2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

ගානියා-රන්ජා සහ කොරෝනා

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 138

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සිද්ධිය රටේ මහත් ආන්දෝලනයකට ලක්විය. එය දෙසැම්බර් මාසය පුරාම ප්‍රධාන මාතෘකාවක් වී තිබුණි. එසේම ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර තීරණ ගැනීමේ ප්‍රධාන කාර්යභාරයක් උසුලන ස්විට්සර්ලන්තය සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට යන තත්ත්වයක් පවා පෙනෙන්නට තිබුණත් එය යහපත් අන්දමින් අවසන් කරගැනීමට ආණ්ඩුවට හැකිවිය. ඊළඟට රන්ජන්ගේ හඬපට එළියට ආවේය.

රන්ජන් හඬපට රටේම ප්‍රධාන මාතෘකාව බවට පමණක් නොව රසවත්ම කටගැස්ම බවට ද පත්විය. මුලින් රන්ජන්ගේ හඬපට රටේ දේශපාලනය, මාධ්‍ය පමණක් නොව අධිකරණය පවා හෙල්ලුම් කැවීමට සමත් විය. ආණ්ඩුව ද විපක්ෂයට එරෙහිව අවි අමෝරන්නට එයින් අවස්ථාවක් පාදා ගත්තේය. එහෙත් රන්ජන් සිරගත වී සිරගෙදර සිට පාර්ලිමේන්තුවට පැමිණි කළ කතාවත් සමඟ තත්ත්වය වෙනස් වී ගියේය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකටම කට වසාගෙන සිටීමට සිදුවන තරමට හඬපට කතා දුරදිග ගියේය. දැන් රන්ජන් හිරගෙදර හුදෙකලා වී සිටී. ආණ්ඩුව හෝ විපක්ෂය හෝ ඒ ගැන කතාවක් නැත. හැබැයි ජනතාව අතර නම් කතාව යටපත් වුණේ නැත. ජනතාව වෙනස් වුණේ චීනය නිසාය.

චීනයේ කොරෝනා වෛසරය දැන් මුළු රටේම අවධානය එකම දිශාවකට හරවන්නට තරම් ප්‍රබල විය. එය රටට පමණක් නොව ලෝකයටම බරපතළ ව්‍යසනයක් වන ලකුණු පහළ වෙමින් තිබියදී ජනතාවට ද රටේ සෙසු ප්‍රශ්න අමතක විය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම දැන් එල්ලී සිටින්නේ කොරෝනා වෛරසයේය. මහ මැතිවරණය පෙනෙන තෙක් මානයකට පැමිණ සිටියදී රටේ ජනතාව ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කරන දේශපාලනය දෙස අවධානය යොමු නොකර සිටීම සාමාන්‍යයෙන් අවාසිදායක විය යුතුය. එහෙත් ආණ්ඩුව හෝ යූ.එන්.පී. ප්‍රමුඛ විපක්ෂය හෝ ඒ ගැන ලොකුවට සිතන බවක් පෙනෙන්නට නැත. යූ.එන්.පී.යට නම් පක්ෂයේ අරගලය දිගටම ඇදී යන තත්ත්වයක් තුළ මැතිවරණය නැති තරමට හොඳය. එහෙත් ආණ්ඩුවත් ඉන්නේ ඡන්දයට උපරිම සූදානමින්ද? කොරෝනා වෛරසය ආණ්ඩුවටත් වෙස් වලාගත් ආශිර්වාදයක්ද?

