2020 ජනවාරි 04 වන සෙනසුරාදා

ගමනක මුල

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

රාජාසන කතාව ඕනෑම රාජ්‍ය නායකයකුට අතිශය වැදගත් කටයුත්තකි. දේශපාලන කරළියේ කිසි දිනෙක දේශපාලන භූමිකාවක් ඉටු නොකළ, රාජ්‍ය පාලනයට නවකයකු වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එම අවස්ථාව සුවිශේෂී වැදගත්කමක් තිබුණි. කොතරම් සුවිශේෂී වුවද ජනාධිපතිවරයා තමන් ධුරයට පත්වූ අවස්ථාවේ සිටම රටට පෙන්වා දී ඇති තම පාලන ක්‍රමයේ වෙනස එලෙසම රැකගෙන සිටි බව එහිදී පෙන්වා දීමට සමත් විය.

නව සැසිවාරය විවෘත කරමින් රාජාසන කතාව පැවැත්වීම පාර්ලිමේන්තුවේ විශේෂ රාජ්‍ය උත්සව අවස්ථාවකි. එම උත්සවයේ තිබිය යුතු ගාම්භීරත්වය මෙතෙක් රැකගෙන ආ ත්‍රිවිධ හමුදා උත්තමාචාරයට අයත්වන ආචාර පෙළපාළිය, ආචාර වෙඩිමුර, අශ්වාරෝහක බල ඇණි ආදී අංග කිසිවක් මෙවර නොතිබිණි. බාහිර සැරසිලි කිසිවක්ද නොවීය. සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේදී කිසිදු හමුදා උත්තමාචාරයක් තමන්ට අවශ්‍ය නැති බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කළ දැනුම්දීමකට අනුව චාම් උත්සවයකට එය සීමාවිය. සැසිවාරය විවෘත කරමින් තම රාජාසන කතාව පැවැත්වූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තබා එදින සභාවාරය අවසන් කළේය. ඉන්පසුව තේ පැන් සංග්‍රහයට සහභාගි වෙමින් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සහ දෙමළ සන්ධාන නායකයන් සමඟ අදහස් හුවමාරැ කර ගත්තේය.

පාර්ලිමේන්තුවේ පැවැති රාජ්‍ය උත්සවයක් හේතුවෙන් ගෝඨාභය මහතාට තම සුපුරුදු අත්කොට කමිසය සහ කලිසමෙන් යුත් ඇඳුමින් සැරසී පැමිණීමට ඉඩක් තිබුණේ නැත. පාර්ලිමේන්තුවට පැමිණීමේදී ජනාධිපතිවරයාගේ ඇඳුම කුමක් විය යුතු දැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් කර තිබුණේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙනි. රාජාසන කතාව පැවැත්වීම සඳහා පැමිණ අසුන් ගැනීමේදී නියමිත නිල ඇඳුමක් නැති බවද එහෙත් මාස 03කට වරක් පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භය තුළ අසුන් ගන්නේ නම් එවිට සම්පූර්ණ ඇඳුමින් සැරසී පැමිණිය යුතු බවද එහිදී දැනගන්නට ලැබිණි. කෙසේ වුවද ජනාධිපතිවරයා තෝරාගෙන තිබුණේ කළු පැහැ යුරෝපීය ඇඳුම් කට්ටලයයි. තද රතු පැහැ ටයි පටියකින්ද සැරසී සිටි ගෝඨාභය මහතා තම රාජාසන කතාවේ මුල විනාඩි කිහිපය රාජපක්ෂ පරපුරේ දේශපාලන ඉතිහාසය සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කිරීමට වැය කළේය. රාජපක්ෂ දේශපාලන භූමිකාව තුළ කුරහන් සාටකයට හිමිව ඇති ඓතිහාසික වැදගත්කම ගැනද සඳහන් කළ ජනාධිපතිවරයා තමන් කුරහන් සාටකය පැළඳ නොසිටියත් එම සාටකය තුළින් පිළිබිඹු වන ප්‍රතිපත්ති රුකගැනීම සඳහා කැප වී සිටින බවද සඳහන් කළේය. ප්‍රතිපත්ති සහ සැලසුම් පිළිබඳ කතා කිරීම ඇරැඹුවේ ඉන්පසුවය.

රටේ දේශපාලනය හැසිරවීමට මින් ඉදිරියට රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාන කිසිවකුටත් ඉඩක් නොතබන බව රටේ බහුතර ජනතාව ඔප්පු කර ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. සුළු ජාතික පක්ෂ සමඟ එකතු වී ආණ්ඩු පිහිටුවීමට ඔහු තුළ පවතින දැඩි නොකැමැත්ත එයින් පැහැදිලි වෙයි. කෙසේ වුවද ජාතීන් අතර භේද වපුරනවා වෙනුවට එකට එක් වී ජාතිය ගොඩනැගීමේ කාර්යයට එකතුවෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.

 

සම්පන්දන් හා ජනපති අතර දෙබස

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජාසන කතාව පැවැත්වීමෙන් පසුව සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයට ටී.එන්.ඒ. නායක ආර්. සම්පන්දන් මහතා ද සහභාගී වී සිටියේය. එහිදී ජනාධිපතිවරයාට සුබපැතීම සඳහා එක් වූ සම්පන්දන් මහතා ජනාධිපතිවරයාගේ දෑත් අල්ලාගෙන සුළු කතාබහක නිරතව සිටිනු දැකිය හැකි විය. එහිදී ඇති වූ දෙබස මෙසේ විය.

- සම්පන්දන් මහතා

ජනාධිපතිතුමා ඔබතුමා තමයි දකුණේ සිංහල ජනතාවගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නායකයා. මම උතුරේත් නැගෙනහිරත් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නායකයා. අපි දෙන්නා එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයමු.

- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

හොඳයි..... අපි දෙන්නා වෙනම හම්බවෙලා සාකච්ඡා කරමු.

 

ජනාධිපතිවරයාගේ කථාවේ විශේෂයෙන් සඳහන් වූ කරුණක් වූයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කම් සිදුවිය යුතු බවට කළ ප්‍රකාශයයි. අස්ථාවර පාර්ලිමේන්තුවක් රටට සුදුසු නැති බවද ප්‍රබල විධායක, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීමට ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය බවද ජනාධිපති සඳහන් කර තිබිණි.

තම ප්‍රථම රාජසන කතාවේදීද ඔහු තදින්ම පෙන්වා ඇත්තේ තමන් රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස්කම් සහිත පාලනයක් ගෙන යන බවට පවතින අධිෂ්ඨානයයි. ඔහු ජනාධිපති පදවියේ දිවුරැම් දුන් අවස්ථාවේ සිටම මේ දක්වා එම ස්ථාවරයේ අඛණ්ඩව රැඳී සිටින බව පසුගිය මාස එකහමාරක පාලන කාලය තුළදී පෙන්වා දී තිබේ. මේ තත්ත්වය ඉදිරියේදී කොතරම් දුරකට පවත්වාගෙන යා හැකිද යන්න නම් තේරුම් ගැනීම පහසු නැත.

එසේ කියන්නේ පසුගිය කාලය තුළදී ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ජනතාවගේ කැමැත්තට හේතු වූ ඇතැම් තීන්දු තීරණ ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමැතින් අතරේ එතරම් ප්‍රසාදයට පත් වී නැති වීම හේතුවෙනි. මුලින්ම කැබිනට් මණඩ්ලය 15 දෙනකුට සීමා කිරීම හරහා මහින්ද සමඟ මුලසිටම ක්‍රියාකාරීව සිටි ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට ඇමැති පදවි ලැබුණේ නැත. ඔවුන්ට පසුව රාජ්‍ය ඇමැති පදවි ලබා දුන්නත් ඒවාට අදාළ විෂයයන්, ආයතන සහ කාර්යාල පහසුකම් ලබාදීමට කැබිනට් ඇමැතිවරුන් වැඩි දෙනෙක් පස්ස ගහමින් සිටිති. ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට මේ බව කියමින් ඇමැතිවරුන් පසුපස යාමද කළ නොහැකිය. ඔවුන්ට තමන් මුහුණ දෙන ගැටලු කියන්නට සිදුවන්නේ අගමැති මහින්දටය. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී තම පක්ෂ සන්ධානය අපේක්ෂා කරන මට්ටමේ ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගැනීමට නම් මේ සියලු ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය ලබාගත යුතු බව මහින්ද හොඳින්ම දැන සිටියි. ඒ ඔහු හොඳට තෙම්පරාදු දේශපාලන නායකයකු වන බැවිනි.

