ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟාගත් අය අතර ඔහුත් එක් අයෙක්.... විවිධ පරාසයන් තුළ තම කෞශල්‍යය විදහා පෑ ඔහු චරිත් අබේසිංහ.
චරිත් කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම...?
ඔහු හිනාවක් දාගෙනම කතාවට මුලපිරුවා.....
හොඳින් ඉන්නවා.... මේ දවස්වල නිර්මාණ කටයුතු කිහිපයකට සම්බන්ධවෙලා කටයුතු කරනවා... සුනිල් ආරියරත්න සර්ගේ කදිරදේව සුරිඳු චිත්‍රපටයේ දුටුගැමුණු රජතුමාගේ චරිතය රඟ දක්වනවා. සයිමන් නවගත්තේගම ශූරීන් රචනා කරපු, සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කරන සංසාර ආරණ්‍යයේ අසබඩ ටෙලි නාට්‍යයේ පොඩි නිලමේගේ චරිතයට පණ පොවනවා. ඊට අමතරව රැස් නාට්‍යයටත් සම්බන්ධවෙලා වැඩකරනවා.. රංගනයට අමතරව මගේ අලුත්ම චිත්‍රපටය ලබන මාසේ රෑපගත කිරීම් කරන්න පටන් ගන්නවා. ඒ වැඩත් එක්ක තමයි මේ දවස්වල කාලය ගතවෙන්නෙ.
චරිත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක්, ගායකයෙක් ඒ වගේම පිටපත් රචකයෙක් සේම නිෂ්පාදකවරයෙක්... මේ හැම ක්ෂේත්‍රයකම ඔහුගේ නම ඉහළින්ම තියෙනවා. ජූලියා, මිනිගංදෑල, ගැමුණු මහරජ මේ තියෙන්නෙ චරිත් ගැන උදාහරණ ඕන තරම්... චරිත්ගේ නිර්මාණ විඳීමේ පරාසය ගොඩක් පුළුල්... ඒක අපි දන්න දෙයක්... ඇහෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු... ජීවිතේම පැයක දෙකක රෑපරාමු කිහිපයකට කැටිකරපු නිර්මාණයක් ගැන... කතාකරමුද...?
හරි අපි කතාකරමු...
චරිත්ගෙන් ලැබුණු කෙළින් උත්තරෙත් එක්ක වැඩේ පටන් ගත්තා...
මෙහෙමයි.... මම කැමති නිර්මාණ ගොන්නක්ම තියෙනවා.. විශේෂයෙන් කලා ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න අය විදියට අපිට නිර්මාණ මුණගැහෙන ප්‍රමාණය වැඩියි. හොඳ අධ්‍යක්ෂවරයෙක්, හොඳ නිෂ්පාදකවරයෙක් වෙන්න බලාපොරොත්තු තියන් ඉන්නකොට හොඳ නිර්මාණ නිතරම අපි හොයනවා. ඒ හොඳ නිර්මාණවලින් අපි පෝෂණය වෙනවා වගේම අපි කරන නිර්මාණවලටත් අඩු වැඩි වශයෙන් ඒ ලබාගත්ත දැනුම අපි උපයෝගී කරගන්නවා. මට මුණගැසුණු බහුතරයක් නිර්මාණ අතරින් අද කතා කරන්න හිතුවා 1969 වර්ෂයේ නිර්මාණය වුණු ගොළු හදවත සිංහල චිත්‍රපටය ගැන...
මෙච්චරටම චරිත්ගේ හිතයන්න තරම් ගොළු හදවතේ ලොකු විශේෂත්වයක් ඇතිනේද? පොඩ්ඩක් අපිට ඒ ගැන කියන්නකෝ?
මට මේ චිත්‍රපටය දැනෙන්න හේතු කිහිපයක්ම තියෙනවා... ගොළු හදවත මම දකින්නෙ ත්‍රිපුද්ගල ප්‍රකාශනයක් විදියට... උදාහරණයක් විදියට හොඳ තිර රචනයක් ලිව්වම... ඒ තිර රචනයේ තියෙන හරය අධ්‍යක්ෂවරයාට ඉස්මතු කරන්න බැරිවෙනවා... නැත්නම් අධ්‍යක්ෂකවරයත් හොඳට කරලා... පිටපතත් හොඳයි, හැබැයි සංගීත අධ්‍යක්ෂවරයා අසමත් වෙනවා නිර්මාණයට සාධාරණයක් කරන්න... නැත්නම් නළු නිළියන් අසමත්වෙනවා... ගොළු හදවත චිත්‍රපටය ප්‍රේක්ෂකයාට දැනෙන්න ප්‍රධානම හේතුව ලෙස මම දකින්නෙ කරුණාසේන ජයලත්ගේ රචනය, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණය වගේම කේමදාසයන්ගේ සංගීතයයි... මේ අපූරු සුසංයෝගය සුන්දර නිර්මාණයක් බිහිකරලා තියෙනවා... ගොළු හදවත චිත්‍රපටය තෝරගන්න මට තව විශේෂ කාරණාවක් තියෙනවා. මම හොරණ තක්ෂිලා විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූවේ. කරුණාසේන ජයලත් අපේ ගමේ කෙනෙක්. මේ කතාවේ පසුබිම සැකසිලා තියෙන්නෙ අපේ ඉස්කෝලේ ඇසුරු කරගෙන... රූපගත කිරීම් කරලා තියෙන්නෙත් අපේ ඉස්කෝලෙමයි... සංගීත අධ්‍යක්ෂකවරයාත් අපේ ගමට කිට්ටු කළුතර දිස්ත්‍රික්කයේ කෙනෙක්. අපේ රටේ විශිෂ්ඨයන්ගේ හැඟීම් තමයි නිර්මාණයක් තුළින් එළියට ඇවිත් තියෙන්නෙ... ජාත්‍යන්තරව කොච්චර විශිෂ්ඨ නිර්මාණ බැලුවත් ඒවා අපේ ජීවිතවලට දුරයි... අනිකුත් නිර්මාණවලට වඩා ගොළු හදවත මගේ හදවතට ළඟයි...
ඉස්කෝලෙ කාලේ ආදර කතාව තමයි නිර්මාණයට වස්තු බීජය වෙන්නෙ... නමුත් ඒ ආදරය උත්තරීතර ආදරයක්. වර්තමානයේ අපිට දකින්න අහන්න ලැබෙන්නෙ ගහගන්න, මරාගන්න ආදර කතානේ... ආදරය කියන මාතෘකාව විටෙක සැහැල්ලුවෙන් විටෙක ගැඹුරෙන් අල්ලපු තැනක් තමයි ගොළු හදවතේ තියෙන්නෙ. ඒ කාලේ පාසල් අවදියේ ආදරය කියන්නෙ ලොකු අර්ථයකින් තොරව ආදරය උදෙසාම ආදරය කරපු කාලයක්නෙ. වැඩිහිටි වෙනකොට ටික ටික ඒ හැඟීම වෙනස් වෙනවා... දම්මි සහ සුගත් තමයි මේ කතාවේ ප්‍රධානම චරිත දෙක. පාසල් කාලයේ මේ දෙදෙනා ආදරයෙන් වෙලිලා ඉන්නෙ... පාසල් කාලයෙන් පසුව දම්මිගේ ආදරය වෙනස් වෙනවා... හැබැයි දම්මි සුගත්ට වෙනත් ස්වරූපයකින් ආදරය කරනවා. පස්සේ දම්මි සුගත්ව හොයාගෙන යනවා... ඒ ගමන තමයි නවකතාවක් විදියට දිගහැරෙන්නෙ... චිත්‍රපටයේදී අධ්‍යක්ෂවරයාගෙන් සහ සංගීත අධ්‍යක්ෂවරයාගෙන් එකතු වෙච්ච යම් යම් කාරණාත් එකක් ඉස්කෝලෙ යන කාලේ දැණුනු හැඟීම් නැවත අපිට දැනෙන්න ගන්නවා... අපිත් අපේ යාළුවොත් ඉස්කෝලෙ යන කාලේ ඔය විදියට ආදරය කළා. සමහර අය ඒ ආදරය කරපු අයම කසාද බැඳලා ඉන්නවා... තව සමහර අය ඉස්කෝලෙ යන කාලේ මැරෙන්න ආදරය කරලා අද වෙනකොට වෙනත් කෙනෙක් එකක් විවාහ වෙලා අර කෙල්ලට වෙච්ච දෙයක්වත් හොයන් නැතිව ජීවත්වෙනවා. තව අය ඉස්කොලේ කාලේ ආදරය ගැන තාමත් හිතින් තැවි තැවී ජීවත් වෙනවා. මේ චිත්‍රපටයේ රූපරාමු කිහිපයකම තියෙනවා පිට්ටනියත් එකක් ගුරු පාරක්. අන්න ඒ ගුරුපාරෙම තමයි අපි ඉස්කොලෙ යන කාලේ ගැවසුණෙත්. ඒ නිසා මේ චිත්‍රපටය මගේ ජීවිතයට ගොඩක් ළඟයි. මේ චිත්‍රපටය තොරගත්තෙ මහ ලොකු දාර්ශනික නිර්මාණයක් නිසා නෙමේ... මීට වඩා ගැඹුර, දාර්ශනික නිර්මාණ මම බලලා තියෙනවා. නමුත් අපේ හිත්වලට ළඟ අපේකම ගොළු හදවතේ තියෙනවා.
ලංකාවේ සිනමා සංගීත ගැන කතා කරද්දී ගොළු හදවතේ සංගීතය ගැන කතා නොකරම බෑ... කේමදාසයන් ගොළු හදවතට මුසුකළ ඒ අපූරැව සංගීතය මාර්ස්ට් පීස් එකක්... ඒක කාටවත් නෑ කියන්න බෑ... පසුබිම් සංගීතයේ එන බටනලා නාදය, වයිලීනයේ තිබුණු ශෝකී රසය, සිතාර් වාදනයෙන් උද්දීපනය වන කෙළිලොල් ආදරය වචනවලින් ප්‍රකාශ කරන්න බැරි හැඟීමක් දනවනවා...