දේශපාලන කරළියේ තරමක අවාසිදායක තත්ත්වයක සිටින ආණ්ඩු පක්ෂයකට නම් මාස දෙකක් තුළ ගානියා (ස්විස් නිලධාරිනිය) රන්ජන් සහ කොරෝනා වැනි සිදුවීම් තුනක් පිටපිටම පැමිණීම වෙස් වළාගත් ආශිර්වාදයකි. නමුත් මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළේ බහුතර බලයක් නොමැති වුවද ශක්තිමත් ජනවරමක් දිනූ ජනාධිපතිවරයෙක් සිටියි. ඔහු මුල සිටම ක්‍රියා කළ ආකාරය රටේ ජනතාවගේ ප්‍රශංසාවට ලක්විය. විරැද්ධ පක්ෂ ඇතැම් මන්ත්‍රීවරුන් ද කියා තිබුණේ ජනාධිපතිවරයා ගන්නා ඇතැම් පියවර යහපත් බවය. පක්ෂය ඇතුළේ බල පොරයකින් පසුව විපක්ෂ නායක පදවියට පත්කරනු ලැබූ සජිත් පවා ප්‍රකාශ කළේ ගෝඨාභය ජනාධිපතිවරයා සමඟ අගමැති වශයෙන් කටයුතු කිරීමට තමන්ට හැකි බවය. එහෙමනම් මැතිවරණය ආණ්ඩුවට ප්‍රශ්නයක් විය නොහැක. නමුත් පිට පිට පැමිණි ගානියා, රන්ජන් සහ කොරෝනා හේතුවෙන් ආණ්ඩුවට ද යම් සහන කාල සීමාවක් ලැබී ඇති බව සැඟවිය නොහැක.

ආණ්ඩුව පැමිණ ටික කලකින් ජනතාව පෙළමින් සිටි බදු බර අඩු කළේය. රාජ්‍ය ආයතනවලට සුදුසුකම් ලත් පුද්ගලයන් පත්කිරීමට පියවර ගත්තේය. දූෂණ සහ අක්‍රමිකතාවලට හසුවන වැරදිකරැවන්ට කිසිදු සමාවක් නොදෙන දැඩි ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. ආණ්ඩුවේ කාර්යාල කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යා යුතු බවට නියෝග නිකුත් කළේය. මෙහි සියල්ල යහපත්ය. ගෝඨාභය රාජපක්ෂ පාලනයට තවම ගත වී ඇත්තේ මාස දෙක හමාරක පමණ කාලයක් පමණක් බැවින් එහි හොඳ නරක ගැන කතා කිරීමට වේලාසන වැඩිය. 

හැබැයි ආණ්ඩුව ඇතුළේ ද යම් යම් මතගැටුම් හට ගනිමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එසේම ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය ආර්ථිකය හැඩගස්වා ගැනීම අතින් තවම කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට ආණ්ඩුවට බැරි වී තිබේ. විශේෂයෙන් බදු අඩු කිරීම හේතුවෙන් ආදායමේ සිදුවන අඩුවීම පියවා ගැනීමට පැහැදිලි මාවතක් හඳුන්වා දී නැත. එම ප්‍රමාණය ආසන්න වශයෙන් රුපියල් බිලියන 56ක් බව සඳහන් වේ. එය ඉතා විශාල මුදලකි.

ආර්ථික පීඩනය ඉවත් වූ විට ජනතාව අතරේ මුදල් ගැවසීමත් ඒ හරහා ආර්ථිකය සක්‍රීය වි ව්‍යාපාර දියුණු වී ආදායම් උපදවා ගැනීමට හැකිවනු ඇති බවට ගණන් බලා තිබුණත් එය එලෙසින්ම ඉටුවනු ඇති බවට සහතිකයක් දිය නොහැකිය. ඊළඟට ඉදිරිපත් වන මහ මැතිවරණය ඉලක්ක කරමින් උපාධිධාරීන් 50,000කට රැකියා ලබාදීමට සහ අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපන මට්ටමක් ඇති තරැණයන් ලක්ෂයකට රැකියා පුහුණුව ලබාදීම වැනි විශාල මුදලක් වැය වන ව්‍යාපෘති ද ඉටුකළ යුතු වෙයි. නමුත් ඒ සමඟම රජයේ සේවකයන්ට ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට තිබූ වැටුප් වැඩිවීම අත්හිටුවා තිබේ. එය විශ්‍රාමිකයන්ට ද බලපෑමක් ඇති කරයි. එය ඔවුන්ගේ සතුටට හේතුවන්නේ නැත. ආණ්ඩුවටද සහන කාලසීමාවක් අවශ්‍යව ඇත්තේ මේ හේතු නිසාය.

මේ අතරවාරයේ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපය සමඟ සන්ධාන ගතවීමේදී පොහොට්ටුව වෙනත් ලකුණකින් තරග කිරීමට සූදානම් නොවීම ශ්‍රීලනිපය දේශපාලන ඉතිහාසයේ පතුලටම තල්ලු කර තිබේ. පොදු ලකුණේ කතාව දැන් ටික ටික යට යමින් පොහොට්ටුවෙන් පමණයි කතාව උඩටම පැමිණ තිබේ. ලකුණු පමණක් නොව නාම යෝජනා ලැයිස්තුවේ තුනෙන් එක ඉල්ලන වැඩේද ඉටු කෙරෙන පාටක් නැත. මන්ත්‍රී ලැයිස්තුවේ තුනෙන් එක නොලැබෙන්නේ නම් මහ මැතිවරණයේදී ශ්‍රීලනිප වැඩිදෙනකුට පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහස අත්හැරගැනීමට සිදුවනු ඇත. පොහොට්ටුව ඉතා ශක්තිමත් අන්දමින් තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ඇති බවට සැකයක් නැත. ඔවුන් වඩාත්ම උනන්දු වනු ඇත්තේ පොහොට්ටු මන්ත්‍රීන් වැඩි දෙනකු ජයග්‍රහණය කරවීමටය. පොහොට්ටු නායකයන් සමඟ සමීපව කටයුතු කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරැන්ට හැර වෙනත් අයට නම් චාන්ස් එකක් ලබා ගැනීම ඉතා අපහසු වන බව හොඳටම පැහැදිලිය.

යූ.එන්.පී.යද මුහුණ දෙන්නේ එවැනිම අර්බුදයකටය. පසුගිය බදාදා (29) සහ බ්‍රහස්පතින්දා (30) දෙදිනම යූ.එන්.පීයේ ගැටලුව විසඳෙනු ඇති බවට තිබූ සියලු විශ්වාස කඩ වී ගියේ රනිල් පාර්ශ්වය මෙන්ම සජිත් පාර්ශ්වය ද තදින්ම තමන්ගේ කොටස අත්හැරීමට සූදානම් නොවීම හේතුවෙනි. බදාදා රනිල් සහ සජිත් අතර පැවති සාකච්ඡාවේදී සජිත්ට අගමැති අපේක්ෂකත්වය සහ සන්ධාන නායකත්වය ලබාදීමට රනිල් එකඟ වී සිටියත් නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේ වැඩි බලය සහ සන්ධානයේ ලේකම් ධූරය ඔවුන්ට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ලැබිණි. මහ මැතිවරණයකදී නාම යෝජනා ලබාදීමත් ඉදිරිපත් වන සන්ධානයේ ලේකම් ධූරය හිමිවීමත් අත්‍යවශ්‍ය කොන්දේසි වෙයි. නායකත්වය රනිල් අතැතිව තිබියදී අගමැති අපේක්ෂකත්වය පමණක් සජිත්ට ලැබීම හෙණ්ඩුව නැතුව අලියා ලැබීමක් පමණි. අගමැති අපේක්ෂකත්වය ගැන තීරණයක් ගැනීමට රනිල් සජිත්ට තව සතියක් කල් ලබා දී ඇති බවද සඳහන් විය. මේ තත්ත්වය යටතේ රනිල් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම පලක් නැති බව සජිත් පාර්ශ්වය මගින් තීරණය කිරීම බලාපොරොත්තු විය යුත්තකි. බ්‍රහස්පතින්දා කෘත්‍යාධිකාරී කමිටු රැස්වීමට පෙර සජිත් පාර්හ්වයේ බල කණු දෙකක් වූ අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට තනතුරැ අහිමි කිරීම රනිල්ගේ උපක්‍රමයක් බව පෙනේ. පසුව දැනගන්නට ලැබුණේ රෝසි සේනානායක සහ ඉමිතියාස් බාකිර් මාකර්ටද තනතුරු අහිමි කර ඇති බවය. මේ දෙදෙනාම ඒ ගැන කලින් නොදැන සිටි බවද කියයි.

