1997 සිට පවතින ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා පසුගිය පෙබරවාරි 26 වැනිදා ලෙඩ නිවාඩු දමා වර්ජනයක් කිරීමට ගුරු සංගම් 30ක් ඒකාබද්ධව කටයුතු කළේය. පාසල් 10164ක ගුරු- විදුහල්පතිවරුන් විශාල පිරිසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පාසල් රැසක අධ්‍යාපන කටයුතු අඩාල වූ අතර ගුරුවරුන්ගේ පැමිණීම 10% දක්වා පහත වැටුණු බව වාර්තා විය. මෙරට රජයේ සේවයට සම්බන්ධ ගුරුවරුන් සංඛ්‍යාව 247,000 පමණ වන අතර විදුහල්පතිවරුන් සංඛ්‍යාව 17,000ක් පමණ වේ.
ඔවුන්ගේ ඉල්ලීම් වූයේ වසර 22 ක් තිස්සේ පවතින බී.සී. පෙරේරා කොමිසමේ වැටුප් විෂමතා ඉවත්කර ගුරු විදුහල්පති වැටුප වැඩිකිරීම,. දේශපාලන පලිගැනීම්වලට මුවාවී සිදුකරන සියලු පත්වීම් හා වරදාන අහෝසි කිරීම. පෝරම පිරවීම ඇතුළු පීඩාකාරී අමතර වැඩ නවතා ගුරුවරුන්ට ඉගැන්වීමට කාලය ලබාදීම. දෙමව්පියන්ගෙන් මුදල් එකතුකිරීම නවතා, අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන්කිරීම. 2016 සිට අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබාදීම හා පිරිවෙන් හා ආධාර ලබන පාසල් ගුරැවරැන්ට රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය ලබාදීම. යනාදියයි.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ආරම්භ වන්නේ 1994 වසරේ දී ය. එතෙක් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 37/92 යටතේ විදුහල්පතිවරැනට හා ගුරැවරැනට වැටුප් ගෙවීම කළ අතර 1994 වසරේ දී ගෙන ආ 865/3 දරන ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව හේතුවෙන් රාජ්‍ය පරිපාලනයේ අනෙකුත් සමාන්තර ශ්‍රේණි සමඟ මෙන්ම උපාධි ගුරු හා විදුහල්පති, පුහුණු ගුරු අතර වැටුප් විෂමතාවක් හට ගත්තේ ය. තම වැටුප් විෂමතා ඉවත්කර දෙන ලෙස උපාධිධාරී ගුරු සංගම් හා විදුහල්පති සංගම් දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටියදී 2/97 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 1997 – 01 -01 දින සිට ක්‍රියාත්මක කරමින් රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වීමක් සිදු විය. එමඟින් විදුහල්පති හා ගුරු වැටුප් වැඩිවීමක් සිදු නොවූ අතර ඔවුන්ගේ වැටුප් වැඩිවීම පසුව සලකා බලන බව 2/97/ III චක්‍රලේඛයේ සඳහන් ය. කෙසේ වෙතත් 1994 වසරේ සිට පැවති විදුහල්පති හා ගුරු වැටුප් විෂමතා ඉවත් කරන්නට මේ දක්වා නොහැකි වී තිබේ..