මෙච්චරම ඔබ ආස ගොළු හදවත චිත්‍රපටයේ කැමතිම චරිතයක් ඉන්න ඇති නේද?
මෙහෙමයි... මම මේ චිත්‍රපටයේ රඟපාපු රංගන ශිල්පීන්ට ගොඩක් කැමතියි. නමුත් මම කියන්නෙ ඒ රංගනයන් තුළ මහා දේවල් තිබුණා කියලා නෙමේ... හරි සරලව තාත්ත්විකව ඔවුන් රංගනයට සාධාරණයක් කළා. නමුත් මම වඩාත්ම කැමති සංගීතය අධ්‍යක්ෂකවරයා මේ සිනමා පටයේ කරපු චරිතයට... ඔහු මුසුකරපු සුමිහිරි තාලවලට...
මේ චිත්‍රපටය නරඹද්දී ඔබව සංවේදී කරපු රූපරාමුවක් මතකද? පොඩ්ඩක් කියන්නකො ඒ ගැන..
මාව සංවේදී කරපු තැන් කිහිපයක්ම තියෙනවා... එක තැනක් තමයි දම්මි සුගත්ට මුලින්ම ආදරෙයි කියපු තැන... ඒ තැන හරියට හිතට දැනෙනවා... අනිත් තැන තමයි.. පාසල් කාලයෙන් පසුව නැවත සුගත්ව හොයාගෙන දම්මි දිග ගමනක් යනවා... එහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ දෙදෙනා මුණගැහෙන තැනටත්.... ඇත්තටම ඒ අවස්ථා දෙකම හරිම ආදරණීයයි.
මේ නිර්මාණය මුලින්ම චරිත්ට මුණගැහෙන්න කොහොමද?
මට මේ නිර්මාණය මුණගැහෙන්නෙ මගේ පාසල් කාලයේ... මීට අවුුරදු 25කට විතර කලින්. මම රූපවාහිනියෙන් තමයි මේ චිත්‍රපටය මුලින්ම බලන්නෙ... පස්සෙ තමයි මට නවකතාවත් හම්බවෙන්නෙ...
දැනට කී වතාවක් මේ නිර්මාණය ඔබ නරඹලා තියෙනවද?
පොඩි කාලේ බැලුවට පස්සෙ මෑතකදී මම මේ චිත්‍රපටය බැලුවෙ නම් නෑ.. තුන්පාරක් විතර බලලා ඇති... චිත්‍රපටයේ මියුසික් නම් අන්තර්ජාලය හරහා නිතර නිතර අහනවා...
මේ නිර්මාණ තුළින් ඔබගේ ජීවිතයට මොන වගේ දෙයක්ද එකතු කරගත්තෙ...?
අධ්‍යක්ෂකවරයෙක් විදියට මම ඉගෙන ගත්ත දෙයක් තමයි මේ නිර්මාණය හරහා රෑප කතා කරන් නැති මොහොතවල්වල සංගීතයට කතාකරන්න පුළුවන් කියන බව... හොඳ පිටපතක තිබෙන වටිනාකම මම මේ චිත්‍රපටයෙන් තෙරුම්ගත්තා... හොඳ පිටපතක් නැතිව සාර්ථක නිර්මාණයක් කරන්න බෑ... සල්ලි තිබුණ පලියටවත්, නිෂ්පාදකවරයෙක් හිටපු පලියටවත් මම නිර්මාණ කරන්න යන්න නෑ... විශේෂයෙන් පිටපත ගැන විශේෂ අවධානයක් මම යොමු කරනවා. ඒ හුරුව මට ලැබුණේ මෙවැනි නිර්මාණ ඇසුරු කිරීම හරහා...
ගොළු හදවත චිත්‍රපටයේ අවසාන රූපරාමුව නිමවෙනකොට.... ඔබට මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ....? ඒ හැඟීම වචනවලට පෙරළමුද?
ඇත්තට මට එහෙම වුණොත් කියලා දුකක් දැනුණා... මම මේ චිත්‍රපටය බලනකොට අවුරුදු 12 විතර ඇති... ඒ කාලේ මට හිතුණා මටත් බූට් එකක් වැදුණනම් හොඳයි කියලා... ඒක මාර ආතල් එකක් කියලා හිතුණා... එතකොට මම ආදරය කරලවත් තිබුණේ නෑ.. ඊට අවුරුදු තුන හතරකට පස්සේ තමයි මම ආදරය කරන්න පටන් ගත්තේ... එවෙලෙ නොතේරැම්කමට මට හිතුණේ අනාගතේ මටත් මෙහෙම වෙයිද කියනව වගේ එකක්... ඇත්තට මේ දේවල් හරි බොළඳයි... නමුත් ඒ හැඟීම් හරිම රහයි... මේ සිද්ධිය ඕන කෙනෙකුට රසවිඳින්න පුළුවන්... රසස්වාදය තියෙන්න අපි නොහිතන සරල තැන්වල...
► Text - Danushka Wijesiri / Pic - Sumudu