ලංකා විශ්වවිද්‍යාලයේ වාර්ෂික අවසාන විභාගයෙන් ඉහළින්ම සමත්වන සිසුවාට හෝ සිසුවියට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරේ. ප්‍රාචීන භාෂා පීඨයෙන් උක්ත වර්ෂයේ ශිෂ්‍යත්වය හිමි වූයේ සිරි ගුනසිංහටය. එකල සිසුන්ගේ උත්තර පත්තර පළමුවෙන්ම තම ගුරුවරුන් විසින් ලකුණු කරන අතර ඉන් පසුව එම උත්තර පත්තර බාහිර (එකල යුරෝපයේ) පරීක්ෂකවරයෙක් වෙත යවනු ලැබේ. ඒ අනුව එකල සරසවිය ඉහළම පන්තියෙන් සාමාර්ථයක් ලබන ශිෂ්‍යයා දේශීය මෙන්ම විදේශීය ශාස්ත්‍රඥයින් විසින් තෝරාගනු ලැබූ කෙනෙකි. තරුණයෙක් හැටියට සිරිට එම ගෞරවය ලැබීම සුවිශේෂ සුදුසුකමක් හැටියට මෙහි සඳහන් කළ යුතුයි.
ශිෂ්‍යත්වලාභී සිරි ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘත අංශයේ සහකාර කථිකාචාර්යවරයෙක් වශයෙන් පත්වීමක් ලැබුවා පමණක් නොව වැඩිදුර ඉගෙනීම සඳහා යුරෝපයට යෑමටද හිමිකම් ලබා ගත්තේය. යුරෝපයට යෑම සඳහා නැව් නැග්ග සිරි මුලින්ම ගියේ ලන්ඩන් නුවරටයි. ලන්ඩන්හි පිහිටි ප්‍රාචීන භාෂා විද්‍යාපීඨයේ ඔහුට තැනක් වෙන්කර තිබුණේය. එහෙත් උසස් අධ්‍යාපනය සඳහා යුරෝපයට පිවිසෙන තරුණ බුද්ධිමතුන්ට මුහුණ පෑමට සිදුවන අකරතැබ්බයකට සිරිටද මුහුණපාන්නට සිදුවිය. එනම් වයෝවෘද්ධ ඉංග්‍රීසි මහාචාර්යවරයා තමන් උගත් අංශයට සිසුවාද කොටුකර තැබීමට මහන්සි ගැනීමයි. මහාචාර්යවරයාට වුවමනා වූයේ තමා ප්‍රියකළ විෂය වූ සංස්කෘත ව්‍යාකරණය තුළ සිරිව කොටුකර තැබීමටය. මානවක ශාස්ත්‍රඥයෙකු වූ සිරි පානිනි පඬිවරයාගේ ව්‍යාකරණය ගැන නිබන්ධනයක් කිරීමට තම මහාචාර්යවරයා කළ නිර්දේශය පිළිගත්තේ නැත.
තමාට ඇති වූ එවැනිම අකරතැබ්බයක් ගැන මා මිත්‍ර මහාචාර්ය ජිනදාස ජයසේකර මට දන්වා තිබේ. දක්ෂ ඉතිහාසඥයෙක් වූ ඔහු ශාස්ත්‍රපති උපාධියක් සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඔහුගේ උපදේශක මහාචාර්යවරයා වූයේ බෝල්හැචට් නම්වූ සුප්‍රසිද්ධ ඉතිහාසඥයාය. දකුණු ආසියානු ඉතිහාසය ගැන සුප්‍රසිද්ධ වූ බෝල්හැචට්ගේ එක් ගවේෂණයක් වූයේ ඉන්දියාවේ හා ලංකාවේ දේශපාලනඥයින්ගේ කුලය පිළිබඳවයි. ඔහු ඉතිහාසය දුටුවේ මේ කුල නායකයින්ගේ ගනුදෙනුවක් හැටියටය.
මහාචාර්ය ජයසේකර තම මුල් පර්ෙය්ෂණ ගැන සටහන් ලියාගෙන සිය උපදේශක හමුවූ විට ඔහු නිතරම ඇසූ ප්‍රශ්නය වූයේ එකී දේශපාලන නායකයාගේ කුලය කුමක්ද යන්නයි. එම උපදෙස් අනුව සිය උපාධි නිබන්ධන සැකසූ ජයසේකර පසුව සිය පර්යේෂණයක් පළ කිරීමට මැලිකමක් දැක්වූයේ ඔහු සටහන් තැබූ කුල ගෝත්‍ර ගැටුම් පිළිබඳව හෙළිදරවු නුසුදුසුයැයි සිතුණ බැවිනි.
