2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

මහ දවාලේ පාර වරද්දා ගැනීම

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 286

ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනයට හෙටට (16) හරියටම මාසයකි. මෙය කෙටි කාලයකි. ඒ ගැන කතා කිරීමට පෙර 2015 ජනවාරි 08 පත්වූ සිරිසේන - වික්‍රමසිංහ පාලනය පිළිබඳව කතා කළ යුතුය. ඔවුන් පටන් ගත්තේ දින 100ක වැඩපිළිවෙළක් ඉදිරියට දමමිනි. ඒ කාලය තුළදී රජයේ සේවක වැටුප් වැඩිකොට තෙල්, කාර් ඇතුළු භාණ්ඩවලද මිල බැස්සුවේය. එහෙත් ඒ දින 100 තුළ සිදුවූ මහ බැංකුවේ මුදල් වංචාව රටේ මුදල් සංසරණය සහ පොලී අනුපාතික සෙලවීමට හේතු විය. වැට් බදු අසාමාන්‍ය ලෙසට වැඩි වූ අතර හැම අතින් වැඩි වන බදු හමුවේ රටේ භාණ්ඩ මිල ඉහළ යාම වළක්වා ගත නොහැකි විය.

දින සියය අවසන් වනවිට සිරිසේන - වික්‍රමසිංහ අතර හොඳහිත පවා පළුදු වී තිබිණි. පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට දින නියම කරගෙන තිබුණේ මැයි මාසේ තුන්වැනි සතියේ පමණය. එහෙත් එය කල්ගියේය. ඒ ආණ්ඩුවේ ගමන පිළිබඳව රටේ ජනතාව ඉක්මනටම සැක පහළ කරමින් තිබිණි. තවත් අවුරැද්දක් යනවිට ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් වැඩිවිය. අර්ජුන මහේන්ද්‍රන් ඒ ආණ්ඩුව දෙදරවා දැමූ ප්‍රධාන සාධකය බවට පත්වෙමින් තිබුණි. ඒ බව නොදැනුණේ යූ.එන්.පී.යේ නායකයන්ට පමණි.
අර්ජුන මහේන්ද්‍රන් ප්‍රශ්නය උග්‍ර වෙද්දී එහි විසඳුමක් සඳහා එම රජය බලයට පත් කිරීම සඳහා විශාල කාර්යභාරයක් සිදුකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් එවකට අගමැති රනිල් හමුවිය. ඔහු රනිල්ට කියා තිබුණේ මේ ගැටලුව නිවැරදිව විසඳා නොගත්තොත් ආණ්ඩුව බරපතළ අර්බුදයකට යනු ඇති බවය. &ඔබ අර්ජුන මහේන්ද්‍රන්ද ආණ්ඩුවද යන දෙකෙන් එකක් තෝරා ගත යුතුයි ඔහු කියා තිබුණි. 

එහෙත් රනිල් එදා තෝරාගෙන තිබුණේ ආණ්ඩුව නොව අර්ජුන මහේන්ද්‍රන් බව පසුගිය නොවැම්බර් 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී පැහැදිලි විය. ආණ්ඩුවේ පරාජයට එය එකම හේතුව නෙවේ. එහෙත් මහින්දගේ ආණ්ඩුව විසින් සිදුකළ වැරදි සිරිසේන - වික්‍රමසිංහ රජය අතින්ද සිදුවන විට ජනතාව ගන්නේ එකම තීන්දුවක් බව යූ.එන්.පී.යේ නායකයන් අවබෝධ කරගෙන නොතිබිණි.

