ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර තමන්ට නියමිත වැටුප අඩකින් අඩුකර ගැනීමට ගනු ලැබූ තීන්දුව අපගේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් පසුගිය සතියේ හෙළිදරව් කළෙමු. ඒ මතු නොව එතෙක් එකී ධූරයට හිමිව තිබූ නිල වාහන හතරෙන් එකක් පමණක් තමන් සඳහා වෙන්කර ගැනීමටත් එසේම නිල නිවෙස භාවිතයට නොගෙන සිටීමටත් ඔහු තීරණය කර ඇති බවද අපගේ ප්‍රවෘත්තියේ සඳහන් විය. ඒ සමඟම ජනාධිපති ප්‍රධාන උපදේශක ධූරයට පත් කරනු ලැබූ ලලිත් වීරතුංග මහතා වැටුප් ලබාගැනීමකින් තොරවම තම රාජකාරි ඉටු කිරීමට තීරණය කර තිබේ. නිල වාහන එකක් පමණක් රාජකාරි කටයුතු සඳහා භාවිත කිරීමටද ඔහු තීරණය කර ඇතැයි සඳහන්ය.
ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ලලිත් වීරතුංග යනු මේ රටේ ප්‍රධානම නිලධාරීන් දෙදෙනෙකි. ජයසුන්දර මහතා මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේ භාණ්ඩාගාර ලේකම් ධූරය ඉසිලූ අතර ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් ධූරය දැරීය. ඔවුන් දෙදෙනාම ඒ කාලයේද ඉතා බලවත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු වුවද තමන් සතු හැන්දෙන් තමන්ටම බෙදාගත් නිලධාරීන්ගේ ගණයට කවදාවත් වැටුණේ නැත. තම රාජකාරි ඉටුකිරීමේ කෘතහස්තභාවය සම්බන්ධයෙන් ඔවුන් කෙදිනකවත් ප්‍රශ්න කිරීම්වලට ලක්වූයේ නැත. ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී නම් ඒ සියල්ල පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ පහත් චේතනාවල ප්‍රතිඵලයක් පමණක් වූ බවටද මත පළ වී තිබිණි.
තමන්ට ලැබෙන වැටුප් සහ වරප්‍රසාද අඩුකර ගැනීමට තමන් විසින්ම තීන්දු කිරීමට තරම් පිටකොන්දක් සහ නිහතමානී බවක් කෙනකුට පිහිටන්නේ ඉතා කලාතුරකිනි. ඒ අතින් මේ නිලධාරීන් දෙදෙනාම රටටම පෙන්වා දී ඇත්තේ විශිෂ්ට වූ ආදර්ශයක් බව පැවැසීමට අපි මොහොතක් හෝ නොපැකිලෙමු.
ජනාධිපතිවරණයකින් ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක පසුපස සෙවණැල්ලක් මෙන් සිටි නිලධාරීන් දෙදෙනකුට තමන් කැමති නම් ලබාගත නොහැකි කිසිදු තනතුරක්, වැටුපක් හෝ වරප්‍රසාදයක් නැත. ඒ බව රටේ මෙතෙක් පැවැති දේශපාලන සම්ප්‍රදාය විසින් රටටම පෙන්වා දී තිබේ. ඔවුන් දෙදෙනා අතහැර දමා ඇත්තේ තම අතේ තිබූ එම වරප්‍රසාදයි. එවැනි රටට ඔරොත්තු නොදෙන වියදම් සිදු කරන සහ වරප්‍රසාද භාවිත කරන දේශපාලනඥයන් පමණක් නොව නිලධාරීන් වුවද ජනතාවගේ ප්‍රබල විරෝධයට ලක්වීම නියතයකි. එහි ඊළඟ අවධිය වන්නේ එම විරෝධය ආණ්ඩුවට එල්ල වීමය. ඒ අර්ථයෙන් අතීතය පහසුවෙන්ම අමතක කර දමන දේශපාලනඥයන්ට මේ නිලධාරීන් දෙදෙනා විසින් හරි පාර පෙන්වා දී තිබේ. රාජ්‍ය ඇමැතිවරුන්ට තමන් සතු විෂයයන්ගෙන් එකක් හෝ පැවරීමට තරම්වත් හිත හදාගැනීමට නොහැකිව සියල්ල බදාගෙන සිටින කැබිනට් ඇමැතිවරැන්ටද මෙය වටිනා පාඩමක් බවද පෙන්වා දීමට කැමැත්තෙමු.
