මහ මැතිවරණයේදී තරග කිරීම සඳහා අලුත් දේශපාලන සන්ධානයක් ලියාපදිංචි කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රනිල්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා එක් කොන්දේසියක්ද විය. යූ.එන්.පී.ය තමන්ගේ සන්ධානය සමඟ පවතින ගැටුම සමතයකට පත් කරගෙන නව හදවත ලකුණින් තරග කිරීමට එකඟවීම එම කොන්දේසියයි.
හදවතට එකඟ නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදෙන බවට වන මේ පොරොන්දුව ලබාදෙනු ඇතැයි කියා තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා (13) දෙදෙනා අතර නියමිත වූ සාකච්ඡාවේදීය. එහෙත් එවැනි සාකච්ඡාවක් සිදුවීදැයි දැනගන්නට නැත. තවත් අතකින් කියැවුණේ එවැනි හමුවක් සිදුවූ බවත් එහිදී ඕනෑ නම් පක්ෂයෙන් යන්නැයි රනිල් සජිත්ට පැවසූ බවත්ය. මේ දෙකෙන් ඇත්ත කුමක්දැයි පැහැදිලි නැත. පැහැදිලිවම පෙනෙන සත්‍යය නම් යූ.එන්.පී.ය බෙදී වෙන්ව ගොස් අවසන් බවය.
රනිල්ට සමීප එක් යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයකුට අනුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී රනිල් යූ.එන්.පී.යට නායකත්වය දෙමින් වෙනම තරග කිරීමට සූදානම්ය. රනිල් වික්‍රමසිංහටවත් එයාගේ සාමාජිකයන් කාටවත් අලියා ලකුණ හැර වෙන ලකුණකින් තරග කරන්න බෑ. හදවත ලකුණ ලියාපදිංචි කරපු පිරිස යූ.එන්.පී.යෙන් නෙරපා දමන්න අපි දැන් කටයුතු කරමින් ඉන්නේ යැයි ද ඔහු කියා තිබිණි.
ඔහු එසේ කියන විට සජිත්ගේ පාර්ශ්වය කියන්නේ තමන් කිසිම විටෙකත් හදවත ලකුණින් වෙනස් නොවන බවය. තමන් සමඟ එකඟ නොවන්නේ නම් රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සාමාජිකයන් නැතිව තරග කරන බවද ඔහු කියා තිබිණි. යූ.එන්.පී. එකේ කවුරුවත් දැන් රනිල් වික්‍රමසිංහ යටතේ තරග කරන්න කැමැත්තක් නෑ. සජිත්ගේ යෝජනාවලට අකැමැති වුණොත් රනිල්ට සිද්ධවෙන්නේ තනි වෙන්නයි යැයි ද ඔහු සඳහන් කර ඇත.
යූ.එන්.පී. පැහැදිලිවම දෙකඩ වී ඇතිවාට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. 1990 දී ලලිත් - ගාමිණී ඇතුළු පිරිසක් යූ.එන්.පී.ය කඩාගෙන යාමෙන් පසුව ඇතිවූ ලොකුම දෙදරා යාම මෙය බව පැහැදිලිය. ඒ අවස්ථාවේදී පක්ෂය තුළ බල අරගලය ඇතිවන විට ආණ්ඩු බලය සතුව තිබීමත් මේ අවස්ථාවේදී දෙදරීම සිදුවන විට පක්ෂයට ආණ්ඩු බලය නොතිබීමත් ලොකුම වෙනසය. යූ.එන්.පී.යේ ඡන්ද පදනමට ලොකුම පහර වැදුණේ එම දෙදරා යාමෙනි. ඉන්පසුව ලලිත්, ගාමිණී සහ ප්‍රේමදාස තිදෙනාම ඝාතනය වීමෙන් පසුව පැවැති මැතිවරණවලදී යූ.එන්.පී.යට බලය ද අහිමි විය. යූ.එන්.පියේ ගිලිහුණු බලය ගියේ ඒ වන විට රටේ කිසිදු කැපීපෙනෙන දේශපාලන චරිතයක් නොවී සිටි චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ තරග කළ පක්ෂ සන්ධානයටය.