සජිත් පාර්ශ්වයේ කිහිපදෙනකුට පමණක් තනතුරැ අහිමි කිරීම තුළින් රනිල් පාර්ශ්වය බලාපොරොත්තු වන්නේ සජිත් පාර්ශ්වය අතර මතගැටුමක් ඇති කිරීම විය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් සජිත් පාර්ශ්වයේ සියලු දෙනා තමන් ගත් ස්ථාවරයෙන් බැහැර නොවීමට තීන්දු කළහොත් විය හැක්කේ කුමක්ද?

පොහොට්ටුව නිර්මාණය වූ ආකාරයේ වැඩක් වීමට ඉඩ තිබීමය. පොහොට්ටුව නිර්මාණය වූයේ ශ්‍රීලනිපයේම මන්ත්‍රීවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨයන්ගේ එක්වීමෙනි. ඔවුන් ශ්‍රීලනිපයෙන් ඉවත් වූයේ නැත. පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නා බවක් කිව්වේද නැත. එහි නිල නොලත් නායකයා මහින්ද රාජපක්ෂ යැයි කීවත් මහින්ද එහි සාමාජිකත්වය ගත්තේ නැත. ශ්‍රීලනිපයෙන් ඉවත් වූ බවක් කිව්වේද නැත. එහෙත් පොහොට්ටුව හැදුණේය. පුංචි ඡන්දයට ඉදිරිපත් වුණේය. එයින් ජයගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඉතිහාසයේ ලොකුම ජයක් ලබා ගත්තේය. ඒ වනවිට ශ්‍රීලනිපය ද තිබුණි. එහෙත් ශ්‍රීලනිපයට  අද සිදුවී ඇත්තේ පොහොට්ටුවේ පහනින් එළිය බැලීමටය. යූ.එන්.පීයටත් ඒකම වෙයිද?

ඒකම වෙයිදැයි කීම නම් දැන්ම අපහසුය. ඒ වුණත් තමන් යූ.එන්.පීය අතහැර නොයන බව කියමින් අලුතින් බිහිවන සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කිරීමට සජිත්ලාගේ පාර්ශ්වයට ද හැකියාව තිබේ. අවසානයේ සජිත්ට සන්ධාන නායකත්වය ද රනිල් විසින් ලබාදුනි. ඔවුන් යූ.එන්.පීය ඇතුළේ සිටිමින් සන්ධානයක් ගොඩනැගීම පක්ෂයේ ව්‍යවස්ථාව කැඩීමක් යැයි පවසා පක්ෂයෙන් නෙරපා හැරීමට රනිල් පාර්ශ්වයට පියවර ගැනීමට දැන් ඉඩක් නැත. 

දැන් සිදුවිය හැක්කේ රනිල්ගේ පක්ෂ නායකත්වය යටතේ සජිත්ලාගේ සන්ධානය මැතිවරණයට ඉදිරිපත් වීමයි. දැන් කරැණු යෙදී ඇත්තේ එලෙසය. එම මැතිවරණයේ ජය පැරදුම තීන්දු වන්නේ පොහොට්ටුව මහමැතිවරණයේ දී පෙන්වන හපන්කම් අනුවය.

- ශශීන්ද්‍ර