සජිත් ඊළඟට කුමක් කරයිද? රනිල් කියන විදියට අලියා ලකුණින් සන්ධානයට නායකත්වය දීලා අගමැති අපේක්ෂක හැටියට පෙනී ඉඳලා ඉල්ලාගෙන කයිද? එහෙම නැත්නම් සන්ධානයෙන් වෙනම ඡන්දෙට ඇවිත් වෙනදේකට මුහුණ දෙයිද?
පේන්න තිබෙන හැටියට නම් හෙටින් ඇරඹෙන සතියේදී සජිත්ලාගේ ඉරණම විසඳී තිබිය යුතුය. රනිල් සජිත්ට ටටා කියා ඉන්දියාවේ දවස් 04ක සංචාරයකට ගියේ ඔක්කොම බර සජිත්ගේ පිට මත පටවාය. ඒ හේතුවෙන් සජිත් තමන්ට සහාය දක්වන පාර්ශ්වයත් රනිල්ට සහාය දක්වන පාර්ශ්වත් අතර සැන්ඩ්විච් වෙමින් සිටී. උණු නිසා බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බෑ. එහෙම නැත්නම් ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී. මේ වගේ උපමා උපහැරණ බොහොමයක් අද සජිත් මුහුණදී සිටින තත්ත්වයට ගැලපෙයි. ඔහු වහාම තීන්දුවක් ගැනීමට බල කෙරෙන තත්ත්වයකට භයානක ලෙස තල්ලු වෙමින් සිටී. රනිල් රට යාම හේතුවෙන් සජිත් වඩාත් හිර වී සිටින බව බැලූ බැල්මට පෙනී යයි.
සජිත් ජනාධිපතිවරණයෙන් පසුව තමන්ට සහාය දැක්වූ පාර්ශ්වයේ සහාය ඇතිව පක්ෂ නායකත්වය ලබා ගැනීමට ලොකු සටනක් දියත් කළේය. එම සටනින් සජිත්ට ජය පෙනි පෙනී තිබුණත් අවසන් ජයග්‍රහකයා වී සිටින්නේ රනිල්ය. එයට ලොකුම හේතුව හෝ මතුපිටින් පෙනෙන්න තිබෙන්නේ යූ.එන්.පී.ය තාවකාලිකව හෝ හැරයාමට සජිත් දක්වන අකැමැත්ත බව පෙනෙන්නට තිබේ. ඔහු තමන් නායකත්වය දෙන සන්ධානය සමඟ මහමැතිවරණයට මුහුණදීමට නිශ්චිතවම තීරණය කළොත් සහ එම තීන්දුව සමඟ රනිල්ගේ පාර්ශ්වය එකඟ නූනහොත් මහමැතිවරණය අවසන් වනතුරු සජිත්ලාට යූ.එන්.පී.ය තාවකාලිකව හැරයාමට සිදුවනු ඇත. එසේවන්නේ රනිල්ගේ පාර්ශ්වය ද වෙනම ඡන්දයට ඉදිරිපත් වීමට තීරණය කළහොත් පමණි. රනිල්ලාගේ පාර්ශ්වයත් තවම එවැනි තද තීරණයක සිටින බවක් පෙනෙන්නට නැත. හැබැයි යූ.එන්.පී මහ ලේකම් අකිල විරාජ් පසුගියදා රෑපවාහිනී නාළිකාවක සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ සජිත් වෙනුවට කරැ දැම්මා නම් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හැකිව තිබූ බවය. සජිත්ලාගේ පිරිස කලබල කොට එම තත්ත්වය අහෝසි කර දැමූ බවද අකිල කියා තිබිණි.
කරැ දැමූ තරමින් ගෝඨාභය පැරදවීමට අවස්ථාවක් තිබුණද යන්න විවාදිතය. එහෙත් යහපාලන ආණ්ඩුව පරාජය වීමට සියලු කරැණු ජනාධිපතිවරණය අවස්ථාව වනවිට එකට ගොනුවී තිබිණි. මහ බැංකු මගඩියේ සිට ගැට ගැසෙමින් තිබූ එම ආණ්ඩුවේ පිරිහීමේ දොරටුවලට අවසන් ඇණය ද වැදුණේ පාස්කු ඉරිදා (පසුගිය වසරේ අප්‍රේල් 21) බෝම්බ ප්‍රහාරයත් සමඟිනි. 2018 පෙබරවාරි 10 වැනිදා පුංචි ඡන්දයේ පරාජය යහපාලන ආණ්ඩුවේ පිරිහීම පෙන්වූ ලොකුම පෙරමඟ ලකුණ විය. මේ සියලු අවස්ථාවලදී පක්ෂයේ මහලේකම්කම දැරැවේ අකිල විරාජ්ය. තත්ත්වය එසේ වනවිට දැන් සජිත්ගේ හෝ කරැගේ හෝ ඇඟේ තබා ජනාධිපතිවරණ පරාජයේ වගකීමෙන් මිදීමට ඔහුට හැකියාවක් නැත.