මේ පාර කතාව ඊට වෙනස්ය. තැටිය පරණ වුවද කතාව අලුත්ය. යූ.එන්.පී.ය රනිල් - සජිත් වශයෙන් ප්‍රබලව බෙදෙන විට බලය ගියේ මහින්දලාගේ අතටය. හැබැයි එහෙම බලය යන්නත් ලොකුම සාධකයක් තිබුණි. ඒ සාධකය ගෝඨාභයයි. ගෝඨාභයට රාජ්‍ය පාලන අත්දැකීම් නොතිබුණත් ඔහු දිගටම සිටියේ බලවත් විධායක ජනාධිපතිවරයකු වූ තම සොහොයුරාගේ පාලන තන්ත්‍රයේ ඉහළම තැනකය. එහෙම වුණත් යූ.එන්.පිය ද කඩා බිඳගෙන ගෝඨාභය ජනාධිපති ධූරයට පත්වන්නේ රටේ ජනතාවගේ විශ්වාසය ඉහළින්ම රඳවාගෙනය. ඔහු තරග වැදුණේත් පරණ ශ්‍රීලනිප නායකත්වයෙන් තිබූ එජනිසයෙන් නොවීම ද කැපී පෙනෙයි. යූ.එන්.පී.ය කැඩී පක්ෂ දෙකක් තරමට වෙන්වීම සිදුවන විට, රටේ බලය යන්නේ අලුත්ම පක්ෂයකටය. 1990 දී යූ.එන්.පී.ය කැඩී 94 දී පරදින විට බලය ගියේ අලුත් නායිකාවකට වුවද චන්ද්‍රිකා නියෝජනය කළේ පරණ ශ්‍රීලනිපය ප්‍රධාන වූ සන්ධානයයි. එය පොදුජන එක්සත් පෙරමුණ විය. එහි ලකුණ පුටුව විය. අද වනවිට පො.එ.පෙත් නැත. පුටුවත් නැත. එහෙත් ඒවා නියෝජනය කළ දේශපාලන ප්‍රවාහය අතට බලය ගොස් තිබේ.
යූ.එන්.පී.ය මේ තරම් දෙදරීමකට ලක්වී පක්ෂ දෙකක් බිහිවන තරමට වැඩේ කුරුවල් වනු ඇතැයි රනිල්ට සමීප පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නම් සිතන්නට නැත. මීට සතියකට පමණ පෙර රනිල්ට ඉතාම සමීප ජ්‍යෙෂ්ඨයකු වන වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබුණේ රනිල් මැරෙන තුරැම පක්ෂයේ නායකයා වශයෙන් කටයුතු කරනු ඇති බවයි. ඒ නිසා අන් සියලු දෙනාම නායකයා බවට ඒකරාශී වී පක්ෂය දිනවීමට කටයුතු කළ යුතු බවයි. එහෙත් වජිර පවතින යථාර්ථයට බොහෝ සෙයින් ඈත්ව සිටින බව පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවීමේ දක්ෂයකු සහ උපායමාර්ගික වශයෙන් කොතරම් ප්‍රවීණයකු වුවද පාක්ෂිකයන් අති බහුතරයකගේ ප්‍රසාදය දිනාගැනීමට සමතෙක් නොවීය. ඔහු කවදත් බිම් මට්ටමේ සාමාජිකයන්ට කිට්ටු නායකයෙක් වූයේ නැත. එසේ වුවද මෑතක් වනතුරුම ඔහුට අකැමැති පාක්ෂිකයන්ගේ ගෞරවය පවා ඔහු හිමිකරගෙන සිටියේය.