ලන්ඩන්වලට පැමිණි සිරි සංස්කෘත ව්‍යාකරණ ගැන නිබන්ධනයක් ලිවීමට අකමැති විය. ඔහුට වඩාත් ප්‍රිය වූයේ ප්‍රංශයේ සොර්බොන් සරසවියේ පෙරදිග අංශයේ මහාචාර්යවරුන් කීප දෙනෙක් සමග සිය ශාස්ත්‍රීය ගවේෂණ කිරීමටයි. සොර්බොන් විශ්වවිද්‍යාලය තුළ විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ කළ මහාචාර්යවරුන් සිටියහ. පාලි භාෂාව අතින් අන්ද්‍ර බරෝ මහාචාර්යතුමාත් කලා අංශයේ ස්ටෙලා කමිරිෂ් හා පිලිගේෂා වැනි මහාචාර්යවරුන් එහි තනතුරු දැරූහ. සිරි පැරීසියට පැමිණෙන්නට ටික කලකට පෙර වල්පොල රාහුල හිමියන්ද ලන්ඩන් අතහැර පැරීසියට පැමිණ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටියහ. රාහුල හිමියන් සහ සිරි අතර සම්බන්ධතාවයක් ගොඩ නැගුණේ පැරීසියේ සිටි කාලයේ පටන්ය. ඉන් පසු කලෙක රාහුල හිමියන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උප කුලපති වශයෙන් පත් කරන ලදී. උන්වහන්සේ සිරීට තම විශ්වවිද්‍යාලයට බැෙඳන්නට ආරාධනා කළේය. පැරිසියේ සිසුවෙක් ලෙස ගත කළ වසර සතර ගැන සිරි ඉතා ආසාවෙන් කතා කළේය. ශාස්ත්‍රීය කටයුතු පමණක් නොව ඔහු සිය මිතුරු මිතුරියන් සමග ප්‍රංශයේ විවිධ පළාත්වල සංචාරය කළේය. ඔහු වඩාත් පර්යේෂණ කළේ පෙරදිග හා වෙසෙසින්ම භාරතීය චිත්‍ර කලාව කෙරෙහි ය. ඒ සඳහා හේතු පාදක වුයේ පැරිසියේ අයිෆල් කුලුනට නුදුරින් පිහිටා ඇති මුසී ගිමේ නැමැති කෞතුකාගාරයයි.
කලා මධ්‍යස්ථානයක් වු පැරිසියේ පෞද්ගලික කෞතුකාගාර බෙහෝමයක් තිබේ. විශේෂයෙන්ම ඈත පෙරදිග හා ඉන්දියාවේ වෙළදාම් කිරීමෙන් කෝටිපතියන්වූ ප්‍රංශ ධනපතියන් ඉතාම වටිනා බුද්ධ ප්‍රතිමා, දෙවි දේවතාවන්ගේ පිළිම, පුස්කොළ පොත්, එක්රැස් කොට තම මව් රටට ගෙන ගොස් ඇත. ඔවුන්ගේ විශාල මන්දිර කලාගාර බවට පත්විණි. ගිමේ නැමති ධනපතියා විසින් එක්කාසු කර ඇති කෞතුක වස්තු පැරීසියේ ඉතාම නෙත්කළු ප්‍රදේශයක ප්‍රදර්ශනය සඳහා තබා තිබේ. පෙරදිග කලාව ගැන පරීක්ෂණය කරන සියලු දෙනාම පාහේ මේ කෞතුකාගාරයේ කාලය ගතකොට සිය නිබන්ධන සකස් කර ගනිති. සිරිද තම පර්යේෂණ සඳහා මුසී ගිමේ නැමති කෞතුකාගාරයේ කාලය ගත කළේය. මා පැරීසියේ ජීවත්වන අවදියේ මේ කෞතුකාගාරය මගේ නිවසට ළංව පැවතුන හෙයින් එහි ගබඩා කර ඇති කලා භාණ්ඩ නිතර රස විඳීමට අවස්ථාව මට සැලසුෙණ්ය.
සිරි සිය නිබන්ධන ලිවීම සඳහා තෝරා ගත්තේ භාරතීය චිත්‍ර කලාවේ විධි නියම පිළිබඳ පර්යේෂණ කිරීමටයි. ප්‍රංශ සරසවි ක්‍රමය තුළ එවැනි නිබන්ධන පර්යේෂකයන්ගේ මහාචාර්යවරුන් විසින් කියවන අතර එය විශිෂ්ට, සාර්ථක, හොඳ, හා සාමාන්‍ය යනුවෙන් ඔවුන් විසින් වර්ගීකරණය කරනු ලැබේ. සිරිගේ නිබන්ධනය විශිෂ්ට ගණයේ එකක් සේ තෝරා ගන්නා ලද එකක් පමණක් නොව එය ප්‍රංශ සරසවියේ මුද්‍රණාලයේ පළ කිරීමටද යෝජනා කරන ලදී. එය විශාල ගෞරවයක් පමණක් නොව ඉහළම තත්ත්වයේ ග්‍රන්ථවලට පමණක් සීමාවන වරප්‍රසාදයකි.
සිංහල සාහිත්‍යය ගැන සිරි තුළ ආසාවක් තිබුණි. එහෙත් ඔහු ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන්නේ පෙරදිග චිත්‍ර කලාව පිළිබඳ විශේෂඥයෙකු හැටියටයි. මම පැරීසියේ යුනෙස්කෝ සංවිධානයේ සේවය කරන කාලයේ ඔහු යුනෙස්කෝ කලා අංශයට එක්කර ගෙන ගොස් එහි නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමි. ඔවුන් ගරුසරු ඇතිව සිරීව පිළිගත් අයුරු තවමත් මගේ සිතේ සටහන් වී තිබේ.