අද මේ රටේ ආර්ථිකය පවතින්නේ හිතේ හැටියට වැටුප් සහ වරප්‍රසාද භුක්ති විඳිය හැකි මට්ටමක නොවන බව යන්තම් අකුරක් දෙකක් හෝ කියවා තේරැම් ගැනීමට පුළුවන් අය පවා දැන සිටිති. මේ බව පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන කරළියේ කරක් ගැසූ මැති ඇමැතිවරැන් නොදැන සිටීමට හේතුවක් නැත. එසේම රාජ්‍ය තන්ත්‍රයේ බොහොමයක් ආයතනවලින් රටට ලැබෙන්නේ පාඩුවක් මිස ලාභයක් නොවන බවද ඒවා පාලනය කළ දේශපාලන ලොක්කන් මෙන්ම පාලනාධිකාරීන් වශයෙන් කටයුතු කළ නිලධාරීන්ද දැන සිටිය යුතුය. රාජ්‍ය ආයතන පමණක් නොව රටද ගොඩදැමීමට නම් මේ සියලු දෙනාම කැපකිරීම් කළ යුතු වෙයි.
පටි තද කරගත යුත්තේ රටේ මහජනතාව පමණක් නොවේ. එන එන ආණ්ඩුව කියන කියන විදියට පටි තදකර ගැනීම හේතුවෙන් සාමාන්‍ය පොදු මහජනතාවගේ පටි ඇත්තේ බඩටම ඇලිලාය. ඔවුන්ට තවත් තදකර ගැනීමට පටියක් නැත. බඩක්ද නැත. එබැවින් පාලනයක් ඇතිව සියලු දේ කළ යුතු බවට ආදර්ශය සැපයිය යුත්තේ නැතහොත් සියල්ලටම කලින් පටි තද කරගත යුත්තේ ලොකු ලොක්කන් විසින් බව අවිවාදිතය. ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ලලිත් වීරතුංග මහත්වරැන් තම වැටුප් සහ වරප්‍රසාද කැප කරමින් පෙන්වා ඇත්තේ එම යථාර්ථයයි.
රජයේ සියලු නිලධාරීන් වැටුප් අඩකින් අඩුකර ගැනීම හෝ වැටුප් ගැනීමකින් තොරව සේවය කිරීම හෝ කළ යුතු යැයි එම පියවර මගින් කියැවෙන්නේ නැත. එයින් පෙන්වා දී ඇත්තේ අවශ්‍ය නොවන සියලු වියදම් කපා දැමිය යුතු බවය. එසේම තනතුරට අදාළ නොවන කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාදයක් හෝ බලාපොරොත්තු නොවිය යුතු බවය. රජයේ කුමන නිලධාරියකුට වුවද නිල වාහන හතරක් තිබිය යුතු නැත. එසේම රැපියල් ලක්ෂ හතරක පහක වැටුපක් දීමනාද ඇතුළුව ලබාගැනීමද අපරාධයකි.
හිටපු ජනාධිපති ලේකම්වරයා විසින් ලබාගන්නා ලද ලක්ෂ පහකට ආසන්න වැටුප සහ නිල වාහන හතර ඔහු වෙනුවෙන් අනුමත කර දුන්නේ කවුදැයි දැන් සෙවීමෙන් පළක් නැත. ඒ වෙනුවට ගත හැකි හොඳම පියවර කුමක්දැයි ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ලලිත් වීරතුංග මහත්වරැන් විසින් පෙන්වා දී තිබේ. සෙසු මහත්වරැන්ටද තෝරාගත හැකි මාර්ග දෙකක් තිබේ. එකක් නම් පී.බී. සහ ලලිත් පෙන්වා දී ඇති හරි පාරේ යමින් රාජ්‍ය ආයතනත් රජයත් ගොඩගැනීමට කැපවීමය. නැතහොත් ෂයිලොක් න්‍යාය අනුගමනය කරමින් මස් රාත්තලම ඉල්ලන වැරදි පාරේ යාමය. වඩාත් උචිත මාර්ගය කුමක්දැයි වටහාගැනීම අසීරැ වන්නේ හොර තක්කඩින්ට පමණක් බව අපගේ වැටහීමය.