2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

උඳුවප් සීතලේ රස්නය

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 183

මේ ගෙවී යන්නේ 2019 වසරේ අවසාන සති අන්තයයි. මෙරට ඉතිහාසයේ කුරිරැම මනුෂ්‍ය ඝාතන වැලක අඳුරැ මතකය මැදින් අලුත් ජනාධිපතිවරයකු සමඟ අලුත් පාලනයක් බිහිවීමේ නැවුම් බවත් පිරිවරාගෙන රට ඉදිරි වසරට පා තබයි. මේ වනවිට ඊළඟ සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය ද මහමැතිවරණයේ උණුසුමින් වෙලී පවතිනු ඇති බවට පෙරනිමිති පහළ වෙමින් තිබේ.

ජනාධිපතිවරණයෙන් ලද පරාජය සමඟින් මහමැතිවරණයකින් තොරවම යූ.එන්.පී. ප්‍රමුඛ රනිල්ගේ නායකත්වයෙන් යුතු වූ ආණ්ඩුව විපක්ෂයට තල්ලු විය. වසරක කාලයක් තුළදී රනිල්ගේ ආණ්ඩුව දෙවරක්ම මැතිවරණයකින් තොරවම විපක්ෂයට තල්ලුවීම මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සිද්ධියක් වශයෙන් සටහන් වෙයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 26 වැනිදා සිට දින 52ක කාලයක් යූ.එන්.පී. ආණ්ඩුව විපක්ෂයේ වාඩිකරනු ලැබුවේ හිටපු ජනපති මෛත්‍රීපාල විසිනි. එයින් මාස 04කට පසුව සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මගින් යුද ජයග්‍රහණයෙන් පසුව රටේ පැවැති සාමකාමී වාතාවරණය තලා දමනු ලැබීය. ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියමවන විට එහි ප්‍රතිඵලයද නියම වී තිබීමට එක් ප්‍රබල හේතුවක් වූයේ එම විනාශකාරී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයයි. එහිදී ආණ්ඩුවට කටඋත්තර නැතිවිය. දැන් කටඋත්තර ගැනීම් සිදුවන්නේ ඒ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙනි. එහිදී මුලින්ම කොටුකරගනු ලැබුවේ චම්පික රණවක සහ රාජිත සේනාරත්නය.

චම්පික ඔහුගේ නිවෙසේදී අත්අඩංගුවට පත්වන විට රාජිත අත්අඩංගුවට පත්වන්නේ පෞද්ගලික රෝහලක අයි.සී.යූ. ප්‍රතිකාර ලබමින් සිටියදීය. රාජිත ඇමැති පදවිය දරමින් සිටියදී රෝගාතුර වූ අවස්ථාවේ ප්‍රතිකාර සඳහා ගියේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලටය. එහෙත් රාජ්‍ය බලය නැතිව සිටියදී අසනීප වීමෙන් හෝ නොවීමෙන් හෝ ඇතුළු වීමට සිදුව තිබුණේ මේ රටේ පෞද්ගලික රෝහලකටය. එය මේ රටේ බොහෝ දේශපාලනඥයන්ට කදිම පාඩමකි.

