රජයක් වෙනස් කළ වසරක අවසන් මාසය ගෙවෙමින් තිබේ. දිනපු ආණ්ඩුව වැඩ පටන්ගෙන එන අවුරුද්ද උනන්දුවෙන් පිළිගැනීමට බලා සිටියදී පැරදුණු හිටපු ආණ්ඩුව නායකත්ව සටනකට මැදි වී අගමුල පටලවා ගනිමින් සිටී. යූ.එන්.පියේ මේ නායකත්ව ගැටලුවට ඇත්තේ ලොකු අතීතයකි. රනිල් තමන්ගේ නායකත්වය ඓතිහාසික කතරගම පක්ෂ සම්මේලනයේදී යාවජීව තත්ත්වයකට ගෙන සම්මත කර ගැනීමෙන් වසර කිහිපයකට පසුව සිට මේ සටන තදින්ම ඇවිලී යමින් තිබේ. යූ.එන්.පී. පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකයා ඉවත් නූනොත් මිස ඔහු ඉවත් කිරීමට හැකියාවක් නැත.
එය එසේ වුවද දැන් පෙනෙන්න තිබෙන්නේ රනිල්ට නීත්‍යානුකූලව නායකත්වය හිමි වී තිබියදී ඔහු නායකත්වයෙන් යා යුතු යැයි කියන පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ පිරිස වැඩිවෙමින් පැවතීමය. එය වඩාත් උග්‍ර අතට හැරුණේ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව බවත් පැහැදිලිය. තමන් නායකත්වයෙන් යා යුතු බවට පක්ෂයේ අභ්‍යන්තරයෙන් කැරැලි හටගත් හැමවිටම මේ දක්වාම තමන්ගේ පුටුව රුකගෙන එයට එරෙහිව සටන් කළ පුද්ගලයන් බිම ඉන්දවීමට රනිල් සමත් විය. එහෙත් දැන් පෙනෙන්නට තිබෙන්නේ එසේ වරින්වර බිම ඉන්දවූ පිරිස් එකට නැගිටිමින් සිටින බවය. එසේ වුවත් රනිල් තමන් නායකත්වයෙන් ඉවත් වීමට කිසිම සූදානමක් නොමැති බව කතාවෙන් සහ ක්‍රියාවෙන් දෙකින්ම පෙන්වා දෙයි.
රනිල් මේ දවස්වල කරන්නේ යූ.එන්.පියට සම්බන්ධ විවිධ පුද්ගල කණ්ඩායම් දිනපතාම පාහේ සිරිකොතට කැඳවා ඔවුන්ට පක්ෂය ඉදිරියට යා යුතු අන්දම පැහැදිලි කර දීමය. ඒවාට පැමිණෙන පිරිස කුඩා වුවත් රනිල් ඔවුන්ට පණිවුඩ විශාල ප්‍රමාණයක් ලබාදීමට ක්‍රියා කරයි. ඔහු වරක් පවසන්නේ අලුත් නායකත්වයක් ඉදිරියට ගෙන ඒම තමන්ගේ වගකීම බවය. පක්ෂය එකමුතුව එක්සත්ව ගෙන යාමට සැලැස්මක් ඉදිරිපත් කරන්නැයි ඔහු කියයි. දැන් තරුණ පෙළ වගකීම් භාරගත යුතුයි. ජනවාරි මාසේ ඉඳන් අපි වැඩ කරමු. යැයි පවසන රනිල් තමන්ගේ ප්‍රධානත්වයෙන් මහමැතිවරණය සඳහා පුළුල් බලවේගයක් බිහි කිරීමට සැලසුම් හදාගෙන යන බව තම සමීප ජ්‍යෙෂ්ඨයන් හරහා ප්‍රකාශ කරයි. රනිල් මේ කතා කියන්නේ රටේ යූ.එන්.පී. පාක්ෂිකයන්ටද නැතහොත් සජිත්ටද?
බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ පාක්ෂිකයන්ට කතාකරන එක පිටින් දමාගෙන රනිල් මේ ඔක්කොම කතා ටික කියන්නේ සජිත්ට බවය. සජිත්ට පමණක් නොව සජිත්ට සහාය දක්වන ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීන් පිරිසට බවය. වෙනත් ආකාරයකින් කිව්වොත් අගමැති අපේක්ෂකකම්, විපක්ෂනායකකම් මේ මොනවා දුන්නත් පක්ෂ නායකත්වය නම් නොදෙන බවය. පක්ෂ නායකත්වය නැතුව මැතිවරණ ජයග්‍රහණය කළ දේශපාලනඥයන්ද සිටින බව තමන්ට සමීප මන්ත්‍රීන් ලවා සජිත්ට පෙන්වාදීමටද රනිල් ඊයේ පෙරේදා කටයුතු කළේය. මේ ඔක්කොම සටන් පාඨ වලට සජිත්ගේ උත්තරය කුමක්ද? ඒ බව ඔහු පසුගියදා කියා තිබුණේ මෙසේය.
පක්ෂ නායකත්වය නැතුව ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය තමන් බාර නොගන්නා බවය. කිසිම කොන්දේසියකට තමන් යටත් නොවන බවත් ඉදිරියේදීත් එහෙම කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නැති බවත්ය. ඒ වගේම මුරණ්ඩුකමින් නායකත්වය ලබාගැනීම තමන්ගේ අපේක්ෂාව නොවන බවත් පාක්ෂිකයන්ගේ ඉල්ලීම අනුව කටයුතු කරන බවත්ය. සජිත් මෙහෙම කියන්නේ අලුත් නායකත්වයක් ගෙන ඒමට තමන් ඉදිරියේදී ක්‍රියාකරන බව කියන පසුබිමේය. මේ කතාවලින් පෙනෙන්නේ සජිත් යූ.එන්.පී. නායකත්ව සටන අත් නොහරින බව සහ සජිත්ට නායකත්වය ලබාදීමට රනිල් ක්‍රියා නොකරන බවය. එහෙම නම් යූ.එන්.පී.ය කැඩෙයිද?
යූ.එන්.පී.ය කැඩෙන්න නම් සජිත් තමන්ට සහාය දක්වන ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද කඩාගෙන පක්ෂයෙන් පිට වී යා යුතුය. මේ වෙලාවේ රනිල් තමන්ට සමීප පක්ෂ ජ්‍යෙෂ්ඨයන් හරහා සජිත්ට පල නොකියා පලා බෙදන්නේ එහෙම වෙනවා සිහිනෙන් හෝ දකින්න කියා යැයි කෙනකුට සිතන්න බැරිකමක් නැත. ඒ වගේම තමන් මුරණ්ඩුකමෙන් පක්ෂ නායකත්වය නොගන්නා බව සජිත් කියන්නේ රනිල් එහෙම හිතාගෙන වැඩකරනවා නම් එසේ නොවන බවට කරන සංඥාවක් වශයෙන් විය හැකිය. එහෙම නම් සජිත් බලාපොරොත්තු වෙනවා ඇත්තේ යූ.එන්.පී.ය ඇතුළේම ඉඳගෙන දිගින් දිගටම නායකත්වය වෙනුවෙන් සටන් කිරීමට විය යුතුය. එහෙම සටන් කිරීමටත් ඇත්තේ තව සුළු කාලයකි. මාර්තු මාසය මුලදීම පාර්ලිමේන්තුව විසුරැවා හරින බවත් මහ මැතිවරණය අප්‍රේල් අගදී හෝ මැයි මස මුලදී හෝ පැවැත්වෙන බවත් ප්‍රකාශ වී තිබීම හේතුවෙනි. එහෙම බැලුවොත් යූ.එන්.පී.යට ඡන්දයට මුහුණදීමට සිදුවන්නේ නායකත්ව පුටු සටනින් හෙම්බත් වූ පක්ෂයක් හැටියටය. ජනාධිපතිවරණයෙන් ලද පරාජය හේතුවෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටින යූ.එන්.පී.යට එය කොහෙත්ම සුබ ලකුණක් වන්නේ නැත.
යූ.එන්.පී. මේ තත්ත්වයෙන් ගොඩඑන්නේ කවදාදැයි පාක්ෂිකයෝ ඇඟිලි ගනිමින් සිටිති. පක්ෂය ඇතුළේ බල අරගල උත්සන්නව පවතිද්දී ජයග්‍රහණය ලැබීම කෙසේ වෙතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ගැනීම පවා සිහිනයක් පමණක් වනු ඇත. එය පක්ෂයට කොහොම වුණත් රටට නම් යහපතක් නොවේ. මේ ගැන රනිල්ට සහ සජිත්ට අවබෝධයක් නැති විය නොහැක. එහෙත් නායකත්ව සටනට මුළු කාලයම යොදවාගෙන තිබෙන තත්ත්වයක් තුළ මේ දෙදෙනාටම රට ගැන සිතන්න කාලයක් නොමැති වීම ගැන පුදුම විය යුතු නැත. ඒ කොහොම වුණත් සජිත් කියන්නේ ලජ්ජා බය කියන නහරය තවමත් තමන්ගේ ඇඟේ තිබෙන බවය.
සජිත් මේ කතාව කියන්න යොදවා ගත්තේ ගමින් ගමට ගොස් ජනතාව මුණගැසීමේ රුලි මාලාවක ආරම්භක රැලියේදීය. එය පැවැත්වුණේ සජිත් පාර්ශ්වයට සපෝට් කරන එස්.එම්. මරික්කාර්ගේ කොළොන්නාව ආසනයේය. රනිල් විවිධ පිරිස් සිරිකොතට කැඳවා සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළේ සජිත්ගේ මේ රැලිමාලාව සංවිධානය කරන බව ප්‍රචාරය වීමත් සමඟ බවද පැහැදිලිය. ඡන්දයෙන් පසුව නිහඬව සිටින සජිත්ට වඩා කතාකරන සජිත් ප්‍රබල අභියෝගයක් වන බව රනිල් කල් තබාම තේරැම් ගන්න ඇත. හැබැයි සජිත් ඒ රැස්වීම රනිල්ට කෙළින්ම පහරදීමට යොදාගත්තේ නැත. ඒ වෙනුවට ඔහු කිව්වේ ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට නවීකරණයක්, නව මුහුණුවරක්, නව ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍ය බවය. රනිල් මේ දවස්වල කියන්නේත් ඕකමය. තමන්ට මඩ ගසා, කැලෑ පත්තර ගසා තමන්ව ඉවතට විසි කළ නොහැකි බවද කියන සජිත් කවුරුන් මොනවා කිව්වත් ජනාධිපතිවරණයේ පසුබෑමේ වගකීම තමන් බාරගන්නා බවද කවුරැත් කට අරිනතුරු බලා නොසිට තමන් නියෝජ්‍ය නායකකමින් අස්වූයේද ඒ නිසා බවද කියා තිබුණි. ඔහු මෙසේද කිව්වේය.
