හනුමා ගිනි තිබ්බා වගේ රන්ජන් රමනායකගේ හඬපට සිද්ධිය සටපට ගා මුළු දේශපාලන කරළියම වෙළාගෙන සිටී. මුලින් දේශපාලනඥයන්ගෙන් පටන්ගත්තත් ඒ සමඟ එය අධිකරණ පද්ධතිය දෙසට හැරැණේ විනිසුරුවරුන් තිදෙනකුගේ නම් ගම් එම හඬපටවලට ඈඳීම හේතුවෙනි. එහි අලුත්ම තත්ත්වය මතු වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (23) සවස්වරුවේය.
රන්ජන්ගේ හඬපටවලින් නම් සඳහන් විනිසුරුවරුන් තිදෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා උපදෙස් දී තිබුණේ ඊට දින කිහිපයකට ප්‍රථමයෙනි. ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කෙරිණි. ඉන්පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අධිකරණ සේවා කොමිසම රැස් කරනු ලැබීය. නිල බලයෙන් එහි සභාපති වන්නේ අග්‍රවිනිශ්චයකාරවරයාය. ඒ අනුව අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොමිසම සිය නිර්දේශය ජනාධිපතිවරයා වෙත දන්වා යවනු ලැබීය. ඉන්පසුව ගිහාන් පිලපිටිය මහතාගේ වැඩ තහනම් කෙරිණි.
වැඩ තහනම ක්‍රියාත්මක වීමෙන් දින දෙකකට පසුව නීතිපතිවරයා විසින් මහාධිකරණ විනිසුරැ ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදීමත් සමඟ මේ සමස්ත සිදුවීම වඩාත් සංකීර්ණ තත්ත්වයට හැරී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට කලින් කියා තිබුණේ මේ හඬපට සිදුවීමෙන් අධිකරණයට සිදු වී ඇති හානිය නැතිකර ගැනීමට කටයුතු කළ යුතු වන්නේ අගවිනිසුරැ විසින් බවය. කෙසේ වුවද එම කටයුතු සිදුවෙමින් තිබියදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් නිකුත් වීම අධිකරණ ක්ෂේත්‍රය තුළ කිසියම් කම්පනයක් ඇති කර තිබේ. එයට විරෝධය දක්වමින් නීතීඥයන් පිරිසක් සිකුරාදා (24) විරෝධතාවය ද නිරත වී සිටියහ.
නීතීපතිවරයා විසින් අදාළ උපදෙස් නිකුත් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතාගේ හඬපට තුළින් අනාවරණය වන අන්දමට ඔහු අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතුවලට මැදිහත් වන බවක් පෙනෙන්නට ඇති බවක් මෙන්ම විනිසුරු ගිහාන් පිලපිටිය මහතා රන්ජන් රාමනායක මහතා හා එක්ව බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළ බව විමර්ශන වාර්තා අනුව පෙනී යන බව දැනුම් දෙමිනි. රන්ජන් රාමනායකට සහ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව වෙනම නඩු කටයුත්තක් ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවද සඳහන්ය.
එය එසේ වුවද මේ සටහන තබන තුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සිදු වූයේ නැත. ඒ සඳහා වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කරන බවක් හෝ දැනගන්නට නොතිබිණි. ඒ වෙනුවට පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරන ලද කෙටි නිවේදනයක සඳහන් වූයේ අදාළ කටයුතු අධ්‍යයනය කර නිර්දේශ ලබාගැනීමට වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරැන් තිදෙනකු ඇතුළු පස් දෙනකුගෙන් සමන්විත විශේෂිත කමිටුවක් පත්කර ඇති බවය. එම කමිටු වාර්තාව කවදා ලබාදෙනු ඇතිදැයි එහි සඳහන්ව නොතිබිණි.