එසේම සජිත් වෙනුවට කරැ දැම්මා නම් දිනන්න තිබුණා යන්න දේශපාලන වශයෙන් නොමේරෑ මත දැක්වීමක් බව පෙනී යයි. පක්ෂය වෙන්වී යාමට සියලු අවස්ථා තිබෙන මේ වෙලාවේ පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ඔහු කළ යුතු වන්නේ එය වළක්වා පාර්ශ්ව දෙකම එක්කොට පක්ෂ ජයග්‍රාහී මාවතකට ගෙනඒමට කටයුතු කිරීමය. එසේ නොවී සජිත්ලාගේ කලබලය පිටින් පක්ෂයේ පරාජය යැවීම නොවේ.
කෙසේ වුවද පක්ෂ නායකත්වය ලබාගැනීම සඳහා සජිත් තුළ ඇති බලාපොරොත්තුව මහමැතිවරණයට පෙර ඉටුවන්නේ නැත. ඔහුගේ විපක්ෂ නායක පදවිය රුඳී තිබෙන්නේ ලබන මාර්තු මස 2 වැනිදා දක්වා හෝ පාර්ලිමේන්තුව විසුරැවන දිනය දක්වා පමණි. සන්ධානයට නායකත්වය දෙමින් ඡන්දයට ඉදිරිපත් වීම එකම විකල්පය හැටියට බාරගන්නා තැනට සජිත් පත්ව සිටී. ඒ සඳහා රනිල් දින නියමයක්ද කර තිබේ. එනම් “ලබන සතිය* තුළදී මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ක්‍රියාකළ යුතු බවටය. යූඑන්පී නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් නිතරම කියන ලබන සතිය දැන් සති ගණනාවක් තිස්සේම ඇසෙන්නකි. එහෙත් ඒ නිසා ලබන සතිය තවම උදාවී නැත.
ඒ සමඟ සජිත් මෙතෙක් කල් නියෝජනය කළ පිල හම්බන්තොට දිස්ත්‍රික්ක හැරදමා කොළඹ හෝ ගම්පහ හෝ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් එකක තරග කළ යුතු බවට දැඩි පීඩනයක් ද ඔහුට එල්ලවෙමින් තිබේ. ගම්පහ හෝ කුරැණෑගලට වඩා සජිත් කැමැත්ත දක්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට බවද සඳහන් වෙයි. එසේ තරඟ කළොත් රනිල් වික්‍රමසිංහ නායකයා සහ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා යන දෙදෙනාගෙන් වඩාත් ජන ප්‍රසාදයක් දිනා ඇති නායකයා කවරකුදැයි යූ.එන්.පී. පාක්ෂිකයන්ට දැනගත හැකි වනු ඇත. එහෙත් එවැනි තරගයකට ඉඩක් නැති බව සමහර ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබේ. එවැනි තරග වැදීමකට රනිල් සහ සජිත් දෙදෙනාම අකැමැති වීමට හේතු සාධක අවශ්‍ය තරම් තිබෙන බැවිනි.
යූ.එන්.පී.ය තුළ තිබෙන බලඅරගලය හේතුවෙන් එළඹෙන මහමැතිවරණයේදී යූඑන්පී ප්‍රධාන සන්ධානයට ලබාගත හැකි දේශපාලන වාසිද යට යන බව පෙනෙන්නට තිබේ. ගෝඨාභය රාජපක්ෂ පාලනයට සියක් දවස සම්පූර්ණ වන්නේ ලබන සතියේදී (27)ය. මේ දින සියය තුළ එකී පාලනයේ සුබවාදී ධනාත්මක කරුණු ගණනාවක්ද තිබෙන අතරම ජනතාව තුළ කිසියම් අසහනයකට තුඩුදෙන කරුණු වෙයි. ධනාත්මක කරුණු හරහා පොහොට්ටුව ප්‍රධාන සන්ධානයට ලකුණු එකතු කර ගතහැකි වුවත් ජීවන වියදම් ප්‍රශ්නය ඇතුළු පොදු ජනතාව පීඩනයට පත්වන කරුණු හේතුවෙන් ඔවුන්ට කිසියම් අවාසිදායක තත්ත්වයක්ද නිර්මාණය වෙමින් තිබේ. එහෙත් යූඑන්පීය ප්‍රමුඛ පක්ෂය සිටින්නේ එම කරුණු මතුකර ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන තැනක නොව තමන්ගේ අභ්‍යන්තර ප්‍රශ්න හෝ විසඳාගත නොහැකි තැනකය. මෙහි වාසිය නිසැකවම මහින්දලා සහ බැසිල්ලා විසින් කෙළින්ම ඩැහැගනු ඇති බවට සැකයක් නැත. කැම්පේන් කිරීමේ කලාවේ ඉහළම තැනක සිටින රාජපක්ෂලා සමඟ තරගයක් දීමට තරම් ස්ථාවර බවක් යූඑන්පී ප්‍රධාන විපක්ෂයට නොතිබීම ඔවුන්ගේ අවාසනාවකට වඩා රටේ අවාසනාවකි. රටකට ශක්තිමත් ආණ්ඩුවක් සේම ශක්තිමත් විපක්ෂයක් ද අවශ්‍යය.