හොරැන් අල්ලන්න ආ ආණ්ඩුව ඒ කටයුත්ත පසෙක තබා හොරකම් කරන බවට එවකට විපක්ෂයේ සිටි මහින්දලා ගෙනගිය සටනේදී මහින්දලාගේ ආණ්ඩුව ගෙදර යැවීම තමන් අතින් සිදුවූ වැරුද්දක් හැටියට ජනතාවට හැඟීයාම වැළැක්විය නොහැකි විය. මේ රටේ ජීවනාලිය බඳු කෘෂිකාර්මික ජනතාව මුළුමනින්ම අමතක කොට ක්‍රියා කිරීමේ වැරැද්ද යූ.එන්.පී. නායකයන් කවදාවත් අවබෝධ කරගත්තේ නැත. විශේෂයෙන් සුළුබෝග වගාවෙන් ආර්ථිකය හදාගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත බලා සිටියදීම කඩා වැටුණේය. ලංකාවේ සාර්ථක කෘෂිබෝග වූ ගම්මිරිස් සහ කුරැඳු වගාවට අත්වූ ඉරණම එයට හොඳම උදාහරණ විය. පිටරටින් ගම්මිරිස් ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීමේදී මේ රටේ එම බෝග වැවූ ජනතාව අමාරැවේ වැටුණ බව බොහෝදෙනා විසින් පෙන්වා දී තිබිණි. එහෙත් යූ.එන්.පී. පාලනයේ සිටි ඇතැම් උද්ධච්ඡ ඇමැතින්ගේ කනටවත් එය වැටුණේ නැත. ඒ වැරුද්ද හදාගැනීමට යූ.එන්.පී. නායකයා කටයුතු කළේද නැත..

එහි ප්‍රතිඵලය 2018 පැවැති පළාත්පාලන ඡන්දයේදී පැහැදිලි විය. සුළු අපනයන බෝග වගා කරන දිස්ත්‍රික්කවලින් යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුව ලැබුවේ අන්ත පරාජයකි. එහෙත් එයද ආණ්ඩුවේ ඇස් ඇරීමට ප්‍රමාණවත් වූයේ නැත. එහිදී පක්ෂයේ නායකත්වය වෙනස්විය යුතු බවට ප්‍රබල හඬක් නැගුණත් එය අද නොවේ හෙට න්‍යායයෙන්ම ෂේප් වී ගියේය. නායකත්වය වෙනස් කළ යුතුද යන සංවාදයට යූ.එන්.පී.ය ඇතුළේ කවදාවත් ඉඩක් වෙන්වුණේ නැත. එසේ තිබියදී එම වසරේම ඔක්තෝබර් 26 වැනිදා දවස් 52 ආණ්ඩු මාරැව සිදුවිය. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලවත් අර්බුදයක් මතු වූ අවස්ථාවක් වීම හේතුවෙන් එතෙක් පැවැති සියලු එදිරිවාදුකම් අතහැර මහජන ඡන්දයෙන් තෝරාපත් කරගනු ලැබූ ආණ්ඩුව බේරාගැනීමට ජනතාව ඉදිරිපත් විය. එහිදී සජිත් ඉටුකළේ තීරණාත්මක කාර්යභාරයකි.

එය යූ.එන්.පී. නායකත්වය විසින් යළිත් වරක් වරදවා වටහාගත් අවස්ථාවක් විය. ආණ්ඩුවේ කිහිපදෙනකු විසින් දොරගුළු දාගත් කාමරයක් ඇතුළට වී සිදුකරන රාජ්‍ය පාලනයත් පක්ෂය පාලනයත් අතහැරීමට ඔක්තෝබර් අර්බුදයෙන් ප්‍රබල සංඥාවක් ලබාදී තිබුණද යූ.එන්.පී. නායකත්වය එය පහසුවෙන්ම අමතක කළේය. අඩුම තරමින් දැන්වත් පක්ෂය සියලුදෙනාටම විවෘත විය යුතු බවට ගෙන ගිය අරගලයද පහසුවෙන්ම යටපත් කර දැමිණි. ඊළඟට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවිය. ඒ සමඟ ආණ්ඩුවේ අවසානයට දින නියම වූ බව පවතින තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් සිටි සියලු දෙනාටම දැනුණි. එය නොදැනුණේ යූ.එන්.පී. නායකත්වයට පමණි. එය දැනුණත් නොදැනුණා සේ කටයුතු කිරීමට නායකත්වය සූක්ෂම විය. ජනතාවගේ විරෝධය ආණ්ඩුවට එරෙහිව දැඩිව එල්ල වනවිට ආණ්ඩුව බේරා ගැනීමට එය බලයට පත් කිරීමට කටයුතු කළ කිසිම පාර්ශ්වයක් නොසිටීම එහි ප්‍රතිඵලය විය.