චම්පික සී.අයි.ඩියට කැඳවා කටඋත්තර ගණනාවක් සටහන් කර ගැනීමෙන් පසුව නීතිපතිගේ උපදෙස් මත ලබාගත් අධිකරණ නියෝගයක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු රෝහල් ගතවීම සඳහා හෝ මෙට්ටයකට අමතරව වෙනත් පහසුකමක් හෝ ඉල්ලා සිටියේ නැත. වසර 03කට පමණ පෙර සිදුවූ මේ රටේ මහත් ආන්දෝලනයකට ලක්වූ මෝටර් සයිකල් ගැටුමට අදාළව චම්පිකට විරුද්ධව චෝදනා ගොනුකර තිබිණි. කෙසේ වුවද ඔහුට රිමාන්ඩ් භාරයේ වැඩි දවසක් ගෙවීමට සිදුවූයේ නැත. පොදු දේපළ පනතට අදාළව ගොනු නොකරන ලද නඩුවක් බැවින් චම්පිකට උසාවියෙන් ඇප ලැබිණි. සිරෙන් නිදහස් වූ චම්පික මහනුවරට ගොස් මහනාහිමිවරුන් බැහැදැක මාධ්‍යයට වොයිස් කට් එකක්ද ලබා දී තිබිණි. චම්පික සිරගත වීමට පෙරද මහනුවරට ගොස් මහ නාහිමිවරුන් බැහැදැක තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට දැනුම් දීමක් කර තිබූ බවද සඳහන් විය. ඔහු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ඕමල්පේ සෝභිත නාහිමි ඇතුළු හිමිවරුන් කිහිප දෙනකුම නිවේදන නිකුත් කර තිබීම විශේෂයකි. චම්පික ඉක්මනින් නිදහස් කරනු ලැබීමට එය හේතු වීදැයි කීම නම් අපහසුය.

චම්පික එළියට එනවිට ඇතුළට යන්නේ රාජිතය. කෙසේ වුවත් රාජිත නම් චම්පික මෙන් සී.අයි.ඩී.යට කටඋත්තර දීමට ගියේ නැත. ඒ වෙනුවට ඔහු කළේ තමන් අත්අඩංගුවට ගන්න යනවා යැයි කියමින් අපේක්ෂිත ඇප ඉල්ලා උසාවි යාමයි. එයද අසාර්ථක වෙද්දී රාජිත හදිසියේම අතුරුදන් විය. ඔහු සිටින තැන පිළිබඳ විස්තර සොයා ගැනීමට සී.අයි.ඩී. ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබුණි. එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා (26) පස්වරුවේ 7.30ට පමණ රාජිත රෝහල්ගත වනතුරු ඔහු සිටින ස්ථානය පිළිබඳ හරි තොරතුරක් සී.අයි.ඩී.යට ලැබී නොතිබිණි. රෝහල් ගතවීමෙන් පසුව රාජිත අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය ඉදිරිපත් වුවද රෝහලේ වෛද්‍යවරුන් විසින් එය වළක්වා තිබුණේ රාජිත ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු වීම හේතුවෙනි. රාජිත අත්අඩංගුවට ගැනීම සඳහා උසාවිය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් උසාවි ගියද උසාවිය එය ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ හේතුවෙන් සිකුරාදා පස්වරුව වනවිට රාජිත රෝහලේ සිටියදීම අත්අඩංගුවට ගනු ලැබීය.

චම්පික සහ රාජිත අත්අඩංගුවට ගැනීම නීතිමය පදනමක් මත පිහිටුවමින් සිදුකළත් එය දේශපාලන පළිගැනීම් වශයෙන් විපක්ෂය මගින් හඳුන්වනු ලැබීම වැළැක්විය නොහැක. පසුගිය ආණ්ඩුව මුල් කාලයේදී මහින්ද රාජපක්ෂ පාලනයේ සිටි මැති ඇමැතින් පිරිසක් පමණක් නොව රජයේ නිලධාරීන් කිහිප දෙනකු පවා සිරගත කරනු ලැබූ විට ඒ සියල්ල හඳුන්වනු ලැබුවේ දේශපාලන පළිගැනීම් වශයෙනි. එදා ආණ්ඩුව අද විපක්ෂයට වැටී සිටින විටද එම චෝදනාව එල්ලවීම ගැන පුදුම වීමට දෙයක් නැත.

එය කෙසේ වුවද සිදුවිය යුත්තේ මේ යන ක්‍රමය වෙනස් කිරීමට සියලුදෙනාම එක් වී කටයුතු කිරීමය. නැතහොත් සිදුවන්නේ කවදා හෝ ඊළඟට එළඹෙන ආණ්ඩුවද මේ පාරේම යාමට ඉඩ තිබීමය. මැති ඇමැතිවරැන් තමන්ට බලය තිබියදී හිරේ යන තරමට වැරදි වැඩ නොකරන්නේ නම් මේ වැනි දේශපාලන පළිගැනීම් වලට ලක්වීමට සිදු නොවනු ඇත. ආණ්ඩු පෙරළන ගාණට මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් සිරගෙවල්වලට තල්ලු කරන සම්ප්‍රදාය දිගටම ගියොත් එයින් නිර්මාණය වනු ඇත්තේ ස්ථාවර රටකට වඩා ඒකාධිපති ගණයේ රටකි. බලය නොතිබියදී පමණක් නොව බලය තිබියදී පවා රටේ නීතිය එකසේ ක්‍රියාත්මක කිරීම මේ ආකාරයේ දේශපාලන පළිගැනීම් නැවැත්වීමට හොඳම ක්‍රමයයි. ඒ ක්‍රමය ඇති කිරීමට තරම් දේශපාලන ධෛර්යයක් ගෝඨාභය රාජපක්ෂ පාලනයට ඇතිකර ගත හැකි නම් දූෂණයෙන් සහ අක්‍රමිකතා වලින් තොර රටක් බිහිකර ගැනීමේ අභිලාෂය ජය ගැනීමටද අපහසු නැත. සිරගත විය යුතු තරම් වැරදි කර ඇති අය මේ විපක්ෂයේ පමණක් නොව මේ ආණ්ඩුවේද සිටින බව යථාර්ථයයි.

කෙසේ වුවත් තමන්ගේ හිටපු ඇමැතිවරැන් සිරගත වෙද්දී ඒ පිළිබඳව ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු කිරීමට යූ.එන්.පී.යට හැකියාවක් නැත. පක්ෂය තුළ පවතින රනිල්-සජිත් අර්බුදය එයට ලොකුම හේතුව වී තිබේ. මහ මැතිවරණයට තවම ඇත්තේ මාස 4කටත් අඩු කාලයක් වුවද එම සටන මෙහෙයවන්නේ කවුද යන්න තවමත් ගැටලුවකි. අගමැති අපේක්ෂක වශයෙන් සජිත් නම්කොට ඔහු මහ මැතිවරණය මෙහෙයවනු ඇතැයි යන්න රනිල් පාර්ශ්වය වරින්වර ප්‍රකාශ කරයි. එහෙත් පසුගියදා සජිත් ප්‍රකාශ කළේ පක්ෂයේ නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කිරීම තමන්ට අං තට්ටුවක් පැළඳවීමක් හැටියටය. මම ඒ අංතට්ටුව පැළඳගන්න සූදානම් නෑ. මට අපේක්ෂකත්වය දීලා සිරිකොතේ ගේට්ටු වහල දැම්මොත් මොකද කරන්නේ සජිත් විමසා තිබිණි.

කතාව එහෙම නම් සජිත් පක්ෂ නායකත්වය නොමැතිව මහ මැතිවරණ සටනට අත පොවන්නේ නැත. එයටද විකල්පයක් වශයෙන් කරැ ජයසූරිය ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් පත් කරගෙන මහ මැතිවරණයට යාමේ සූදානමක් ගැන රනිල්ට සමීප පිරිසක් වරින්වර යෝජනා කරති. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් තරම් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් එම යෝජනාවද යටපත් වෙමින් තිබේ.