මේ අතර මහ බැංකුවේ බැඳුම්කර මගඩි පිළිබඳ වෝහාරික විගණන වාර්තාවද එයාර් බස් ගනුදෙනුවද ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධාවක් එල්ල කර තිබේ. එයාර්බස් ගනුදෙනුවේ අල්ලස් මුදලේ ප්‍රමාණය මෙරට ඉතිහාසයේ වැඩිම අල්ලස වශයෙන් සැලකෙයි.ඒ සමඟ 2015 සහ 2016 සිදුවූ මහබැංකු වංචාව පිළිබඳ කොමිෂන් වාර්තාව යහපාලන ආණ්ඩුවට පාරාවළල්ලක් වූවා සේම වෝහාරික විගණන වාර්තාව රාජපක්ෂ පාලන කාලය තුළ සිටි ඇතැම් ලොක්කන්ටද බරපතළ ගැටලු ඇතිකර තිබේ. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ප්‍රබල ස්ථාවරයක සිටිමින් වත්මන් ආණ්ඩුවට පහරදීමට තිබූ අවස්ථාවෙන් විපක්ෂය ප්‍රයෝජන ගෙන තිබුණේ දුර්වල අන්දමටය.
ආණ්ඩු පක්ෂයද මහහඬින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට කටයුතු කළා මිස යූ.එන්.පී. ලොක්කන්ට වැඩිපුර පහරදීමක් කළේ නැත. අවසානයේ සිදුවන්නේ මේ දෙපිරිසම එකතු වී රටේ මහබැංකුව හරහා වසර 10 පමණ කාලයක් තිස්සේ තම ව්‍යාපාරික ගජමිතුරන් පොහොසත් කරමින් ඒ හරහා සිදු වු ලාබ බෙදාගැනීමේ ක්‍රියාවලිය යටගැසීමය. අවසන් ජයග්‍රාහකයා ආණ්ඩුව වනවිට අවසන් පරාජිතයා හැමදාමත් රටේ පොදු මහජනතාව වීම ලොකුම කනගාටුවය.
ආණ්ඩුව මේ අතරවාරයේ ජිනීවා පැරණි දංගෙඩියේ කතාව අලුතින් ලියන්නට සැරසෙන බවක් ද පෙනෙයි. ශ්‍රී ලංකා හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව අමෙරිකාව මගින් පනවන ලද වීසා තහනම හරහා ආණ්ඩුවට ඒ සඳහා ප්‍රවේශයක් ගතහැකි විය.එම තහනම සම්බන්ධයෙන් රජය ඉතා දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කළ අතර අමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව එකතු වී 2015 ඔක්තෝබර් 01 වැනිදා සම්මත කරගන්නා ලද 30/1 යෝජනාවෙන් ඉවත් වීමටද තීරණයක් ගෙනතිබේ. ඒ සඳහා සෙසු රටවලද සහයෝගය ලබාගනිමින් ශ්‍රී ලංකා රජයෙන් මතය වෙනුවෙන් කරැණු දැක්වීමට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා යාමට නියමිතය.
කෙසේ වුවද ජාත්‍යන්තරය හමුවේ දරදඬු තීන්දු තීරණවලට එළඹීමේ අවාසිදායක තත්ත්වයක් තිබෙන බවද අමතක නොකළ යුතුය. මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා කියා තිබුණේ මහින්ද රාජපක්ෂ විදුලි පුටුවෙන් බේරා ගැනීමට හැකිවීමත් එම යෝජනාවේ එක් ප්‍රතිඵලයක් බවය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් ජාත්‍යන්තරයේ පීඩනයට යට නොවෙනවා සේම ජාත්‍යන්තරයෙන් හුදෙකලාවීමට මගපාදන තත්ත්වයට කටයුතු කිරීමෙන් වැළකීමද අවශ්‍යය. විශේෂයෙන් රට පෙළෙන දැඩි ආර්ථික පීඩනයෙන් ගැලවීමට ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය බව සිහියේ තබාගත යුතුය.
පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයකු වන හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම කියා තිබුණේ ශවේන්ද්‍රගේ සිද්ධිය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් කර ගැනීමෙන් වැළකී සිටීම යහපත් බවය. එවැනි තීරණයක් අමෙරිකාව ගත් පමණින් ඊට එරෙහිව ප්‍රමාණය ඉක්මවා දැඩිව ක්‍රියාකිරීමේ ආදීනව පිළිබඳ ඉඟියක් එමගින් ලබාදී තිබේ. මෙවැනි ජාත්‍යන්තරයෙන් එන ප්‍රශ්න රටේ ප්‍රශ්න සමඟ පටලවාගෙන කටයුතු කිරීම හෝ ඒවාට ප්‍රමුඛත්වයදීමට වඩා අවධානය යොමුකළ යුතු ප්‍රශ්න ආණ්ඩුව හමුවේ තිබේ. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම තමන්ගේ ප්‍රමුඛතා පටලවා ගැනීම අවාසනාවක් බව නම් කිව යුතුය.
- ශශීන්ද්‍ර