ඒ අතර සමහරුන්ගේ මතය වී තිබෙන්නේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ පත්වීම් බලධරයා වන ජනාධිපතිවරයා හෝ දැනුම්වත් නොකර පොලීසියට මෙවැනි උපදෙස් නිකුත් කළේ මන්දැයි මුලින්ම සොයාබැලිය යුතු බවය. එසේම පොලිස්පති විසින් පත්කරන ලද කමිටුව නීතිපතිට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ගයක් බවට සමහරු අර්ථකථනය කරති. කෙසේ වුවද රන්ජන් රාමනායකගේ හඬපට සම්බන්ධයෙන් සිදුවන කිසිදු විමර්ශනයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. එය ඔහුගේ පාලන ක්‍රමයේ අනන්‍යතාව රුකීමේ පියවරක් දැයි කීම නම් අපහසුය.
රන්ජන්ගේ හඬපට ළැව් ගින්නක් සේ පැතිර යද්දී එය වාසියක් බවට හරවාගෙන ඇත්තේ යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ මහතා බව නම් පැහැදිලිය. රන්ජන්ගේ හඬපට වැඩේ එළියට ඇදෙද්දී රනිල් සිටියේ නායකත්ව අර්බුදයේ පතුළටම ගිලෙමිනි. ඔහුගෙන් නායකත්වය සජිත්ට ලබාදීමට සජිත්ගේ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨයන් දැඩිව තම සටන දියත් කර සිටියදී රන්ජන්ගේ හඬපට රනිල්ට වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත් විය. එතෙක් යූ.එන්.පී අර්බුදයය වෙත නැඹුරු වී තිබූ රටේ අවධානය රන්ජන් විසින් එකවර පැහැර ගැනීමත් සමඟ කාලය මැන හරිතැනට පහර එල්ල කිරීමට අතිදක්ෂ නායකයකු වන රනිල්ට අවශ්‍ය කාලය ලැබුණි. ඔහු රටේ අවධානය රන්ජන් හඬපට වෙත යොමුවෙද්දී හොඳහැටි හෝම්වර්ක් කර තිබූ බව සජිත්ලාගේ පාර්ශ්වය දැඩි ලෙස නිහඬ වීමෙන් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.
සජිත්ට නායකත්වය නොලැබුණොත් වෙනම පක්ෂයක් හෝ සන්ධානයක් හෝ හදන තරමට හඬක් නගමින් සිටි සජිත්ගේ පාර්ශ්වය දැන් ප්‍රකාශ කරන්නේ තමන් පක්ෂයේ රැඳී සිටිමින් එහි නව සන්ධානයක් ගොඩනගා මහ මැතිවරණයට තරග කරන බවය. එසේම දැන් කියන්නේ කරු ජයසූරිය මැදිහත්කරුවකු වශයෙන් පිළිගැනීමට සජිත් පාර්ශ්වය ද අකැමැත්තක් නැති බවය. තමන් නායකත්වයෙන් යාමට සූදානම් යැයි මීට පෙර රනිල් කියූ කතා දැන් අසෙන්නේ නැත. ඒ වෙනුවට දැනගන්නට ඇත්තේ කෘත්‍යාධිකාරී කමිටුවේ පුරප්පාඩු ලබන සතිය වනවිට පුරවා එය කැඳවා පවත්වන ඡන්දයකින් නායකත්වය පිළිබඳව තීරණයක් ගැනීමට රනිල් සූදානම් වෙන බවය. ඒ සමඟ සජිත්ට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර යළි ලබාදී සන්ධානය මෙහෙයවීමේ වගකීමද බාර දෙන බවත් සඳහන් වෙයි. නමුත් කරු ජයසූරිය පක්ෂයේ නායකත්වයට පත් කෙරෙනවාද නැතහොත් රනිල්ම පක්ෂ නායකයා වශයෙන් සිටිමින් කරැ නායකත්ව මණ්ඩලයේ හෝ සන්ධානයේ හෝ ප්‍රධානියා කරනවාද යන්නත් පැහැදිලි නැත. සියල්ලම ගැන ඇත්තේ කටකතා සහ කසුකුසු පමණි.
ඒ අතර පැහැදිලිව පෙනෙන වෙනසක් ඇත්තේ සජිත්ගේ හැසිරීමෙහිය. ඔහු දැඩි නිහඬ බවක ගිලී සිටියි. එය දේශපාලන උපක්‍රමයක් ද යන්න පැහැදිලි නැත. එහෙත් ඔහුගේ නායකත්වය වෙනුවෙන් සටන් කළ සෙසු ජ්‍යෙෂ්ඨයන්ද මේ වනවිට පසු පාදයට වැටී සිටින බවක් පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායමෙන් තුනෙන් දෙකකටත් වැඩි කැමැත්තක් ඇතිව මන්ත්‍රීවරුන් සිටින ඔවුන්ට සජිත් නායකයා ලෙසට පත් කරන්නැයි දැනට වඩා හඬක් නැගිය නොහැක්කේ මන්දැයි සමහරැ ප්‍රශ්න කරති. වැඩිදෙනකු දැන් කියන්නේ නායකයා වෙනස් කිරීමේ සැලැස්මේ හුළං බැස ඇති බවය. කොටින්ම රනිල් සහ ඔහුට සහාය දක්වන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිස නායකත්ව සටනින් ජයගෙන තිබෙන බවය. එය එසේනම් සිදුවිය හැක්කේ කුමක්ද?
මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් යූ.එන්.පීය එක්සත් ජාතික පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වීමය. එතැනදී සජිත්ට සහාය දැක්වූ මන්ත්‍රී කණ්ඩායමෙන් වැඩි පිරිසක් දේශපාලන ලෝකයේ අනාථ වන බව ඉතාම පැහැදිලිය. රනිල් නායකයා වශයෙන් සිටිනතාක් ඔවුන්ට නාම යෝජනා ලැබීම ගැනත් සහතිකයක් නැත. එසේ නාම යෝජනා ලැබුණත් පක්ෂයෙන් ලැබිය යුතු වෙනත් සහාය කිසිවක් නොලැබෙන බවත් පැහැදිලිය. එසේ වනවිට සජිත්ගේ කණ්ඩායම දැඩිව කලකිරෙනු ඇත. එවැනි තත්ත්වයක් යටතේ සිදුවිය හැක්කේ ඉතිහාසයේ කවදාවත් නොවූ විරූ ආකාරයකට පැහැදිලි බෙදුම් රේඛාවකින් යූ.එන්.පීය බෙදී යාමය. සමහර විට මන්ත්‍රීන් පිරිසක් පක්ෂය කඩාගෙන වෙනම සංවිධානය වීමටද ඉඩ තිබේ. සජිත් දිගින් දිගටම නිහඬව සිටිමින් සටන අතහැරියොත් ඔවුන් සමඟ පැමිණි පිරිසට කළ හැකි වන්නේ අකැමැත්තෙන් හෝ රනිල්ගේ නායකත්වය සමඟ එකතු වීම පමණි.
තව මාසයකට පමණ පසුව වත්මන් පාර්ලිමේන්තුව විසුරැවා හැරීම නිසැකවම සිදුවෙයි. හරියට බැලුවොත් තව දවස 37කින් (මාර්තු 03 විසුරැවා හැරියොත්) මේ මන්ත්‍රී පට්ටම් සියල්ලේ ආයුෂ ඉවර වනු ඇත.
සජිත්ගේ විපක්ෂ නායක කමද සීමාවන්නේ තව දින 37කට පමණි. රනිල් විසින් ලබා දෙන බව කියන නියෝජ්‍ය නායක පදවිය භාර නොගතහොත් සජිත්ට ඉතිරි වන්නේ හිටපු මන්ත්‍රීවරයකු වශයෙන් ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යාම පමණි.
I ශශීන්ද්‍ර