2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

ඩියුටි ෆ්‍රී සාප්පු බදු දීම යට වංචාවක්!

2015 ජනවාරි 15 වැනිදා සිට 2018 දෙසැම්බර් දක්වා සිදුවී යැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් ජනාධිපති කොමිසම මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයේ සාප්පු දෙකක් සම්බන්ධයෙන් ප්‍රබල විවේචනාත්මක චෝදනාවක් එල්ලකර තිබේ.

ෆ්ලෙමිංගෝ ඩියුටි ෆ්‍රී ෂොප් (පෞද්ගලික) සමාගම සඳහා ඩොලර් මිලියනයක් වටිනා ටෙන්ඩරය ලබාගැනීම සඳහා සිතාමතාම වංචනිකව සහ නොමඟ යවන සුළු මුල්‍යමය ප්‍රකාශන ඉදිරිපත් තුළින් දූෂිත සහ වංචනික ක්‍රියා සිදුකර ඇතැයි කොමිසම ප්‍රකාශ කර ඇත. කොමිෂන් සභාවේ මෙම කරැණු ඇතුළත් වාර්තාව එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දී තිබිණි. කෙසේ වුවද එය නිල වශයෙන් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැත.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු වූ එම කොමිසම විශ්‍රාමික මහාධිකරණ විනිසුරැ සරෝජිනී කුසලා වීරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. ප්‍රේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.ඩී. විජය අමරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය.

ෆ්ලෙමිංගෝ ඩියුටි ෆ්‍රී සමාගම මගින් ඉදිරිපත් කර තිබූ මුල්‍ය ප්‍රකාශන ඇගයීමට ලක් කිරීමට අසමත් වීම හේතුවෙන් තාක්ෂණික අගැයීම් කමිටුවේ සභාපති ඇතුළු සාමාජිකයන්ට එරෙහිව චෝදනා ගොනු කළ යුතු යැයි ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර තිබේ. එසේම ෆ්ලෙමිංගෝ සමාගමට ටෙන්ඩරය ලබාදීමට පෙර නිර්දේශ පිළිබඳව අධ්‍යයනය කිරීමට අසමත් වීම හේතුවෙන් මිලදී ගැනීමේ කමිටුවේ සාමාජිකයන් ද වගකිව යුතු වන බවද කොමිසම සඳහන් කර තිබේ.

රාජ්‍ය දේපළ අයථා පරිහරණය සහ බලය අයුතු ලෙස යෙදවීමට අදාළ විස්තර ඇතුළත් ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත් කොමිසම විසින් බාරදෙනු ලැබ තිබේ.

කොමිෂන් සභා වාර්තාවට අනුව අදාළ පැමිණිල්ලෙන් කියැවී ඇත්තේ &බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඩියුටි ෆ්‍රී සාප්පු සංකීර්ණයේ සාප්පු දෙකක් ඉන්දියානු සමාගමක් වූ ෆ්ලෙමිංගෝ ආයතනයට ලබාගැනීම සඳහා ඩොලර් මිලියනයක් වටිනා ටෙන්ඩරය හිමිකර ගැනීමට දැන දැනම සාවද්‍ය සහ නොමඟ යවන සුළු මුල්‍යමය ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් දූෂණයක් සහ වංචාවක් සිදුකර ඇති බවටය.

සන්ඩේ ටයිම්ස්

යූ.එන්.පී. කමිටුවෙන් නායකත්වයට සජිත්ගේ නම දෙයි

යූ.එන්.පියේ නායකත්ව අර්බුදය පසුගිය බ්‍රහස්පතින්දා (12) අලුත් පැත්තකට හැරැණි. පක්ෂයේ අනාගතය පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීමට පක්ෂය විසින් පත් කරනු ලැබූ කමිටුවේ සාමාජිකයන් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතා නායකයා වශයෙන් පත් කිරීමට තමන් නිර්දේශ කරන බවට ප්‍රකාශ කිරීම ඊට හේතුව විය. එය ස්ථිර කිරීමට ඉක්මන් ක්‍රමවේදයක් සකස් කරන්නැයි ද ඔවුන් ඉල්ලා තිබේ.

සය දෙනකුගෙන් යුත් කමිටුව මගින් තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වශයෙන් පත්කොට මීළඟ මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට ඉදිරිපත් කරන්නේ නම් ඔහු පක්ෂ නායකයා වශයෙන් ද පත් කළ යුතු බවය. යූ.එන්.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේ පක්ෂය මගින් පත් කරන ලද විශේෂ කමිටුව මගින් තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකයා විය යුතු බවය.

අපට අවශ්‍යයි පක්ෂය ප්‍රතිසංස්කරණය කොට ඉදිරියට යාමට. ජනතාව බලාපොරොත්තු වන්නේ මීළඟ මහමැතිවරණයේදී සජිත්ගේ නායකත්වයෙන් යූ.එන්.පි.ය තරග වැදිය යුතු බවයි. ඔහු කියයි. සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණය රුකගැනීමට හැකි නම් අපේ පක්ෂයට ආසන 104 ක් ලබාගැනීමට හැකියි. ඔහු සඳහන් කරයි.

පක්ෂය මගින් පත් කෙරැණු සය පුද්ගල කමිටුවට රන්ජිත් මද්දුමබණ්ඩාර ඇතුළුව තලතා අතුකෝරළ, මලික් සමරවික්‍රම, ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළත් වෙති. තම අදහස් මාධ්‍යයට දැනුම් දුන් මාධ්‍ය සාකච්ඡාවේදී තලතා අතුකෝරළ පැවසුවේ සය පුද්ගල කමිටුව තමන්ගේ තීරණ පිළිබඳව පක්ෂයට දැනුම් දී ඇති බවත් පක්ෂයේ විධායක කමිටුව මගින් එය කමිටුවේ සාකච්ඡාවට ගන්නා තුරැ බලා සිටින බවත්ය.

සජිත් කෙරෙහි විශ්වාසය පළ කරන පිරිස ඉතා විශාල බවද එම අදහස සමඟ පක්ෂය ඉදිරියට යා යුතු බවද තලතා අතුකෝරළ සඳහන් කළාය.

යූ.එන්.පී. මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් පසුගිය අඟහරැවාදා (10) නිවේදනයක් නිකුත් කරමින් ඊළඟ මහමැතිවරණයේදී යූ.එන්.පි.ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව තරග වදින බවට කළ ප්‍රකාශය අදාළ නොවන බව ඇය සඳහන් කළේ පක්ෂ සමුළුව හෝ පක්ෂයේ විධායක සභාව හෝ එවැනි තීන්දුවක් ගෙන නැති බව පෙන්වා දෙමිනි.

කෙසේ වුවද අකිල විරාජ් ප්‍රකාශ කළේ පක්ෂ නායකයා තවමත් වික්‍රමසිංහ මහතා බවය. නායකයන් වශයෙන් පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අය පිළිබඳව තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් නව නායකයකු පත් කරන දිනයක් පිළිබඳව තමන්ට කිසිවක් පැවසිය නොහැකි බවත් ඔහු අප පුවත්පතට ප්‍රකාශ කළේය.

ඩේලි එෆ්.ටී.