අද වුවද රනිල් පක්ෂ නායකත්වයෙන් යා යුතු බව කියන වැඩි දෙනකු කියන්නේ රනිල් බුද්ධිමත්, දක්ෂ, උපායශීලී නායකයකු බවය. එහෙත් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේදී දක්වන දුර්වලතා ඔහුගේ නායකත්වයට හරස් වී තිබේ. එම දුර්වලකම් හදාගැනීමට රනිල් තමන්ට ලැබුණු එකම අවස්ථාවකින් හෝ ප්‍රයෝජනයක් ගැනීමට අසමත් වීම ද කැපී පෙනෙයි. විශේෂයෙන් 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දවස් 52 ආණ්ඩු පෙරළියෙන් පසුව තමන් පක්ෂය මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව ස්වයං විවේචනයක යෙදීමට ඔහුට ඕනෑතරම් අවස්ථාව තිබිණි. ඒ අවස්ථාවේදී රනිල්ගේ අගමැති ධූරයත් ආණ්ඩුවත් බේරාගැනීමට පාරට බැස සටන් කළේ ගේම ගැහුවේ සජිත්ගේ ප්‍රධානත්වයෙන් බව කෙටි කලකදීම අමතක කළ රනිල් ඉන්පසුව යළිත් කළේ තමන්ට සමීප කිහිපදෙනා සමඟ දොරගුළු ලාගෙන සිදුකළ පරණ පාලන ක්‍රමයටම ආපසු යාමය. ආණ්ඩුව නැතත් පක්ෂ නායකත්වය පමණක් රැකුණොත් ඇතැයි සිතා රනිල් කටයුතු කරන බවට පාක්ෂිකයන් දළ දැඩි මතයක් ඇතිවීමට වෙනත් හේතු අවශ්‍ය නැත.
යූ.එන්.පී.ය බරපතළම අර්බුදයට මුහුණ දුන්නේ සජිත්ලාගේ පාර්ශ්වය මගින් පිහිටුවන ලද සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය මැතිවරණ කොමිසම මගින් පිළිගැනීමත් සමගිනි. ඒ ගැන රනිල්ට කලින්ම තොරතුරු ලැබී තිබුණත් එය එතරම් ගණන් නොගත් ආකාරයක් පෙනෙන්නට තිබිණි. එහෙත් රනිල්ලාගේ දේශපාලන වේදිකාවේ ප්‍රබල භූමිකාවක් ඉටුකළ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පිකලාද එයට එකතු වීමත් ඒ සමඟ යූ.එන්.පී.ය සමඟ හැමදාම සිටි හකීම්, මනෝ ගනේෂන්ලාගේ පක්ෂ ද සජිත්ගේ සන්ධානයට සහාය දක්වන බව ප්‍රකාශ කිරීමත් රනිල් පාර්ශ්වය දුර්වල කර තමා තිබේ. යූ.එන්.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර සහාය තිබෙන්නේ ද සජිත්ලාටය. කෘත්‍යාධිකාරී කමිටුවෙන් සියලු දේ ඉටුකර ගැනීම රනිල්ගේ උපාය මාර්ගය වී තිබුණත් එහි තිබෙන නෛතික වැදගත්කම පාක්ෂිකයාට අදාළ නැත. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ පක්ෂයේ ඉහළ සිටම දකින්නට හැකි ප්‍රබල වෙනසකි.
ඒ වෙනස්කම නායකත්වය වෙනස් වීම වුවද එය ඉටුනොවන විට වෙනත් කැපීපෙනෙන වෙනසක් පක්ෂය තුළ සිදු කිරීමට රනිල් උනන්දුවක් නොදැක්වීම කැඩෙන තැනටම පක්ෂය තල්ලු කර දමා තිබේ. තමන්ට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රින් සුළු පිරිසකගේද, කෘත්‍යාධිකාරියේ බහුතරයකගේද සහාය සමඟ රනිල් යූ.එන්.පී.යේ නායකත්වය රැකගැනීමට සමත් වුවත් එතැනින් එහාට සිදුවන දේ අවිනිශ්චිතය. තව සති තුනකින් පමණ පාර්ලිමේන්තුව විසිර වීමට හොඳටම ඉඩ තිබෙන බැවින් &හදවත* සමඟ සමගි සන්ධානයකට යනු හැර රනිල්ට වෙනත් විකල්පයක් තිබේ නම් ඒ මීළඟට මැතිවරණයේදී වෙනම තරග කිරීම පමණි.
