2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදය දෙසන්න කලින් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

► අපි දේශපාලන දඩයමට විරුද්ධව සටන් කරනවා අපි දේශපාලන දඩයමට විරුද්ධව සටන් කරනවා
► දහ පහළොස් දෙනෙකුට පක්ෂයේ ඉරණම තීන්දු කරන්න බැහැ
► එක එක්කෙනා වෙනුවෙන් නෙවේ, පක්ෂය වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනෑ
► නායකතුමා ඇතුළු සියලු දෙනාටම පරාජයට වග කියන්න වෙනවා
► ගෝඨාභය සජිත් සුසංයෝගය හොඳ අදහසක්
► අද බඩු මිල අහස උසට ගිහිල්ලා
► ආණ්ඩුවේ හොඳ දේවල්වලට සහය දිය යුතුයි
► ජනාධිපතිතුමා ගන්න දැඩි තීන්දුවලදී මම ඉහළින්ම සහාය දෙනවා

එජාප කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

සජිත් ප්‍රේමදාස මහත්‍තයාගේ පරාජයෙන් පස්සේ ඒ පරාජයට හේතු ගණනාවක් ප්‍රසිද්ධියේ කිව්ව කෙනා තමයි ඔබ. ඒ කාරණාව ඇත්තටම මේ පරාජයට හේතුවුණු කාරණා හැටියට ඒ කණ්ඩායම විසින් හඳුනාගත්ත කාරණද?

මම පැහැදිලිවම කිව්වා ඒක මගේ පුද්ගලික මතය, අනෙක් අයත් හඳුනා ගතයුතු.

ඇයි මේ පරාජයට හේතුවුණු කාරණා ඡන්දයට පෙර හඳුනාගන්න බැරිවුණේ?

මම කිව්ව දේවල්වලින් සමහර දේවල් ඡන්දයට පෙර වෙච්ච ඒවා. සමහර දේවල් ඡන්ද කාලේ වෙච්ච දේ. ඡන්ද කාලේ වෙච්ච දේවල් මග හැරලා, ඡන්දයට පෙර දේවල් මකාගන්න අපිට තිබ්බා. එහෙම කළා නම් අපිට ඔය වගේ ප්‍රතිඵලයක් අත් වෙන්නේ නෑ.

ඇයි එවැනි උවමනාවක් නොතිබුණේ? ඒවා මගහැර ගන්න.

එහෙම උවමනාවක් තිබුණේ නෑනේ. පේනවනේ... එහෙම ඒ දේවල් නිවැරදි කරගත්තා නම් මෙවැනි ප්‍රතිඵලයක් එන්නේ නෑනේ.

ඒ දේවල්වලට වගකියන්න ඕන පුද්ගලයන් වෙන වෙනම හඳුනාගෙන තිබෙනවද?

ඒක මාධ්‍යය ඉස්සරහා කතා කරන්න බෑ. ඒක අපේ පක්ෂ අභ්‍යන්තරයේ කතා කරන්න ඕනේ දෙයක්.

මේ පරාජයත් එක්ක පක්ෂ අභ්‍යන්තරයේ කොහොමද ඒ ගැන සාකච්ඡාව?

එක එක්කෙනාගේ පක්ෂ තනතුරු රුකගන්න බලාගෙන මේක ඇනලයිස් කරනවා. තම තමන්ගේ පක්ෂයේ තනතුරු රැකගන්න නෙමෙයි පක්ෂයත් පාක්ෂිකයනුත් ජයග්‍රහණය කර ගැනීම සඳහා සැබෑ ප්‍රශ්නය ඇනලයිස් කිරීමයි වැදගත්ම දේ.

ඒ දේ වෙන පාටක් නැද්ද?

නෑ එහෙම වෙන පාටක් නෑනේ.

ඔබ හිතන්නේ එක්සත් ජාතික පක්ෂය දැන් ගතයුතු ක්‍රියාමාර්ගය මොකක්ද ?

දැන් කරන්න ඕනේ ආණ්ඩුව කරන හොඳ දේවල්වලට සහයෝගය ලබාදෙන ගමන්ම ආණ්ඩුව විසින් ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ට කරන්න බලකරවන්න ඕනේ. ඒ වගේම ලබාදුන්න ප්‍රජාතන්ත්‍රවාදයයි, නිදහසයි මහ පොළවේ යථාර්ථයක් කරන්න එකතු වෙන්න ඕනේ. දේශපාලන දඩයමට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හරහා පාක්ෂිකයාට උත්තේජනයක් ලබාදීලා මහ මැතිවරණයේදී සාධනීය ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් වෙයි.

දැන් එජාපය නියෝජනය කරන්නේ විපක්ෂය. ඒ කාර්යය එජාපය විසින් නිසි ලෙස ඉෂ්ට කරමින් තිබෙනවද?

යම් ප්‍රමාණයකින් ඉෂ්ට වෙනවා. හැබැයි ඒ ප්‍රමාණය මදි. ඒකෙන් සෑහීමකට පත්වෙන්න බෑ. විශේෂයෙන් පාර්ලිමේන්තුව කල්දැමීම හරහා විශාල සටනක් කරන්න බැරිවෙලා තියෙනවා. හේතුව හැම සටනක්ම මාධ්‍යයේ හෝ වීදියේ නෙමෙයිනේ කරන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුව පාර්ලිමේන්තුව කල්තැබීම තුළ විපක්ෂයේ කාර්යභාරය ඉතා ශෝචනීය ලෙස මග අහුරලා තියෙනවා.

මැතිවරණ පරාජයෙන් පස්සේ පක්ෂයේ නායකත්ව තනතුරු සම්බන්ධයෙන් ගැටලුවක් ඉස්මතු වුණා. විපක්ෂනායක තනතුරේ ප්‍රශ්නය ඉවරයි. ඒත් පක්ෂනායක තනතුරේ ප්‍රශ්නය තවම ඉවර නෑ?

එක එක්කෙනාගේ ඒ ගැන මත තියෙනවා. අපි ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙන්න කතා කරනවා. ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙන්න කතා කරනවා. හැබැයි ඒ වගේම පක්ෂය අභ්‍යන්තරයේත් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. හැමදෙනාටම අදහස් දක්වන්න අවස්ථාවක් දීලා පක්ෂයේ බහුතර මතයට ඉඩදෙන්න ඕනේ.

නායකත්ව වෙනස්වීම්, පක්ෂ ප්‍රතිසංවිධාන වගේ දේවල් හැම ඡන්දයකින් පස්සෙම කතාවෙනවා. හැබැයි ඒ දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවද?

එවැනි තීරණ ගන්න දහ පහළොස් දෙනා එකතුවෙලා හරියන්නේ නෑ. මහජනතාවගෙන් පත්වුණු මන්ත්‍රී කණ්ඩායමයි, පක්ෂයේ පරිපාලනයට සම්බන්ධ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි එකතුවෙලා සාකච්ඡා කරලා, අදහස් දක්වන්න ඉඩදීලා බහුතර දෙනාගේ කැමැත්ත මත පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් ගොඩනගන්න ඕනේ පක්ෂය ජයග්‍රහණය උදෙසා යන්න.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පිරිස කියනවා පක්ෂ නායකත්වය ඔහුට දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මත්තයාට හිතවත් අය කියනවා ඔහුට පක්ෂ නායකත්වය දෙන්න කියලා. මේ මත දෙකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද?

