2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 141

ස්විස් රජයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නියෝජිතයෙක්

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් යථා තත්ත්වය සොයා බැලීම් සඳහා ස්විස් රජය මගින් ශ්‍රී ලංකාවේ හිටපු පළපුරැදු ස්විස් තානාපතිවරයකු වන ජෝ ෆ්‍රයිඩන් මහතා ශ්‍රී ලංකාවට එවා තිබේ. බර්න් නගරයේ සිට ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.

පසුගිය බදාදා (18) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ස්විස් විදේශ කටයුතු අමාත්‍ය ඉග්නාසියෝ කසීස් අතර සිදු වූ දුරකථන සංවාදයකින් අනතුරැව මේ පියවර ගෙන තිබේ.

කසීස් අවධාරණය කළේ ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරමින් සිද්ධියේ යථා තත්ත්වය සොයා බැලීමට ස්විට්සර්ලන්තය කැමැත්තෙන් පසුවන බවයි. හිටපු පළපුරැදු තානාපතිවරයකු වන ජෝ ෆ්‍රයිඩන් වැනි නිලධාරියකු ඔවුන් කොළඹට එවා තිබෙන්නේ මේ හේතුවෙන්. ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සම්බන්ධ වී පවතින තත්ත්වයට විසඳුම් සොයාගත හැකි ක්‍රමවේදයක් සකස්කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඒ සමඟ කොළඹ ස්විස් තානාපති කාර්යාලයට උදව් කිරීමත් එක් අපේක්ෂාවක්. තානාපති මට්ටමෙන් මෙසේ ඇති කරගන්නා අතිරේක සම්බන්ධතා උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවත් ස්විට්සර්ලන්තයත් අතර පවතින විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට ද හේතුවනු ඇති.*යැයි ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් පසුගිය 19 වැනිදා නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

කිසියම් විසඳුමකට එළඹීමට හැකිවන පරිදි තවදුරටත් සාකච්ඡා ගෙන යාමට ස්විස් තානාපති හාන්ස් පීටර් මොක් හමුවීමට විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය බ්‍රහස්පතින්දා (19) කටයුතු කළේය. “ස්විස් තානාපතිවරැන් අවධාරණය කරන්නේ වත්මන් සිද්ධියේදී තම නිලධාරිනියට නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය පිළිබඳ රීතිය ක්‍රියාත්මක වනබව සහ ස්විස් තානාපති කාර්යාල මණ්ඩලයේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය හිමිවන බවයි.* යනුවෙන් ද එම නිවේදනයේ දැක්වෙයි. ඉදිරි කටයුතුවලදී එම තත්ත්වය ආරක්ෂා කරදීම ශ්‍රී ලංකා රජයේ වගකීමක් බවද ස්විස් තානාපති කාර්යාලයේ අදාළ සිද්ධියට මුහුණ දුන් නිලධාරිනියගේ සෞඛ්‍ය තත්ත්වයට එම හේතුව ප්‍රබල බලපෑමක් එල්ලකර ඇතැයි ද එම නිවේදනය කියයි

- ඩේලි එෆ්.ටී.

බදු කැපීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ වෙයි?

ශ්‍රී ලංකාවේ ආර්ථික මට්ටම පැවැති ස්ථාවර මට්ටමෙන් ඍණ මට්ටමකට ඇද දැමීමට ජාත්‍යන්තර ෆිච් රේටිංස් ආයතනය ක්‍රියාකර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (19) නිකුත් කළ එම ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම් වාර්තාවට අනුව රජය මගින් පසුගියදා ප්‍රකාශයට පත්කළ බදු කප්පාදුව ණය ආපසු ගෙවීමට දැඩි බලපෑමක් ඇති කරන බවත් එමගින් රජයේ ආදායම් මාර්ගවල සිදුරක් ඇති කර තිබෙන බවත් සඳහන්ය.

කලින් පැවති ආදායම් මත පදනම් වන මුල්‍ය ස්ථාවර පිළිවෙතින් බැහැර වීම නිසා ප්‍රතිපත්තිමය අවිනිශ්චිත භාවයක් හටගෙන ඇතැයි තමන්ගේ විශ්වාසය බව එම ආයතනය සඳහන් කරයි. ලබන 2020 වසර සහ ඉන්පසු එළඹෙන වසරවලදී පියවීමට තිබෙන විශාල ණය ආපසු ගෙවීමද මෙම ශ්‍රේණිගත කිරීමේදී සැලකිල්ලට ගෙන තිබේ.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද වැට්බදු 15% සිට 8% දක්වා අඩු කිරීමත් ජාතිය ගොඩනැගීමේ 2% බද්ද අහෝසි කිරීමත් නිසා පමණක් දළ දේශීය ආදායමෙන් 2%ක් රජයට අහිමි වන බවද ෆිච් රේටිංස් ආයතනය කියයි. 2018 වසරේදී රජයේ ආදායමෙන් 24%කට හිමිකම් කීවේ වැට් බදුය.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ බලධාරීහු ෆිට් රේටිංස් ආයතනයේ වාර්තාව දැඩිව ප්‍රතික්ෂේප කරති. පවතින සැබෑ කරැණු පිළිබඳව අනවබෝධයකින් යුතුව හදිසියේ සිදුකරන ලද සමීක්ෂණයක් වශයෙන් එය සලකන බව ඔවුහු කියති. මෙවැනි විශ්ලේෂණයක් සිදුකිරීමට මෙය උචිත කාලයක් නොවේ. එසේම මෙවන් හදිසි තීරණවලට එළඹීම ද සුදුසු නොවේ. මේ ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන නිර්ණායකය වශයෙන් ගෙන තිබෙන්නේ ආදායම් මත පදනම් වන මූල්‍ය ස්ථාවරභාවයෙන් ශ්‍රී ලංකාව ඉවත්වනු ඇතැයි යන උපකල්පනයයි. ඒ හේතුවෙන් ණය ගෙවීම අවදානමකට යනු ඇතැයි සැලකීමෙනුයි. එය සාවද්‍ය කරුණු මත පදනම් වූ තීරණ ගැනීමක්. යැයිද මුදල් අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.

- ඩේලි මිරර්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00