මේ දක්වා රනිල් කර ඇති ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ඔහු පක්ෂ නායකත්වය මේ අවස්ථාවේදී හැර නොයන බවය. පක්ෂය තුළ එකමුතු බවක් ඇතිවනතුරු නායකත්වයෙන් ඉවත් නොවන බවත් මහ මැතිවරණයට සියලුදෙනා එක් වී තරග වැදීමෙන් පසුව නායකත්වය පිළිබඳව සලකා බැලිය හැකි බවත් ඔහු වරින්වර සිදුකළ ප්‍රකාශවල සඳහන් විය. මේ අර්බුදය සමතයකට පත්කර ගැනීම සඳහා ඉදිරි දිනවලදී රනිල්-සජිත් අතර හමුවක්ද සංවිධානය කර තිබේ. මෙය අර්බුදය සමතයකට පත්කර ගැනීමේ අවසන් අවස්ථාව බව සජිත්ට සමීප ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ. එහෙත් රනිල්ට සමීප පිරිස එවැනි අදහසක් දරණ බවක් නොපෙනේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ පක්ෂය තුළ කිසිම අර්බුදයක් හෝ ගැටලුවක් හෝ නොමැති බවය. සියලු දෙනා එකතු වී මහ මැතිවරණයට තරග කරන බවත් ඉන්පසුව පක්ෂයේ ඉදිරි ගමන සැලසුම් කරන බවත් ඔවුහු කියති. මේ අතර තවත් පිරිසක් සජිත්ට පහරදීමට රැස්වීම් සංවිධානය කරන බවද පෙනී යයි. පසුගියදා මෙවැනි රුස්වීමක් පැවැත්වූයේ රවී කරුණානායකට සමීප භික්ෂුවක් වන තීනියාවල පාලිත හිමියන්ය. එජාප භික්ෂු පෙරමුණේ නායකත්වය දරන්නේ පාලිත හිමියන් විසිනි. සජිත්ට සමීප මන්ත්‍රීන් 24 දෙනකු තමන්ගේ ආසන ඡන්ද 6,26,000කින් පරාජය වූ බව පවසා තිබූ පාලිත හිමියෝ ඒ 24ගේම නම්ද කියා තිබිණි.

මේ අනුව ලබන 03 වැනිදා රැස්වෙන යූ.එන්.පී. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සෑහෙන උණුසුම් මුහුණුවරක් ගැනීමට ඉඩ තිබේ. ඒ අතර ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම් සඳහා කෘත්‍යාධිකාරී කමිටුව කැඳවන්නැයි එම කමිටු සාමාජිකයන් පිරිසක් විසින් පක්ෂනායක රනිල්ගෙන් කර ඇති ඉල්ලීමක් ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. එවැනි රැස්වීමක් කැඳවන්නේ ඒ සඳහා අවශ්‍යතාවක් පැන නැගුණු අවස්ථාවකදී පමණක් බවද ඔහු කියා ඇතැයි සඳහන් වේ. කෙසේ වුවද මීළඟ කෘත්‍යාධිකාරී කමිටුව කැඳවීමට පෙර එහි සාමාජිකයන් පිරිසක් ඉවත්කොට ඒ සඳහා අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිත බවද කියති.

යූ.එන්.පී. මෙසේ මතභේද හේතුවෙන් හිරවී සිටියදී ආණ්ඩුව ප්‍රබෝධයෙන් යුතුව ඉදිරියට ඇදෙමින් සිටී. එසේ වුවත් පසුගිය දිනවල සිදුකෙරැණු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීම්වලදී මත ගැටුම් ඇතිවූ බව සඳහන් වෙයි. පත්වීම් ලද ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් තුළ එකඟත්වයක් නොමැතිවීම ඊට හේතුවයි. එසේම 19 වැනි ව්‍යවස්ථාව අහෝසි කරන බවට ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයද ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ගනු ලැබ ඇති තීරණයද රටේ ඇතැම් පාර්ශ්වවල විවේචනයට හේතු වී තිබේ. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට තීන්දු කළ අවස්ථාවේ අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් සිදුකරන ලද ප්‍රකාශය නිවැරදි බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

2020 අලුත් අවුරුද්ද උදාවෙන්නේ මේ පසුබිමේය. ආණ්ඩුව සහ විපක්ෂය කෙසේ වෙතත් රටේ මහජනතාව නම් ඉදිරිය ගැන මහත් බලාපොරොත්තු සහිතව සිටින බව නම් පැහැදිලිය.

 ශශීන්ද්‍ර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00