තම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මෙලෙස සඳහන් කළේය. “අපිට ගුරු සේවය ලැබුණේ 1994දී. 1997 ආපු බී. සී පෙරේරා වැටුප් කොමිසම ගුරු සහ විදුහල්පතිවරුන්ට කළ වැටුප් වැඩි කිරීම වැරදි යැයි පවසමින් ඔවුන්ගේ වැටුප් වැඩිවීම පසුව සලකා බලන බවට සඳහන් කළා. එහෙත් එම කාර්යය මෙතෙක් ඉටු වූයේ නැහැ. මෙය 2/97/ III කියන චක්‍රෙල්ඛයේ සඳහන්. අපේ වැටුප් විෂමතාව ඇතිවුණේ එතැන් සිටයි. අපිට අහිමි කළ වැටුප ලබා ගැනීම සඳහා අවස්ථා ගණනකදී වෘත්තීය අරගලවලට එළැඹුණත් එයට විසඳුමක් ලැබුණේ නැහැ. 2008 වසරේ අපි පිළිතුරු පත්‍ර ඇගැයීම් වර්ජනයක නිරත වූණා. එම අවස්ථාවේ ශිෂ්‍යයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා. ගුරු සහ විදුහල්පති සේවය පොදු සේවයෙන් බැහැර කොට වැටුප සකස් කරන ලෙසට එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දුන්නා. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැහැ. මහින්ද රාජපක්ෂ රජය ගුරුවැටුප් විෂමතාව අවම කිරීම සඳහා අයවැයෙන් රුපියල් 3000 ලබා දීමට තීරණය කළා. එහෙත් එම මුදලවත් අපට ලැබුණේ නැහැ. 2019 වසරේ මාර්තු 13 දිනත් සැප්තැම්බර් 26 සහ 27 යන දෙදිනත් අපි උද්ඝෝෂණ කළා. එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ඇමැති අනුකමිටුවක් පත්කළා. වැටුප් අර්බුදය විසඳීම සඳහා ගුරු සහ විදුහල්පති සේවා සංවෘත සේවාවක් බවට පත් කළ යුතු බවටත් ඒ සඳහා කාලයත් ගත වන හෙයින් එතෙක් අතුරු වැටුපක් ලබා දෙන ලෙසටත් එම අනුකමිටුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙම ඉල්ලීම මෙතෙක් ලැබී නැහැ. පසුගිය දෙසැම්බර් මාසයේ වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් කළා. ඔහු කියා සිටියේ මසක් තුළ මෙම ගැටලුව නිරාකරණය කරන බවයි. යළි ජනවාරි 21 දින යලි සාකච්ඡාවක් පැවතුණා. එහිදී අපි ඉල්ලා සිටියේ පෙබරවාරි 3 වැනිදාට පෙර අතුරු වැටුප් චක්‍රෙල්කය නිකුත් කරන ලෙසටයි. එහෙත් මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැහැ.”
පෙබරවාරි 26 දින එක්දින ලෙඩ නිවාඩු දැමූ ගුරුවරු එතැනින් නොනැවතී 27 දින සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලියක නිරත වූහ. ඒ අනුව ඔවුන්ගේ සේවය උදෑසන 7.30 සිට 1.30 වන තෙක් පමණක් සැලසීමට තීරණය කර තිබේ. එහෙත් දරැවන්ගේ ක්‍රීඩා හා සෞන්දර්ය කටයුතුවලට බාධාවක් නොවන පරිදි ඒවාට සහභාගී වීමට තීරණය කර තිබේ. එමෙන්ම ලබන මාර්තු 16 සිට 20 දක්වා වැඩ වර්ජනයකට එළඹෙන බවට අධ්‍යාපන අමාත්‍යංශයටද දන්වා තිබේ.
මෙවැනි වර්ජනවලින් පීඩාවට පත් වන්නේ දරුවන්ය. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වන අතර වෙනත් ක්‍රියාකාරකම්ද ඇනහිටියි. මේ සම්බන්ධයෙන් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ “මෙවැනි ක්‍රියාමාර්ගයකදී දරුවන්ට පීඩනයක් ඇතිවීම නොවැළැක්විය හැකි කරුණක්. ඒ නිසාම තමයි අපි විවිධ අවස්ථාවල රජයට දැනුම්දීම් කළේ. මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධවත් අපි කලින් දැනුම් දුන්නා. එහෙත් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.” යනුවෙනි.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා තම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.
“අපේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා. පසුගිය 14දා උද්ඝෝෂණයක් කළා. එහිදී ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. පෙබරවාරි 20ට පෙර ජනාධිපතිවරයා, ලේකම්වරයා හා මුදල් අමාත්‍යංශයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරුන් සමඟ විධිමත් සාකච්ඡාවක් ලබා දෙන මෙන් එහිදී අපි ඉල්ලා සිටියා. එහෙත් කිසිදු වාචික හෝ ලිඛිත දැනුම්දීමක් ලැබුණේ නැහැ. පසුගිය 26 දින ලෙඩ නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගයට හා උද්ඝෝෂණයට එළැඹුණේ ඒ නිසයි. මේ වන තෙක් රජය මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
වැටුප් කොමිසම හරහා මෙය විසඳන බව ඔවුන් කියනවා. හිටපු ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව මගින් නිර්දේශ කළේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් අතුරු වැටුපක් ගෙවන ලෙසටයි. මෙය වැටුප් කොමිසමට යොමු කළද ඔවුන් එයට නිර්දේශ ලබා නොදී ජනාධිපතිවරණ එනතෙක් කල්මැරුවා. ඒක කලේ හිටපු සභාපති රනුක්ගේ හා ඔහුගේ කොමිසම. මෙතරම් අර්බුදයක් ඇතිවන තැනට පත් කළේ ඔවුන් විසින්. වැටුප් විෂමතාව විසඳීමට සෑහෙන කාලයක් ගතවනවා. අපි ඉල්ලා සිටින්නේ එම කාර්යය කරන්න. එතෙක් අපට ගෙවන්නට එකඟ වූ අතුරු වැටුප ගෙවන්න. කියලයි. මේ අතුරු වැටුප ගෙවන්න රජයට කිසිම බාධාවක් නැහැ.ඒ නිසා එය ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරන්න කියලයි. එහෙම නොවුනොත් අපිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන්නට සිදුවෙනවා. එහෙම වුණොත් ඉන් හානි වන්නේ දරුවන්ටයි. එයට රජය වගකිව යුතුයි. අපි කැමතියි සාකච්ඡා මගින් විසඳගන්න. ඒත් රජය නිහඬයි.”
ගුරු - විදුහල්පති ගැටලු විසඳීමට බලධාරීන් කිසිදු උනන්දුවක් නොදක්වන බැවින් බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සත්‍ය ක්‍රියාවක් කිරීමට තමන් කටයුතු කරන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය කියා සිටියේය. පසුගිය 06 දින අදාළ සත්‍යග්‍රහය සිදු කිරීමට නියමිතව තිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සඳහන් කළේ ඔවුන් හා අනිකුත් ගුරු සංගම් අතර සම්බන්ධයක් නොමැති බවය. ඔවුන් විහිළු සපයන්නන් බවත් ගුරු - විදුහල්පති වැටුප් අර්බුදයට බුද්ධගයාවේ සත්‍යක්‍රියා කිරීමෙන් කිසිදු යහපතක් අත් නොවන බවත්, එවැනි කටයුතුවලට වඩා තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා කළ යුතු බොහෝ දේ ඇති බවත් ලංකා ගුරු සංගමය පවසයි.
රටේ අනාගත පරපුරට විශාල සේවයක් කරන ගුරුවරුන්ගේ වැටුප් විෂමතාට පිළියම් යෙදීමට නොහැකිවීම සම්බන්ධයෙන් 1994 සිට පැවති සියලුම ආණ්ඩු වගකිව යුතුය. වසර 22ක් පුරා පවතින නිලධාරීන්ගේ කඹ ඇදිල්ල නිසා පීඩාවට පත්වන්නේ ගුරුවරුන් පමණක් නොවේ. අපේ පාසල් දරු දැරියන්ද මෙම ක්‍රියාවලියේ වින්දිතයන් බවට පත් වේ. එහෙයින් කඩිනමින් මෙම ගැටලුවට විසඳුම් ලබා දීම ඉදිරි ආණ්ඩුවක ප්‍රධානතම වගකීමක් වනු ඇත.
► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා