2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 171

ටැක්සි අබේට අගමැති කාර්යාලයේ නව තනතුරක්

ඔහු විවිධ කාර්ය පුද්ගලයෙකි. තිරය පිටුපස බොහෝ වැදගත් චරිතවලට පණපෙවූ අයෙකි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ ඉවත්කොට මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්කළ අවස්ථාවේ සීමාසහිත හොටෙල් ඩිවලොපර්ස් සමාගමේ සභාපති වශයෙන් ඔහු පත්කරනු ලැබීය.

කෙසේ වුවද එම තනතුරේ ආයුෂ කෙටි විය. මහින්ද රාජපක්ෂට දුරකථන ඇමතුමක් දුන් ජනාධිපති සිරිසේන එම සමාගමේ එවකට සභාපති ක්‍රිෂාන්ත කුරේට දිගටම එම තනතුර දැරීමට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටියේය. ඒ දැනුම් දීමත් සමඟ නව පත්වීම අස්කර ගනු ලැබීය.

ටැක්සි අබේ වශයෙන් ජනප්‍රිය නාමයකට හිමිකම් කියන ගාමිණී අබේරත්න 2001 – 2004 වසරේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවැති ආණ්ඩුවේ ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. ඔහු වත්මන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් තම පෞද්ගලික ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් පත්කරනු ලැබ සිටී. ඉකුත් සතියේ පත්වීමට අදාළ ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් ගාමිණී අබේරත්න මහතා ලබාගත්තේය.

- සන්ඩේ ටයිම්ස්

හිටපු බුද්ධි ප්‍රධානියකුගේ පාස්කු බෝම්බ කතාව

හිටපු තත්ත්වයෙන් පහත වැටී දැනට මූලස්ථානයකට මාරැ කරනු ලැබ සිටින එක් හිටපු බුද්ධි ලොක්කෙක් තම සගයන්ට පැවසූ කතාවක් ජ්‍යෙෂ්ඨ බුද්ධි ක්ෂේත්‍රවල මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඛේදවාචකය සම්බන්ධයෙනි. “මම දේශපාලනඥයකුට කිව්වා මෙහෙම ප්‍රහාරයක් එන බව ඒ වුණාට එයා මට කිව්වා නිකං කරදර ඇති කරන්නේ නැතුව ඉන්න. කියලා.

ඔහුගේ සගයෙක් එවිට අසා තිබුණේ ඇයි මේ කතාව ප්‍රසිද්ධියේ නොකිව්වේ කියාය. “ඒක කරානම් මගේ බෙල්ලත් කැපෙන්න තිබුණා. ඔහුගේ පිළිතුර විය.

තමන් ලබාගත් විදෙස් දුරකතන ඇමතුම් ගැන කතා කිරීමත් අතහැර දැමූ බවද මේ නිලධාරියා කියා තිබිණි. තමන්ගේ දීර්ඝකාලීන උසස් වීම් පිළිබඳව ඇති බලාපොරොත්තු කඩ වී ඇතැයි කියමින් ඔහු දැන් ශෝකවෙයි.

- සන්ඩේ ටයිම්ස්

ෆිනෑන්ස් කොම්පැණිත් එස්.එම්.ඊ. ණය අත්හිටුවයි

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් (එස්.එම්.ඊ.) සඳහා කඩිනම් සහන ලබාදීමේ වැඩ පිළිවෙළට ෆිනෑන්ස් සහ ලීසිං සමාගම් ද ඇතුළත් කර ගැනීමට ද රජය තීරණය කර තිබේ. ආර්ථිකයේ පිට කොන්ද වශයෙන් සැලකෙන එම ව්‍යවසාය දෙක මගින් ලබාගෙන ඇති බැංකු ණය වාරික ආපසු ගෙවීමට වසරක සහන කාලයක් ලබාදීමට රජය ගත් තීන්දුවට අනුකූලව එය සිදුකෙරෙනු ඇත.

අග්‍රමාත්‍යවරයාගේ ආර්ථික කටයුතු සම්බන්ධ ප්‍රධාන උපදේශක වන අජිත් නිවාඩ් කබ්රාල් ඩේලි එෆ්.ටී. පුවත්පතට ප්‍රකාශ කළේ ෆිනෑන්ස් සහ ලීසිං සමාගම් ද එම යෝජනා ක්‍රමයේ සෙසු ආයතන හා සමානව කටයුතු කරනු. ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති, මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන ඇමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් විසින් සියලුම බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට නිකුත් කරන ලද නියෝගයක් මගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් විසින් ලබාගෙන ඇති ණය අපසු අයකර ගැනීම අත්හිටුවා තිබිණි. ඒ පිළිබඳව සඳහන් කරමින් ඉකුත් සිකුරාදා ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා සඳුදා (23) සහ අඟහරැවාදා (24) බැංකු ක්ෂේත්‍රයේ සහ මහ බැංකුවේ නිලධාරීහු හමුවී සාකච්ඡා පැවැත්වූහ. ඉහත සඳහන් තීරණය ගනු ලැබ ඇත්තේ එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙනි.

- ඩේලි එෆ්.ටී.