එක එක්කෙනා වෙනුවෙන් පෙනී ඉඳලා වැඩක් නෑ. පෙනී ඉන්න ඕනේ පාක්ෂිකයා සහ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන්. එයා වෙනුවෙන් මෙයා වෙනුවෙන් පෙනී ඉන්නේ ඇත්තටම පුද්ගලික වාසි සඳහා. විශේෂයෙන් අපි ගැන ස්වයං විවේචනයක් කරන්න හැකි වෙන්න ඕනේ. අපේ පක්ෂයේ ඇති අඩුපාඩු ටික අඳුරගන්න බැරිනම් ඒවා නිවැරදි කරගන්න බැරිනම් කිසිම වෙලාවක පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවන්න බැරි වෙනවා.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කාලය දැන් ඉකුත්වෙලා ඉවරයි. අලුත් සමාජිකයෝ පත් කරනවා ඉදිරියේදී. බොහෝ වෙලාවට එහි සාමාජිකයන් පක්ෂ නායකයාට හිතවත් අය. ඒ අයගෙන් පක්ෂයට සුබවාදී තීරණ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

ඒ අයට තීන්දු ගන්න බෑ එහෙම. ඒ අය මහජනතාවත් එක්ක හරි මහජනතාවත් එක්ක ගැටිලා හරි ඉන්න අයම නෙමෙයිනේ. එවැනි පිරිස් ඒකේ ඉන්නේ සුළු පිරිසයි. එහෙනම් පාක්ෂිකයනුත් ජනතාවත් නියෝජනය කරන පිරිස ඉන්නේ පාර්ලිමේන්තුවේ ඒ අයත් මැදිහත් වෙලයි තීන්දු තීරණ ගන්න ඕනේ.

රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ඔහු බාරගත්‍ත කොටසේ ජයග්‍රහණය ඔහු ලබාදුන්නා කියලා. ඒ කියන්නේ ඉතුරැ සියලු පරාජයන්ට වග කියන්න ඕනේ ඔබත් ඇතුළු පිරිසද?

එතුමාට ඒකට වගකියන්න බෑ කියලා කියන්න බෑ. එතුමා ඇතුළු පක්ෂයේ සියලුදෙනා ඒ පරාජයට වගකියන්න ඕනේ. විශේෂයෙන් අපේ පරාජයට හේතුව වුණේ අපි ආණ්ඩු කරපු විදිහ. ඒ නිසා ආණ්ඩු කරපු කට්ටියට ඒ වගකීමෙන් මිදිලා යන්න බෑ. අනික උතුරු නැගෙනහිර ඡන්ද ලැබුණේ කවුරුවත් බාරගත්ත නිසා නෙමෙයි. දෙමළ පක්ෂයි, මුස්ලිම් පක්ෂයි අපිට සහයෝගය ලබාදුන්න නිසා. ඒකට කවුරැ හරි මැදට පැනලා ලකුණු දාගන්න හදනවා නම් ඒක තමන් තමන්වම රවට්ටා ගැනීමක්.

එජාපය වැදුණු ලේබල් එකක් තමයි ඔබලා බෞද්ධ විරෝධීන් පිරිසක් කියලා. කොහොමද එවැනි ලේබලයක් වැදුණේ?

ඇත්තටම සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් වැඩියෙන් වැඩකරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. විහාරස්ථාන දහසකට වඩා සංවර්ධනය කරන්න මූල්‍යාධාර ලබාදුන්නේ අපේ රජයෙන්. හැබැයි අපි ඒ දේවල් ජනතාව ඉදිරියට අරගෙන ගියේ නෑ. නායකයො හිතුවෙ ඒවා වේදිකාවල කිව්වම හරි යයි කියලා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාට බුද්ධ පුත්‍ර රක්ෂණාවරණය හඳුන්වා දුන්නෙ අපි. ඒ දේවල් අපි මිනිස්සු අතරට ගෙනිච්චෙ නැහැ. හැබැයි අවසානයේදී අපේ පක්ෂයේ ඇතැම් අය භික්ෂූන් වහන්සේට අපහාස උපහාස කළා ඒ අයගේ පෞද්ගලික මතවලට. මේ දෙයින් වුණේ ඕන දේවල් ජනතාව ඉදිරියට යන්නෙ නැතිව මේ අපහාස උපහාස ජනතාව අතරට යාම නිසා පන්සලකට නොගිය නමුත් පන්සලේ දේශපාලනය කළ පිරිස් බෞද්ධයෝ බවට පත් වුණා. නමුත් පන්සලට වැඩ කරපු අපි බෞද්ධ විරෝධී වුණා. බුද්ධ ශාසන අමාත්‍යංශය හදල දුන්න සහ බුද්ධ ශාසන අරමුදල හඳුන්වා දුන්න රණසිංහ ප්‍රේමදාසගේ පුතා බෞද්ධ විරෝධී වුණා. 

උතුරේ ඡන්ද ලබාගැනීම සම්බන්ධයෙන් ඇතැම් අය අර්ථකථනය කරන්නේ දෙමළ සන්ධානය සහ ඔබලා අතර ගිවිසුමක් තිබ්බා කියලා. ඇත්තටම ඒ නිසාද ඡන්ද හම්බවුණේ?

ටී.එන්.ඒ. එකත් එක්ක කිසිම ගිවිසුමක් තිබ්බෙ නෑ. නමුත් ඒ ප්‍රතිඵලය මම ඊට වැඩිය පුළුල්ව බලනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නෙ සියලුම ජාතීන්ට එකට ඉන්න පුළුවන් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ ඒ දවස්වල දෙමළ මුස්ලිම් නායකයො හිටියා. නමුත් එවැනි නායකයො පක්ෂයට රැකගන්න බැරිව ගියා. ඒ වගේම අලුතින්ම බිහි කරන්නත් බැරිව ගියා. මේ නිසා ජාතිකත්වය මූලික කරගත්ත දෙමළ සහ මුස්ලිම් පක්ෂවලින් එජාපයට යැපෙන්න සිද්ධ වුණා. ඒ යැපීම විරැද්ධ පක්ෂවලට වාසියක් වුණා අපි ඔවුන් එක්ක ගිවිසුම් ගහලා විවිධ එකඟතාවල්වලට ආවා කියලා ප්‍රසිද්ධ කරන්න. 

පසුගිය දවසක පාඨලී චම්පික රණවක මහත්තයා අත්අඩංගුවට ගත්තා. ඔබලා කියනවා ඒක දේශපාලන පළිගැනීමක් කියලා. ආණ්ඩුව කියනවා ඔබලා ඒ රිය අනතුර බලය තියෙන කාලෙ යටගැහුවා කියලා. ඇත්තටම යටගැසීමක් වුණාද?

මම පුද්ගලිකව එවැනි යටගැසීමක් සිද්ධ වුණා කියලා විශ්වාස කරන්නෙ නෑ. නමුත් අධිකරණය ඉදිරියෙ විභාග වන කාරණා මම කතා කරන්න කැමති නෑ. මට එක දෙයක් කියන්න පුළුවන්. අපේ නායකයො ආණ්ඩු කරපු විදියෙ වැරැද්ද නිසා තමයි මේ ආණ්ඩුව බලයට ආවෙ. 

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වුණාම ඔබට දේශපාලන පළිගැනීම් හැටියට හඳුන්වනවා කියලා ආණ්ඩුවෙන් චෝදනා තියෙනවා.

මම කිව්වා ඔබට අධිකරණය ඉදිරියේ තියෙන කාරණා කතා කරන්න කැමති නෑ කියලා. අපේ ආණ්ඩුව හරියට දේශපාලනය කළේ නෑ. හැබැයි මේ ආණ්ඩුව හරියට දේශපාලනය කරනවා. මොකද ඒගොල්ලන්ට අභියෝග වෙන අයට හරියට දේශපාලන දඩයම සිදු කරනවා. 

ඔබලා චෝදනාවක් එල්ල කළා රාජපක්ෂලාට සුදු වෑන් සංස්කෘතිය ඇතිකළා කියලා. ඡන්ද කාලෙ රාජිත මන්ත්‍රීතුමා සුදු වෑන් රියැදුරකු ගෙනල්ලා සාකච්ඡා තිබ්බා. දැන් ඒ සියල්ල බොරු කියලා තහවුරු වෙලා. ඔබලා විසින්ම ගොඩනගපු තර්ක ඔබලා විසින්ම බොරුයි කියලා රටට ඔප්පු කරනවා නේද?

