එකම දවසේ ලෝක බලවතුන් තුනක් ශ්‍රී ලංකාවේ
ශ්‍රී ලංකාව පසුගිය 4 වැනිදා තම විදේශ සබඳතා වංශ කතාවේ සුවිශේෂ කඩඉමක් පසුකිරීමට සමත් විය. ලොව බලවත්ම රාජ්‍යයන් තුනක් නියෝජනය කරමින් පැමිණි ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනකු එකම දිනයකදී මෙරට රාජ්‍ය නායකයන් මුණගැසීම එම කඩඉම විය. ඉන්දීය සාගර කලාපය තුළ කටයුතු කෙරෙහි තරගකාරී උනන්දුවක් දක්වන අමෙරිකාව, රැසියාව සහ චීනය එම රටවල් තුනයි.
අමෙරිකාව නියෝජනය කරමින් දකුණු සහ මධ්‍යම ආසියානු සබඳතා පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වෙල්ස්, රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රෝව් සහ චීන විදේශ ඇමැති වැං යී තිදෙනාම පසුගිය 14 වැනිදා කොළඹට පැමිණීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එදින කාර්යබහුල දිනයක් වී තිබිණි. එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ට ද ඔවුන්ගේ නිලධාරීන්ට ද එදින වැඩ අධික වූ දිනයක් විය.
මේ රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනාම ශ්‍රී ලංකා රජය සමඟ දැඩි සහයෝගීතාවක් පවත්වාගෙන යාමට තම රටවල් තුළ පවතින ඕනෑකම දැනුම් දුන්හ. ආර්ථික සබඳතා, ආරක්ෂක කටයුතු සඳහා සහයෝගය, ත්‍රස්තවාදය මර්දනය කිරීම සහ තම තම රටවල්වලට පමණක් බලපාන ගැටලු සම්බන්ධව ද සාකච්ඡා කරනු ලැබීය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ඇලිස් වෙල්ස් මහත්මිය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එවා තිබූ ලිපියක් ද බාරදෙන ලදී. බලයට පැමිණ මාස දෙකක් පමණක් ගත වී තිබුණත් ශ්‍රී ලංකා රජය සමඟ නව සබඳතා ඇතිකර ගැනීමට අමෙරිකාව උනන්දු වීම වැදගත් සංකේතයක් විය.
- ඩේලි මිරර්