මේ අතර වාරයේ පොහොට්ටුවේ අතපය දිගහැරීමේ පිළිවෙත හමුවේ ඈතට වී මොනවා හෝ කියනවා හැර වෙන දෙයක් කළ නොහැකි තරමට ශ්‍රීලනිපය දුර්වල වී තිබේ. මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර වැනි කිහිප දෙනෙකු හැර සෙසු පිරිසට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබාගැනීම පවා දුෂ්කර වන බව පෙනෙන්නට තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ බලවතකු වන ප්‍රසන්න රණතුංග මේ සටනේ ඉදිරියෙන්ම සිටින කසකරුවෙකි. ඔහ කෙළින්ම පවසන්නේ ශ්‍රිලනිප නායකයාද වන මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා පවා ලබා නොදිය යුතු බවය. 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ඔහු යටිකූට්ටු වැඩ කළ බවද ප්‍රසන්න රණතුංග අප පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි. මේ සටනේ ජය පොහොට්ටුවට දැන් නිතරගයෙන්ම හිමිවී තිබෙන බව පැහැදිලිය. පක්ෂවල ඉහළ මට්ටමින් විසඳුමක් නොලැබුණොත් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රිලනිපය කුස්සියටම තල්ලු වීම වළක්වාගත නොහැකි වනු ඇත.
ප්‍රසන්න රණතුංග පහර දෙන්නේ ශ්‍රීලනිපයට පමණක් නොවේ. ඔහු ගෝඨාභය බලයට ගෙන ඒමට විශාල කාර්යභාරයක් කළ &වියත්මග*ටද දැඩිව පහරදෙයි. මේ උගතුන් බොහෝ දෙනා 2015 දී පරාජය වූ අවස්ථාවේ සිටි අය නොව ජයග්‍රහණයෙන් පසුව පැමිණි අය බවටද ඔහු දෝෂාරෝපණය කරයි. මේ ප්‍රකාශ ගෝඨාභය ජනාධිපතිවරයා සහ ඔහුට සමීප පිරිසගේ කැමැත්තට හේතු නොවන බව පැහැදිලිය.
කෙසේ වුවද ප්‍රසන්න රණතුංග තමන්ගේ ආණ්ඩුව 2015 දී පරාජය වීමට බලපෑ සැබෑ හේතු තවමත් අවබෝධ කරගෙන නැති බවද පෙනී යයි. මහින්දලාගේ ආණ්ඩුව පරාජය වූයේ මෛත්‍රීපාල යටිකූට්ටු වැඩ කිරීම හේතුවෙන් නොවන බව යථාර්ථය අමතක නොකරන සියලු දෙනා දැන සිටිති. 2015 වනවිට රාජපක්ෂ ආණ්ඩුව ජනතාව අතරේ දැඩි ලෙස පිරිහී සිටියේය. එම පිරිහීමට තුඩුදුන් හේතු දැන් යළි යළිත් විස්තර කිරීම අවශ්‍ය නොවේ. එම පිරිහුණු ආණ්ඩුවේ ප්‍රසන්න රණතුංගද කොටස්කාරයකු වී සිටි බව අමතක කොට කතා කිරීම නිෂ්ඵලය. වෙනකක් තබා මහින්දගේ කැබිනට්ටුව ඇතුළේම සිටි ඇතැම් ඇමැතිවරැද ඒ කාලයේ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ බවද රහසක් නොවීය.
මේ යථාර්ථය අමතක කොට කටයුතු කිරීම ඊළඟ ආණ්ඩුව ගැන ජනතාව තුළ මවන්නේ අයහපත් ප්‍රතිරෑපයක් බව අමතක නොකළ යුතුය. ගෝඨාභය මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත්කළ අවස්ථාවේ රට තුළ දැඩි පිබිදීමක් ඇතිවූයේ ජනතාව තුළ අලුත් බලාපොරොත්තුවක් අලුත් නායකත්වයක් පිළිබඳ සිතුවිලි අවදිවීම හේතුවෙනි. රාජපක්ෂ පාලන කාලය තුළ ගොඩනැගුණු ජනතා විරෝධයේ කළු පැල්ලම් සෝදා හැරීමට වියත්මග විසින් ඉටුකරන ලද්දේ ඓතිහාසික කාර්යභාරයකි. මේ සියල්ල ජනතාව නොදන්නවා යැයි සිතමින් ජනතාව මෝඩයන් රුලක් සේ සලකා කටයුතු කිරීම සුදුසු නැත. එහි ප්‍රතිඵල සිතා ගැනීම ප්‍රසන්නලාටම භාරය.
ශශීන්ද්‍ර