සුදු වෑන් වලින් මිනිස්සු මිය පරලොව ගියාද නැද්ද කියන එක මේ රටේ මිනිස්සු දන්නවා. ඔය මාධ්‍ය සාකච්ඡාව බොරුවක් නම් ඒකෙන් සුදු වෑන් සංස්කෘතිය බොරුයි කියලා තහවුරු කරන්න හදනවා නම් ඒක අමූලික බොරැවක්. හැබැයි එවැනි බොරු මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවා නම් ඒක පට්ටපල් වැරැද්දක්. 

ආණ්ඩුව කරන චෝදනාවක් තමයි ඔබලා නිසි ලෙස මූල්‍ය කළමනාකරණය නොකරපු නිසා දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදීලා තියෙනවා කියලා. යහපාලන ආණ්ඩුව මූල්‍ය පාලනය දන්නෙ නැද්ද?

ඒගොල්ලො විසින් අවුල් කරලා ගිය ආර්ථිකයක් අරගෙන සල්ලි නෑ කරන්න බෑ කියල අපි නහයෙන් ඇඬුවෙ නෑ. අපි වැඩ කළා. අපි සියලු සංවර්ධන කටයුතු සිදු කළා. ලක්ෂ තුන්දාහක විතර පාලම් පාරවල්ම හැදුවා. අපි කිව්වෙ නෑ අපිට කරන්න බෑ කියලා. අපි ඒවා දැනගෙන ගත්තෙ. අපි අරගෙන ආර්ථික කළමනාකරණය කරලා වැඩ කටයුතු සිදු කළා. නමුත් අද එයාල ළඟ තමයි ආර්ථික විශේෂඥයො ටික ඉන්නෙ. වියත් මග, අර මග, මේ මග කියාගෙන හිටිය ඒවා වල කට්ටිය දැන් ඉන්නෙ එයාල ළඟ. ඉතින් ඇයි එහෙනම් දැන් අඬන්නෙ. අඬන්නෙ නැතුව කරන්නකො. මැතිවරණ ව්‍යාපාරය තුළම කිව්වනෙ සහන පැකේජ දෙනවා කියලා. රජයේ සේවකයන්ගෙ වැඩි කරපු තුන්දාහ නතර කළා. අතිකාල දීමනා නතර කළා. අද බඩු මිල සෑහෙන ගණන්. එතකොට ඒවා දුර්වල ආර්ථික කළමනාකරණ නෙමේද? මැතිවරණ ප්‍රතිපත්තිවලට ඒව දැම්මෙ ජනතාව රවට්ටන්නද? 

දැන් මහ බැංකු හොරුන්ට දඬුවම් දෙන්න කියලා වැඩියෙන්ම ඉල්ලන්නෙ එජාපය. ඇයි ඔබලට බැරිවුණේ ඔබලගෙ ආණ්ඩුවකදි ඒවා කරන්න?

ඒගොල්ලො ඒ දේ ඉෂ්ඨ නොකරනවා නම් ඒක ජනතාවට කොකා පෙන්වීමක්. අවුරුදු හතරක පහක කාලය තුළ ඒගොල්ලන්ගෙ මැතිවරණ වේදිකාවල ඕකනෙ ප්‍රධාන මාතෘකාව. ඒ අය ඒ කරැණ කියලා බලයට ආවෙ. ඒ ගැන සොයලා බලලා වැරදිකරුවන්ට දඬුවම් දීම ඒ අයගෙ වගකීමක්. විපක්ෂයේ කාර්යභාරය තමයි එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන්න කියලා ඉල්ලන එක. අපි බය නැතිව ඉල්ලන්නෙ සමස්ත එජාපයම ඒ දේවල්වලට සම්බන්ධ නැති නිසා. 

එජාපය තවම ප්‍රශ්න ගොඩක. ඒ ප්‍රශ්නත් එක්ක මහ මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන් වෙයිද?

