවතින්නේ බරපතළ අවදානමක බව සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම පත්කරනු ලබන ලොක්කන් විසින් දැනගෙන කටයුතු කිරීම අවශ්‍යය. ආයතන ප්‍රධානියකු බවට පත්කරනු ලැබීම විශේෂ වරප්‍රසාද ලැබීමක් නොව තමන් විසින් කළයුතු කැපකිරීමක් බව වටහාගැනීම ද අවශ්‍යය. ආයතනයක් ආර්ථික වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය කරන දැනුම සහ අවබෝධය තිබීමත් දූෂණයට සහ වංචාවට ඉඩනොදීමත් තුළ බොහෝ ජයග්‍රහණ අත්කර ගත හැකිය. රාජ්‍ය ආයතන රටේ ආර්ථිකයට බරක් වීම පොදු මහ ජනතාවගේ බදු මුදලට තට්ටු කිරීමකි. අලුත් පාලනාධිකාරිවලින් රටේ ජනතාව බලාපොරොත්තු වන්නේ දැනට ද බරක් වී පවතින ආයතන එම තත්ත්වයෙන් මුදාගෙන ලාබ ලබන ආයතන බවට පත්කරනු ලැබීමය. එසේ නොවුණොත් එවැනි ආයතන පෞද්ගලීකරණය වීම දක්වා තල්ලුවිය හැකිය. එසේම ආයතන ප්‍රධානීන් සුදුසුකම් ඇති වැරදි නොකරන පුද්ගලයන් වනවිට ඒ ඒ ආයතනවල කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සහාය ද ලබාගැනීම පහසු වන බවද සඳහන් කළ යුතුය.

මේ සමඟ පැවැසිය යුතු වන්නේ ශ්‍රී ලංකන්, ලංවිම, තෙල් සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රටේ යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අත්‍යාවශ්‍ය වන එසේම අධිකව පාඩු ලැබීම නිසා රටේ ආර්ථිකය ගල්කර තිබෙන විශේෂ වැදගත්කමකින් යුත් ආයතන පාලනය සඳහා පත් කෙරෙන ප්‍රධානීන්ට පැවරෙන වගකීම වැඩි බවය. ඒවා සඳහා ව්‍යාපාරික සැලසුමක් ඇති පාලකයන් පත් කරන්නේ නම් අගනේය. රටේ ආර්ථිකයෙන් සෑහෙන ප්‍රතිශතයක් කාබාසිනියා කර දමන මේ ආයතන ලාබ ලැබීම කෙසේ වෙතත් අඩුම තරමින් පාඩු නොවන මට්ටමින් හෝ පවත්වා ගෙන යාහැකි මට්ටමට පත්කර ගැනීමට කටයුතු කළහැකි නම් එයද ලොකු ජයග්‍රහණයක් වනු ඇත.

අලුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවරෙන්නේ සුළුපටු වගකීමක් නොවන බව සිතා ගැනීම අසීරැ නැත. එම වගකීම ඉටු කිරීමට අවශ්‍ය කරන සුදුසුකම් ඔවුන් සතු බව අපි දනිමු. දේශපාලන නායකයන්ගේ වගකීම ඔවුන්ට අවශ්‍ය ධෛර්ය ලබාදීමය.