මොනම අවස්ථාවකදීවත් තනතුරු උදෙසා අපි බෙදෙන්නෙ නෑ. තනතුරු උදෙසා පක්ෂය දෙකඩ කරන්න අපි ඉදිරිපත් වෙන්නෙ නැති බව පැහැදිලිව කියනවා. ජනමතයට විරුද්ධව අපි කැරලි ගහන්නෙ නෑ. සජිත් ප්‍රේමදාස විශ්‍රාම යන්න කාලෙ හරි කියලා කිව්වොත් ඒ ජනමතයට ගරැකරලා විශ්‍රාම යන්න මම සූදානම්. ලජ්ජා බය කියන නහරය තවමත් සජිත් ප්‍රේමදාසගේ ඇඟේ තිබෙන බව කියන්න කැමැතියි.
ලජ්ජා බය නහරය ගැන සජිත් මේ කතාව කියන්නේ රනිල්ටද? පේන හැටියට නම් ඒ කතාවේ එල්ලය තිබෙන්නේ රනිල්ගේ පැත්තටය. ඡන්දය පැරදුණු වෙලාවේ යූ.එන්.පී.යේ තිබූ සිංහල බෞද්ධ ඡන්ද පදනම හේදී යාම ගැනද චෝදනා එල්ල වූ අතර එහිදී ඇඟිල්ල දිගුවූයේද රනිල්ගේ පැත්තටය. මංගල සහ රන්ජන් රාමනායක බෞද්ධකමට පහර ගහද්දී රනිල් ඒ ගැන කිසිම පියවරක් නොගැනීම පක්ෂයෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම ගිලිහී යාමට ලොකු බලපෑමක් කළ බවට මතයක් පැතිරුණි. එසේම උතුරේ පක්ෂවලින් ඉදිරිපත් වූ රට බෙදන යෝජනා ඇතුළත් කොන්දේසි 13 කරළියට එනවිට යූ.එන්.පී.ය උතුරේ පක්ෂ සමඟ සාකච්ඡා කිරීමද යූ.එන්.පී.යේ සිංහල බෞද්ධ ඡන්ද ඈත් කිරීමට හේතු වූ බවටද බරපතළ චෝදනාවක් එල්ල විය. එයට රනිල්ගේ සමීපතමයන්ගේ පිළිතුරු වී තිබුණේ පක්ෂ නායකයා වශයෙන් ඔහු උතුරෙන් සජිත්ට ඡන්ද ලබාදුන් බවය. එහෙම වුණත් ඒ හේතුවෙන් දකුණේ යූ.එන්.පී. ඡන්ද සෝදාපාළු වී යාම ගැන රනිල් හෝ ඔහුගේ සමීපතමයන් හෝ කටක් හෙල්ලුවේ නැත. එහෙම බැලුවොත් නායකත්වය නැතුව මහ මැතිවරණයකට ඉදිරිපත් නොවන බවට සජිත් කරන ප්‍රකාශයට ලොකු වටිනාකමක් එකතු වී තිබෙන බව පැහැදිලිය.
හැබැයි එහෙම චෝදනා එල්ල වුණා කියා රනිල් තමන්ගේ නායකත්වය සජිත්ට දෙනවා කියා සිතනවා බොරැය. මොන චෝදනා එල්ල වුණත් මැතිවරණ කොතරම් පරාජය වුණත් ඒවා කාගෙන ඉන්න තරම් ඉවසීමක් සහ මුරණ්ඩුකමක් රනිල් ළඟ තිබේ. ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා කළ සටනින් සජිත් දිනුවත් ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය සහාය නායකත්වයෙන් නොලැබුණු බවත් ඒ වෙනුවට සිදුවූයේ යන්නට ඉඩදී පාපිස්සෙන් ඇදීම බවත් සජිත්ගේ සමීපතමයන් කරන චෝදනාවලද හරය එයයි. හොඳින් ගන්න බැරිනම් තමන් මුරණ්ඩු නොවන බව කියන ගමන් ලජ්ජා නහරය තවමත් තමන් ළඟ තිබෙන බව කීමෙන් සජිත් අදහස් කරන්නේ රනිල්ට දැන් ලජ්ජා නහරය නැති බවදැයි කියන්න දන්නේ නැත.
ශශීන්ද්‍ර