පාර්ලිමේන්තුව විසුරුවන්න තව මාස දෙකක් විතර තියෙනවනෙ. ඒ මාස දෙක ඇති ප්‍රශ්න ටික විසඳගෙන ජයග්‍රහණය කරා යන්න. තමන්ගෙ වැරදි ගැන ස්වයං විවේචනයක් කරල වැරදි හදාගෙන ඉස්සරහට යන්න හොඳටම කාලය ඇති. ගෝඨාභය මහත්තයට ඡන්දය දුන්න අයගෙන් විසි ලක්ෂයක් විතර තියෙනවා ජාතික ආරක්ෂාවට ඡන්දය දුන්න අය. ඒ අයට දැන් තේරිලා තියෙන්නෙ බොරු බිල්ලො මවලා ආණ්ඩුව පරණ ට්‍රැක් එකටම යනවා කියලා. ඒ අය දිනාගන්න එක අපේ වගකීමක්. දිනාගත්තොත් අපට ජයග්‍රහණය අනිවාර්යයි. 

එජාපයේ සමහර මන්ත්‍රීවරු කියනවා ගෝඨාභය ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස අතර සුසංයෝගය තමයි අනාගත ජනතා කැමැත්ත කියලා. මෙය ඡන්ද ලබාගන්න උප්පරවැට්ටියක්ද?

ඒක හොඳ සංකල්පයක්. මේ රටේ පවුල් වාදයට විරුද්ධව හැමෝටම එකතු වෙන්න පුළුවන් තැනක්නෙ. ඒ නිසා හොඳ සංකල්පයක්. 

ජනාධිපතිවරයා යම් යම් තීන්දු තීරණ කිහිපයක් පහුගිය කාලෙ ගත්තා. ඒ දේවල් එක්ක ඔබට හිතෙන්නෙ මොකක්ද අලුත් ජනාධිපති ගැන?

එතුමා කරන හොඳ වැඩවලට අපි සහයෝගය දෙනවා. එතුමා හොඳ වැඩ ගණනාවක් කළා. හැබැයි අපේ පක්ෂයෙ සමහර මෝඩයො කියනවා ජනවාරි 3 වැනිදා එතුමාගේ රාජාසන කතාව පරාජය කරන්න කටයුතු කරන්න ඕනෙ කියලා. මම නම් පැහැදිලිව කියනවා මම රාජාසන කතාවට පක්ෂව ඡන්දය දෙනවා. රාජාසන කතාව කරලා තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා ජනතාවට සේවය කරන්න තියෙන අවස්ථාවට අකුල් හෙළනවා නම් ඒක සම්පූර්ණ වැරදි වැඩක්. ජනමතය ඔළුගෙඩිවලින් වෙනස් කරන්න බෑ. ඒ බව අපි තේරුම් ගන්න ඕනෙ. විශේෂයෙන් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එතුමා දේශපාලනයේ නොහිටපු කෙනෙක් හැටියට බරපතළ තීන්දු තීරණ කිහිපයක් ගන්න. ඒ බරපතළ තීන්දු අනිවා ර්ය‍ෙයන් ගත යුතුයි. ඒ දැඩි තීන්දු වෙනුවෙන් කකුල් දෙකෙන්ම හිටගෙන සහයෝගය ලබා දෙන්න මම සූදානම්. 

ඔබ අර්ථ ගැන්වුවා ඔබේ පක්ෂයෙ සමහර අය මෝඩයො හැටියට. එහෙම පිරිසක් එක්ක ගමනක් යන්න පුළුවන්ද?

ජනතා ඡන්දයෙන් එන්නෙ නැතුව ජාතික ලැයිස්තුවෙන් එන අයට ජනතා මතය ගැන දැනීමක් නෑනෙ. ජනමතයට ගරු කරන්න ඕනෙ කියලා වගකීමකුත් නෑ. ඉතින් ඒ නිසා එවැනි කතා කියනවා. මොකද ඊළඟ පාරත් ජාතික ලැයිස්තුවෙන් එන්න.


 ගයාන් ගාල්ලග