එහෙත් ගෝඨාභය ජනාධිපතිවරයා දේශපාලනඥයෙක් නොවේ. ඔහු තම ප්‍රථම රාජාසන කතාවේදීම තමන් හමුදා නිලධාරියකු වශයෙන් වසර 20ක්ද ආරක්ෂක ලේකම් වශයෙන් වසර 10ක්ද කටයුතු කළ බව ප්‍රකාශ කිරීමද මෙහිදී සැලකිල්ලට ගත යුතු වෙයි. හමුදා නිලධාරියකු සැමවිටම විශ්වාසය තබන්නේ බාරදෙන වැඩක් තිතටම ඉටුකරන නිලධාරීන් කෙරෙහිය. එයට දේශපාලනය අදාළ වන්නේ නැත. වඩාත් අදාළ වන්නේ විශ්වාසයයි. එසේම ජනාධිපතිවරයා වංචාවට, දූෂණයට එරෙහිව තදින්ම පෙනී සිටියි. ඔහු ඒ බව තම රාජාසන කතාවේදීද පැහැදිලිව සඳහන් කළේය. මේ සියලු කරුණු එකට ගැට ගැසෙන විට රටේ පුරුදු දේශපාලන ගනුදෙනුවලට ඉඩක් නැතිවනු ඇත. ඒවාට සම්බන්ධ වන මැති ඇමැතිවරැන්ටද මේ සම්බන්ධයෙන් දැල්වී ඇත්තේ තද රතු එළියකි.

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී පවා මතභේද හටගැනීම මේ තත්ත්වය පිළිබඳ තවත් ප්‍රබල සංඥාවකි. මෙයට ආසන්නම සිද්ධිය වන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත්කරනු ලැබූ නිලධාරියකුට දින දෙකතුනක් තුළදී එම තනතුර අහිමිවීමය. දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් නොකිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ඇති තීරණයට පටහැනිව එම පත්වීම සිදුකර තිබීමෙන් තනතුර අහෝසි කර ඇතැයි ප්‍රකාශ විය. එම තනතුර අහෝසි කළ බවට ජනාධිපති ලේකම්ට දැනුම්දිය යුතු බවටද ආයතනයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ. මේ තනතුර ලබාදීමට මුල් වූ ඇමැතිවරයා මෙහිදී නොසතුටට පත්වන බව පැහැදිලිය. එසේම තනතුර අහිමි වූ තැනැත්තාද එහෙ මෙහෙ කැරකැවෙමින් සිට අවසානයේදී කිට්ටු වීමට උත්සාහ කරන්නේ අග්‍රාමාත්‍යවරයා ළඟට බවද පැහැදිලිය. නමුත් මේ පත්වීම සිදු කිරීමට පෙර අදාළ අමාත්‍යවරයා ජනාධිපතිගේ නිර්ණායක පිළිබඳව හොඳ අවබෝධයකින් පසුවූයේ නම් මේ වැරුද්ද ඔහු අතින් සිදුවීමට ඉඩක් නැත. මෙවැනි ප්‍රශ්නවලදී ජනතාව සිටගන්නේ ජනාධිපතිවරයා සමඟ බව මේ සියලුදෙනාට වැටහීමක් තිබිය යුතුය.

ඊළඟට ඇමැතිවරැන්ටද සීමා කිරීම් පනවා තිබේ. ඔවුන්ට පෙරදී සිදුකළාක් මෙන් හිතූමතේට වාහනයේ කාර්යාල ගොඩනැගිලි හෝ මිලට ගත නොහැක. සමීප ඥාතීන් කාර්ය මණ්ඩලවලට බඳවා ගැනීමටද අවසර නැත. පිටරට ගමන් සම්බන්ධයෙන්ද දැඩි ලෙස සීමා පැනවීම් තිබේ. රට මුහුණදී සිටින ආර්ථික අසීරුකම් හේතුවෙන් නාස්තිකාර වියදම් අවම කර ගැනීමට මෙවැනි පියවර අනුගමනය කරන බවද ප්‍රකාශ වී තිබේ. සියලු මැති ඇමැතිවරැන් මේ නීති, සීමා කිරීම සම්බන්ධයෙන් මහා වැටහිමකින් ක්‍රියා කිරීම අවශ්‍යය. නැතහොත් සිදුවන්නේ අනවශ්‍ය ගැටුම්වලට ආණ්ඩුවට මුහුණදීමට සිදුවීමය.

මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයා තම පාලනය ප්‍රබලව ස්ථාවර කර ගනිමින් සිටින බව නම් පැහැදිලිය. ගෝඨාභය ජනාධිපතිවරයා මේ කෙටිකාලය තුළදී ජනතාවගේ ප්‍රසාදයට හේතුවන තීරණ රුසක් ගෙන තිබීමත් ඒවා ක්‍රියාත්මක වනු දැකීමත් ජනතාවගේ විශ්වාසය උපරිමව දිනා ගැනීමකි. මැති ඇමැතිවරැන්ට අලුත් වාහන, ගොඩනැගිලි, රට ගමන් සීමා පැනවීම රටේ මහජනතාවගේත් දැඩි ප්‍රසාදයට හේතු වී තිබේ. එය අලුත් දේශපාලන ගමනක ආරම්භය බව ඔවුන්ගේ පොදුමතය බවද පෙනෙන්නට තිබේ.

ආණ්ඩුව එසේ ශක්තිමත් වනවිට යූ.එන්.පී. ප්‍රමුඛ විපක්ෂය සිටින්නේ අතරමං වූ ස්වභාවයකිනි. එයට ලොකුම හේතුව යූ.එන්.පී.ය තුළ පවතින නායකත්ව අර්බුදයට තවම විසඳුමක් නොමැති වීමය. ඉන්දියාවේ වර්ෂාවසාන නිවාඩුව ගත කළ රනිල් යළි පැමිණියායින් පසුව ගැටලුව විසඳීමට පාර කැපෙනු ඇතැයි පසුගිය සති අන්තය වනවිට ප්‍රකාශ වී තිබිණි. මේ හේතුවෙන් යූ.එන්.පී. මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමද උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සඳහන් විය. එහෙත් ඒ කිසිවක් සිදුවූයේ නැත. නායකත්ව අර්බුදයට රනිල් ගෙන ආ විසඳුම වී ඇත්තේ දැන් වසර ගණනාවක් තිස්සේම කියැවෙන නායකත්ව මණ්ඩලයක් පත් කිරීම පමණි. එයට කරු, සජිත් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුද සෙසු පක්ෂ නායකයන්ද එකතු වනු ඇතැයි වරින්වර ප්‍රකාශ විය. එහෙත් මෙවරද සිදුවූයේ ඒ සදහා කරුගේ කැමැත්තක් නොමැති වීමය. සජිත් ප්‍රකාශ කරන්නේ තමන් නායකත්වය පිළිබඳ ස්ථාවරය ප්‍රකාශයට පත්කර ඇති නිසා නැවත ඒ ගැන කතා කිරීම නිශ්ඵල බවය. මේ ගැටලුව විසඳා ගන්නාතුරැ සෙසු පක්ෂ නායකයන් කතා කරන්නේ නැත.

සජිත්ට විපක්ෂනායක ධුරය නිල වශයෙන් ලැබුණේ සිකුරාදා (03) ජනපතිගේ රාජාසන කතා නව සැසිවාරය ආරම්භ වීමත් සමඟිනි. කෙසේ වුවද මේ ධුරයට පැවැත්ම ඇත්තේ තව මාස 03ක් පමණි. පාර්ලිමේන්තුව හැකි පළමු දවසේම විසුරැවන බව ප්‍රකාශයට පත්වී ඇති බැවින් එහිදී තනතුරැද අහෝසි වෙයි. ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණයේදී ආණ්ඩුව දැනටම ඉන්නේ ඉතාම ඉදිරියෙනි. යූ.එන්.පී.ය මේ තත්ත්වයෙන් ඡන්දයට යන්නේ නම් එසේ යා යුත්තේ දරුණු පරාජයක් අතේ තබාගෙන බව පැහැදිලිය. පක්ෂයේ අභ්‍යන්තර ගැටුම ඉවරයක් කර නොගෙන ඡන්දයට යාම අත් බැඳගෙන ගඟට පැන්නාට දෙවැනි නොවනු ඇත.

ඒ අතරේ ආණ්ඩුව ඇතුළේ පවතින ලකුණු පිළිබඳ ගැටුමද අවසන් වනු ඇත්තේ පොහොට්ටුවට ජය අත්කර දෙමින් බව පැහැදිලිය. මෙයට එරෙහිව යන ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ට දේශපාලනයෙන් සමුගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

  ශශීන්ද්‍