විපක්ෂයේ සිටි මහින්දලා තමන්ගේ ප්‍රශ්න විසඳාගෙන වෙනස් දැක්මක් සහිත අපේක්ෂකයකුද ඉදිරිපත් කරගෙන ජනාධිපතිවරණයට සූදානම් වෙනවිට යූ.එන්.පී.ය බලාගෙන හිටියේ එයට සුදුසු ප්‍රබල අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නොව අමෙරිකානු පුරවැසි ප්‍රශ්නයෙන් ගෝඨාභය විසිවනු දැකීමටය. යූ.එන්.පී.ය වෙනුවෙන් සජිත් අපේක්ෂකයා විය යුතු බවට පක්ෂය ඇතුළෙන්ම නැගුණු හඬ ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ කතාවට යට කෙරැණි. එහෙත් එවැනි ගැටලුවක් පැන නොනගින බවත් තේරැම් ගැනීම සමඟ සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදුන්නේ නොදී බැරිකමටය.

යූ.එන්.පී. නායකත්වය පිළිබඳව දැන් පැන නැගී ඇති ගැටලුව  දැන් එළියට ඇදෙමින් තිබේ. ඒ පිළිබඳව කරුණු දැක්වීමට පසුගිය බ්‍රහස්පතින්දා (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී තලතා අතුකෝරළ කිව්වේ සජිත් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට ප්‍රමාදවීම විශාල අවාසියක් වූ බවය. ඔබ සියලුදෙනාම දන්නවා දවස් හතළිහකදී ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරන්න අමාරැ බව* ඇය සඳහන් කළාය. අපේ පක්ෂ නායකයා දන්නවා ඡන්ද දායකයන් සහ පක්ෂය විශ්වාසය තබා ඉන්නේ කවුරැ ගැනද කියා. ඒ පණිවුඩය එතුමාට ගිහින් තිබෙනවා. සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක නම් ඔහුට පක්ෂ නායකත්වයත් ලබාදිය යුතුයි. මහජනතාව තුළත් පක්ෂ සාමාජිකයන් තුළත් විශ්වාසය ඇති කළ හැක්කේ එවිටයි. යැයිද තලතාගේ කතාවේ සඳහන් විය.

ගෝඨාභය මහතාගේ ජනාධිපති පදවියේ පළමු මාසය ගෙවී ගිය ආකාරය සැලකිල්ලට ගත යුත්තේ යූ.එන්.පී.ය ප්‍රමුඛ පසුගිය ආණ්ඩුව පසුගිය වසර හතරහමාරක කාලය තුළදී හැසිරුණු ඉහත සඳහන් ආකාරයට සංසන්දනාත්මකවය. ඇත්තෙන්ම රටේ මහත් බලාපොරොත්තු ඇතිව බලයට පත්වූ සිරිසේන - වික්‍රමසිංහ රජය මහජනතාව අතර පිරිහීමට ලක්වීම ඇරුඹුණේ ආරම්භයේ සිටම බව පැහැදිලිය. එවැනි අවස්ථා ගණනාවක් අපි මේ තීරුවේ සටහන් කර ඇත්තෙමු. මහින්දලා තමන්ගේ ආණ්ඩුව කිසිම වැරැද්දක් නොකළ තමන්ට නොව ජනතාව වෙනුවෙන්ම පමණක් වැඩකළ ආණ්ඩුවක් බවට මහජනතාව අතර විශ්වාසයක් ඇතිවූයේ සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුවේම වැරදි හේතුවෙනි. රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ලබාදීමේදී පළමු කොන්දේසිය විය යුතුව තිබුණේ තමන්ගේ ආණ්ඩුව අඩුවෙන්ම වැරදි කරන ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යාමය. එහෙත් එය එසේ වුණේ නැත. ආණ්ඩුව ප්‍රකාශනයේ නිදහසට සහ ආණ්ඩු විරෝධී ව්‍යාපාරවලට ඉඩදුන්නේ තමන් අතින් වැරදි දහසක් සිදුවන අතරවාරයේ බව ආණ්ඩුවට අමතක විය. 

එය මහින්ද වැනි දේශපාලනයේ හතර කොනම හොඳට අඳුනන නායකයෙකුට බන්දේසියක තබා දුන් තෑග්ගක් විය. ඔහු එයින් හොඳහැටි ප්‍රයෝජන ගත්තේය. දවස ගානේ පන්සල්වලට ගොස් හාමුදුරුවරුන් දැනුවත් කිරීමෙන් නොනැවතී මහජනතාවද හමුවී ඔවුන්ටද ආණ්ඩුවේ දුර්වලකම් පෙන්වා දුන්නේය. මාධ්‍යයට වොයිස් කට් දුන්නේය. ඒවා ප්‍රචාරය කිරීමේ කිසිදු තහනමක් නොතිබුණි. පාරට බැස විපක්ෂ දේශපාලනය කරන මහින්දට සීතල කාමර ඇතුළේ ආණ්ඩු කරන ලොක්කන්ට මුහුණදීම කොහොමවත් ගැටලුවක් වුණේ නැත. ආණ්ඩු බලය ගිලිහී විපක්ෂයට වැටී සිටින යූ.එන්.පී.යට ගොඩඒමට නම් කාමර ඇතුළේ කෙරෙන ඩීල් දේශපාලනයට තිත තැබිය යුතුමය. කළ යුතු දේ නොකර සිටීම වෙනුවෙන් තමන්ගේ සමීප ජ්‍යෙෂ්ඨයන් ලවා නිවේදන නිකුත් කරවා ගැනීමෙන් පක්ෂයට සිදුවන යහපතක් නැත. පාර වැරදුණේ කොතැනදැයි හොඳින්ම දැන දැනත් යළි යළිත් පාර වරද්දා ගැනීම අවාසනාවකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු මාසය තුළදී ඔහු පෙන්වා ඇති ඍජු තීරණ ගැනීමේ හැකියාව දැන් විපක්ෂයට වැටී සිටින යූ.එන්.පී. නායකයන්ටද හොඳ ආදර්ශයක් සපයයි. ගෝඨාභය ජනාධිපතිවරයා මෙතෙක් ගනු ලැබූ පියවරවලින් රටට පෙනී ගොස් ඇත්තේ ඔහු පිළිබඳව මීට පෙර තිබූ ආකල්ප වෙනස් කරගත යුතු බවය. එම තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ලබාදිය යුත්තේ ඇමැති මණ්ඩලය ප්‍රමුඛ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ පක්ෂයේ බලයට පත් කිරීමට දර දිය ඇද්ද පිරිස්ය. ඔවුන් යන්න හදන්නේ පරණ පාරේම නම් ගෝඨාභය ජනාධිපතිවරයාට සිදුවන්නේ මුලින්ම ඔවුන් හරි පාරට ගැනීමය. එසේ නැත්නම් ඔවුන්ට යන පාරේම යන්නට ඉඩදී පසුගිය ආණ්ඩුවලට සිදුවූ ප්‍රතිඵලම නෙලා ගැනීමට ඉඩ හැරීමය. එහෙත් රටේ ජනතාව ගෝඨාභයගෙන් බලාපොරොත්තු වන්නේ එය නොවන බව නම් ඉතා පැහැදිලිය.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00